පහළොවේ කොල්ලා බස් රියක් සොරාගෙන පෙම්වතිය බලන්න ගිහින්

501

රියැදුරන් ක්‍රිකට් තරගය නරඹද්දී පැය තුනක පොලිස් මෙහෙයුමෙන්  බඩුත් එක්ක මාට්ටු

ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවති තීරණාත්මක ක්‍රිකට් තරගය නැරඹීමට බස්රථ හතරකින් පැමිණි රියැදුරන් සිව් දෙනකු පිළියන්දල බස් නැවතුම්පළේ සිය රථ ගාල් කර තිබියදී එක් බස් රථයක් සොරාගෙන පෙම්වතිය බැලීමට ගිය 15 හැවිරිදි තරුණයකු පැය තුනකට පසු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

පිළියන්දල බස්නැවතුම් පොළෙන් ගමන් ආරම්භ කරන බස් රථ රියැදුරන් සිව් දෙනකු කලින් කතිකා කරගත් පරිදි පෙරේදා (11දා) රාත්‍රියේ ඩුබායිහිදී පැවති ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර අවසන් ක්‍රිකට් තරගය නැරඹීමට බස් නැවතුම්පළ වෙත පැමිණ ඇත. ඔවුන් පැමිණි බස් රථ නැවතුම්පළේ ගාල් කර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුලින් පන්දුවට පහර දුන් අයුරු නරඹා එය නිම වීමෙන් අනතුරුව රාත්‍රී ආහාර ගැනීම සඳහා ඊට මඳක් ඈතින් තිබෙන ස්ථානයක් වෙත ගොස් තිබූ බව පොලිසිය කියයි.

විනාඩි කිහිපයකට පසු රියැදුරන් සිව්දෙනා බස් රථ නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී එක් බස් රථයක් නොමැති බව දැක එහි රියැදුරා විසින් පොලිසියට පැමිණිලි කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය. බස් රථය පණ ගැන්වීමට යොදා ගන්නා යතුරු ද එහි ම තිබූ බව රියැදුරාගේ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කෙරිණි.

ක්‍රිකට් තරගය හේතුවෙන් බහුතරයක් වෙළෙඳසල් වසා එහි ව්‍යාපාරිකයන් ද නිවෙස්වලට ගොස් තිබූ බැවින් බස් රථය පිළිබඳව හෝඩුවාවක් දැනගැනීමට සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමට ද අවස්ථාවක් නොවූ බැවින් වහා ක්‍රියාත්මක වූ පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා පිළියන්දල හා අවට ප්‍රදේශය ආවරණය වන පරිදි ක්ෂණික මාර්ග බාධක දමා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

එදින රාත්‍රී 12.30 ට පමණ කැස්බෑව දෙස සිට එමින් තිබූ බස් රථයක් පිළිබඳව බස් නැවතුමට ආසන්නව තිබෙන කැස්බෑව පිළියන්දල අතුරු මාර්ගයේ මාර්ග බාධකයේ සිටින නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් අනතුරුව එහි ලියාපදිංචි අංකය තහවුරු කරගෙන බස් රථය නැවතීමට සංඥා කිරීමත් සමගම එය නැවතූ සැකකරු බස් රථයෙන් පිටතට පැන පලා යෑමට තැත් කර ඇති අතර පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී රාත්‍රී අටට පමණ මොරගහහේන ප්‍රදේශයේ සිටින පෙම්වතියගෙන් දුරකථනයෙන් ලැබුණු ආරාධනාවක් අනුව ඇය හමුවීම සඳහා බස් රථයකින් යෑමට බස් නැවතුම්පළට පැමිණි බවත් එම අවස්ථාවේදී මොරගහහේන ප්‍රදේශයට යෑමට බස් රථයක් නොවූ බැවින් නවතා තිබූ බස් රථවලට ගොඩ වී පරීක්ෂා කිරීමේදී එක් බස් රථයක යතුර එහිම රඳවා තිබූ බැවින් ද, කිසිදු අයකු අවට පෙනෙන්නට නොසිටි බැවින් ද බස් රථය රැගෙන පෙම්වතිය හමුවීමට මොරගහහේනට ගිය බව ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් මෙම පහළොස් හැවිරිදි තරුණයා මීට වසරකට පෙර ද හෝමාගම ප්‍රදේශයේ නවතා තිබූ බස් රථයක් සොරාගෙන මේ ආකාරයෙන්ම පෙම්වතිය බැලීමට ගොස් යළි පැමිණෙන අතරවාරයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මත්තේගොඩ සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

කැස්බෑව – ජයසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment