පහළොස් හැවිරිදි සිසුවිය ලිපියක් ලියා ගෙල වැලලා ගනී

1072

මා යාළුවී සිටින පිරිමි ළමයට තෑගි දීමට ඔරලෝසුවක් මිලදී ගැනීම සඳහා මා එකතු කළ රුපියල් එක් දහස් එකසීයක මුදලක් තිබෙනවා. එය ඔය ගොල්ලෝ තියා ගන්න. මා නැතිවට දුක් වෙන්න එපා.

නංගිටයි මල්ලිටයි හොඳින් උගන්වා හොඳට බලා ගන්න යැයි සිය දෙමවුපියන්ට ලිපියක් ලියා තබා පෙරේදා (12) සවස කැබිතිගොල්ලෑව හල්මිල්ලවැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් සිය නිවසේ ගෙල වැලලාගෙන මිය ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ චන්ද්‍රසේන මුදියන්සේලාගේ කවීෂා හංසිනී ඉලංගසිංහ නමැති සිසුවියකි. ඇය කැබිතිගොල්ලෑව නගරයේ පිහිටි ප්‍රධාන පාසලක දහවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිට ඇත. සිද්ධිය වන අවස්ථාවේ සිවිල් ආරක්ෂක නිලධාරියකු වන ඇයගේ පියා රාජකාරිය සඳහා ගොස් සිට ඇති අතර ඇඟේ මව සිය බාල සහෝදරිය පෞද්ගලික උපකාරක පන්තියකට කැඳවා ගෙන ගොස් සිට ඇත. මේ අතර ගෙල වැලලාගත් සිසුවිය පමණක් සිය තුන් හැවිරිදි මල්ලි සමග එම අවස්ථාවේ නිවසේ සිට ඇති අතර මල්ලි රූපවාහිනිය නරඹමින් සිටින අතරතුර එම සිසුවිය සිය නිවසේ කාමරයක වහලේ පරාලයක කඹයක ආධාරයෙන් එල්ලී මෙසේ සියදිවි හානි කරගෙන ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය විසින් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා විසින් ඊයේ (13) පෙරවරුවේ මියගිය සිසුවියගේ නිවසේදී සහ කැබිතිගොල්ලෑව මූලික රෝහලේදී පවත්වනු ලැබීය. එම සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කැබිතිගොල්ලෑව මූලික රෝහලේදී සිදු කෙරිණි. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල රත්නායක මහතාගේ මෙහෙය වීමෙන් සිදු කරයි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment