පහුගිය අවුරුදු හතරක කාලය තුළ වස දැමීම නිසා කොටි 07 මැරිලා…දඩයක්කාරයෝ යාල කලේ මස් මඩුවක් කරති

384

දළ කපන්න ඇත්තු මරති

පොඩි සතුන්ව උගුල් අටවා මරති

සමහරු වන්දනාවේ එන්නෙ ගැටිස්සියොයි දඩ මසුයි හොයාගෙන…

සතුන් මරන්නන්ට එරෙහි රටේ නීතිය වෙනස් නොවෙන්න වන සතෙක් ඉතිරි නොවෙති…

ම්ලේච්ඡ කතාවක් ඇසිණි. ඒ යාල වනෝද්‍යානයේ ජීවත්වන සතුන්ට වස දී මරාගෙන මස් කර විකිණීමේ ගෝත‍්‍රික ජාවාරමක් ගැනය. අතීතයේ සිටම පැවත එන වන සත්ව දඩයම, කොරෝනා වසංගතය පැතිරී යමින් මුළු රටටම සංචරණ සීමා පනවා ඇති මේ දිනවල මහා පරිමාණයෙන්ම සිද්ධ වෙමින් තිබෙන බව වාර්තා වේ. යාල රක්‍ෂිතයට මායිම් වූ ගෝතමීගම, අක්කර 20 වැව, කොහොඹදීගන, කරවිලේ, ලූණුගම්වෙහෙර වනඋද්‍යාන මායිම, පස්කොම, සිතුල්පව්ව අවට රක්‍ෂිත ප‍්‍රදේශය, බෙළිහොළ, වෙහෙරකොම, ගෝනගංආර සහ බුත්තල අවට ප‍්‍රදේශවල දඩ මස් ජාවාරම බහුල වශයෙන් කෙරෙන බවට ලැබුණු ආරංචියත් සමඟ පසුගිය දිනක අපි එම ප‍්‍රදේශවල සංචාරය කරමින් ගෝත‍්‍රික ජාවාරම ගැන සොයා බැලූවෙමු. අදාළ රාජ්‍ය නිලධාරීන් මෙන්ම සත්ව ඝාතනයට විරුද්ධ විවිධ තරාතිරම්වල පුද්ගලයන් යාල රක්‍ෂිතයේ මෙන්ම කුමන, උඩවලව ආදී රක්‍ෂිතවල කෙරෙන සත්ව ඝාතන සම්බන්ධයෙන් අපට කරුණු පැහැදිලි කළහ. මේ ඒ සත්පුරුෂයින් අතරින් වනජීවී නිලධාරියෙක් අපට කියූ කතාවකි.

‘‘හේන්වල අස්වැන්න නෙළලා, නැවත වගා කරනකම් මාස දෙක, තුනක් හේන් ගොවීන්ට අඟහිගකම් වැඩියි. ඒ කාලවලට සමහර හේන් ගොවියො සතුන් දඩයම් කර මස් කර විකිණීම ආදායම් මාර්ගයක් කරගන්නවා. කොරෝනාවලට රට වැහුවත්, නැතත් මේ කාලයට දඩයම වැඩියි. ඒ වගේම දඩයම රැකියාව කරගත්ත පිරිසක් රක්‍ෂිත අවට ගම්මානවල ජීවත් වෙනවා. ඒ මිනිස්සු පවුල් ජීවත් කරවන්නේ, ගෙවල් දොරවල් හදාගෙන තියෙන්නෙ, යාන වාහන අරගෙන තියෙන්නෙ දඩයමෙන් ලැබෙන ආදායමෙන්. ඒත් සමහර දඩයක්කාරයො කැලේ සතුන් මරණ ක‍්‍රමය හරිම ම්ලේච්ඡයි…’’

‘‘වතුර පාරක්, වැවක්, වතුර වළක් ඉලක්ක කරගෙන සතුන් බහින මංකඩවල් හරස් කර කම්බි මදු සීයක් විතර එක දිගට ගහගෙන යනවා. පහුවෙනිදා උදේට මදු පරීක්‍ෂා කරනකොට මොකෙක් හෝ සතෙක් වැදිලා මැරිලා ඉන්නකොට ඒ කුණ අරගෙන යනවා. ඒ මස් ටික තියෙන නිසා ඊළඟ දවස් දෙක, තුනම දඩයක්කාරයා එන්නෙ නෑ. අටවපු අනිත් මදුවලටත් සතුන් වැදිලා කුණු වෙලා යනවා. උගුල් අටවපු දඩයක්කාරයා දන්නෙත් නෑ. තව සමහර දඩයක්කාරයො වල් ඌරන්ව ඉලක්ක කරගෙන ‘හක්ක පටස්’ දානවා. ඒ හක්ක පටස් අලිත් කනවා. කෑව හැටියේ හක්ක පටස් එක පුපුරලා හක්ක ගලවලා යනවා. වේදනාවට ගාල කඩාගෙන මහා කැලෑවට දුවන සතා දවසක්, දෙකක් හෝ සතියක් විඳවලා මැරිලා යනවා. ඌරෙක් හක්ක පටස් එක කෑවත් කෑලයට දිව්වොත් දඩයක්කාරයාට කුණ හොයාගන්න බැරි වෙනවා. අන්තිමේ ඒ මිනිහට ඉතිරි වෙන්නෙ ගෙවා ගන්න බැරි පව් ගොඩක් විතරයි. මේ වෙනකොට හක්ක පටස් කාලා යාල කැලේ අලි විශාල ප‍්‍රමාණයක් මැරිලා තියෙනවා. සතෙක් ඉලක්ක කරලා වෙඩි තියලා කරන දඩයමෙන් හානිය ඉලක්කගත සතාට විතරයි. අනිත් සතුන්ට හානියක් නෑ. කම්බි මදු, හක්ක පටස් වගේ උගුල් ඇටවීම වන සතුන්ට විශාල හානියක් වෙනවා…’’

‘‘ඒ වගේම කොටි හරක් මරාගෙන කනවට හරක් පට්ටිකාරයො වස මිශ‍්‍ර කර මස් කෑලි දානවා. කොටි හරක් පට්ටිවලට පනින්නෙ ?ට. දවාලට දාන වස මිශ‍්‍ර මස් කෑලි පොඩි, පොඩි සතුන් කනවා. වස කාලා ඒ සතුන් මැරුණට පස්සෙ ඒ කුණවල් කොටි කනවා. එතකොට උනුත් මැරෙනවා. වස මිශ‍්‍ර එක උගුලකින් සතුන් කිහිපදෙනෙක්ම මැරෙනවා. ඒක මාර විනාශයක්. පහුගිය අවුරුදු හතරක විතර කාලය තුළදී වස දැමීම නිසා කොටි හත්දෙනෙක් මැරිලා තියෙනවා. යාලෙ කොටි ගහනය අඩුවීමට වස දැමීම බරපතළ ගැටලූවක් වෙලා තියෙනවා. මේ දඩයම පාලනය කිරීමට රජය කඩිනමින් මැදිහත් වෙලා විසඳුම් ලබාදෙන්න ඕනෑ. නැති නම් මේ වන සතුන්ට ලොකු විනාශයක් වෙනවා…’’ තරුණ අඩවි නිලධාරිවරයාගේ මුවින් ගිලිහෙන ඒ වචන මගේ හදවතේ සියුම් ලේ නහරවලට පවා දැණිනි.

පහුගිය අවුරුදු හතරක කාලය තුළ වස දැමීම නිසා කොටි 07 මැරිලා…දඩයක්කාරයෝ යාල කලේ මස් මඩුවක් කරති

යාල වනෝද්‍යානයේ පමණක් නොව ලූණුගම්වෙහෙර, බූන්දල, උඩවලව, කුමන වන උද්‍යානවල මෙන්ම එම උද්‍යාන අවට කැලෑ ප‍්‍රදේශවල, වැව් රක්‍ෂිතවල ජීවත්වන අසරණ වන සතුන්ව ඉවක්, බවක් නැතිව මරා මස් කර විකුණන තරමට මස් වැද්දන් ම්ලේච්ඡත්වයෙන් වියරු වැටී සිටින බව ප‍්‍රදේශවාසීන්ගේ අදහසය. එමෙන්ම පැතිර යන කොරෝනා වසංගතය හමුවේ කතරගම කිරිවෙහෙර, දේවාලය සහ අවට සිද්ධස්ථාන වන්දනා කිරීමට බැතිමතුන් සහ සංචාරකයන් නොපැමිණීමත් සමඟ වන්දනාකරුවන්ට සේවා සහ භාණ්ඩ සපයමින් දිවි ගෙවූ පිරිස අතරින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බොහෝ දෙනකුගේ දැන් ව්‍යාපාරය වී ඇත්තේ වන සතුන් මරා මස් කර විකිණීමය. ඔවුන්ගේ ගොදුරු බවට පත්වෙමින් සිටින්නේ දිය පිපාසයෙන් ජලය සොයාගෙන මැණික් ගඟට පැමිණෙන වන සතුන්ය. යාල අවට ප‍්‍රදේශවලට පවතින දැඩි නියං තත්ත්වය හමුවේ රක්‍ෂිත ප‍්‍රදේශ තුළ පවතින වැව් අමුණු සිඳී යෑම, වනයේ තණකොළ වියළි යෑම නිසා මුවන්, ගෝනුන් ඌරන්, මී ගවයින් (වල් හරක්) ආදී විවිධ වන සතුන් මේ දිනවල ජලය සොයාගෙන මැණික් ගඟට පැමිණීම පුරුද්දක් කරගෙන සිටිති. එසේ පැමිණෙන වන සතුන්ට උගුල් අටවා, විෂ සහිත ද්‍රව්‍ය කෑමට, වතුර බඳුන්වලට මිශ‍්‍ර කර සතුන් එන මාර්ගවල තබා කෑමට, බීමට සලස්වා දඩයම් කිරීම ඇතැම් මස් වැද්දන්ගේ උපක‍්‍රම වී තිබේ. එමෙන්ම තුවක්කුවලින් වෙඩි තබා සතුන් දඩයම් කිරීම ද ඉහළ ගොස් තිබේ. දඩයක්කාරයන් විසින් නිෂ්පාදනය කරගන්නා කොටන තුවක්කුවලට අමතරව ස්වයංක‍්‍රිය ගිනි අවිත් යාල කැලේ සතුන් ඉලක්ක කරගෙන නිතර පත්තු වන බව ප‍්‍රදේශවාසීන් කියන කතාවකි. එමෙන්ම දේශපාලන බලය, මිල මුදල් ඇති හැකි අය කරගෙන යන රක්‍ෂිත කොල්ලයත් සමඟ උන්හිටි තැන් අහිමිව ගම්වදින වන සතුන්ව මස් වැද්දන් පහසුවෙන් ගොදුරු කරගන්නා බව ද වාර්තා වේ.

පසුගිය දිනවල තිස්සමහාරාම විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මුව මස් කිලෝ එකසීය විස්සක් (120) ක් ප‍්‍රවාහනය කරමින් සිටින විට ත‍්‍රිරෝද රථයත් සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි. එමෙන්ම මේ දිනවල කතරගම සහ අවට ප‍්‍රදේශවල මුව මස් කිලෝවක් රුපියල් පන්සීයකට ද (500) ඌරු මස් කිලෝව රුපියල් හාරසීයකට (400) ට අලෙවි වන බව වාර්තා වේ. වියළන ලද මස් කිලෝවක් රුපියල් නවසීයට, දාහට මිල වන බව ද වාර්තා වේ. එහෙයින් බැද්දේ මැරී වැටී සිටින මී ගවයින්, මුවන් මස් කර වියලා අලෙවි කරන බව ද අදහස් දැක් වූ ප‍්‍රදේශවාසීහු අපට කීහ.

‘‘යාල අංක 02 කලාපයේ වන සීමාවේ විදුලිවැට මායිමේ හේන් ගොවිතැන් කරන මුවාවෙන් රක්‍ෂිත ඉඩම් කොටු කරගෙන තිබෙනවා. ඒ ඉඩම්වල පැල් අටවගෙන පදිංචි වී සිටින මිනිස්සු රාත‍්‍රී කාලයේ මහ වනයට ඇතුළු වී කළුවර, බුරුත ගස් කපලා ලොරි පිට පටවනවට අමතරව වන සතුන් දඩයම් කරනවා. කැලයට ට‍්‍රැක්ටර් ගන්න රක්‍ෂිත සීමාමේ විදුලි වැටත් දැව, වැලි ජාවාරම්කාරයො කඩලා දලා. ඒ වගේම මේ වන විට කොහොඹදිගන, වෙහෙරකොම, තම්මැන්නාව, කරවිලේ, කඳසුරිදුගම රක්‍ෂිත සීමාවන් ගිනිබත් කරමින් ඉඩම් කොටු කරනවා. ඒ රක්‍ෂිත ප‍්‍රදේශවල ජීවත් වෙච්ච හාවුන්, මීමීන්නන්, ඌරන්, මුවන් වගේ සතුන් ගම්වලට එනකොට කෑමට වස දාලා තියලා මරලා මස් කරනවා. ගමට එන අලියා කරදරයක් වුණාම ඌට හක්ක පටස් තියනවා. පහුගිය 14 වැනිදා අවුරුදු පහක විතර අලි පැටවකු කතරගම වෙහෙරකොම වැව් තාවුල්ලේ මැරිලා වැටිලා හිටියා. 15 වැනිදා ගෝතමීගමට ආසන්නයේ සමෘද්ධි වැව අසල යාල වනඋද්‍යාන සීමාවට අයත් ප‍්‍රදේශයේ වයස අවුරුදු විසිපහක විතර ඇතෙක් මරා දළ යුගල කපාගෙන ගිහින් තිබුණා. අඩි දොළහක් විතර උස ඇතා. තව කොච්චර කාලයක් ජීවත් වෙන සතෙක්ද? මේ විදිහට අලි ඇත්තු, දිවියො දුර්ලභ සතුන් වගේම අසරණ මුවන්, ගෝන්නු ඌරෝ කොච්චර නම් මරනවද? ඇත්තම කතාව නම් වනජීවී එකට දැන් මේ ජාවාරම් නතර කරන්න බැරි වෙලා තියෙනවා. අපිට හිතෙන විදිහට ඒ නිලධාරීනුත් අසරණයි…’’ යාල වනඋද්‍යානයට මායිම් වූ ගමක කැලෑව ජීවිතය කරගත් වැඩිහිටියෙක් ද අපට එසේ කරුණු පැහැදිලි කළේය. ගංජා වගා කරන ආකාරය, අදාළ ලොකු ලොක්කන්ට දොලපිදේණි ලබාදෙමින් කාලයක් ගංජා හේන් කරගෙන ගොස් අවසානයේ චිත‍්‍රපට මෙන් ගංජා හේන් වැටලීමට ඉඩ දී අතහැර දමන ආකාරය අපූරුවට විස්තර කළේය. එහෙත් ගංජා හේන් වැටලීමේ කතාවට වඩා වන උද්‍යානවල ජීවත් වන තිරිසන් සතුන් මරා මස් කර විකුණන අමානුෂික ජාවාරම ගැන පෙළගැසෙන කතාවට අපි ප‍්‍රමුඛතාව ලබාදුන්නෙමු. යාල වනඋද්‍යානය සහ ඒ ආශ‍්‍රිත අනෙකුත් වනඋද්‍යාන, වැව් රක්‍ෂිත සහ කැලෑ ප‍්‍රදේශවල සිදුවෙමින් පවතින වන සතුන් දඩයම ගැන ඌව පළාත් භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා දක්වන අදහස් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළෙමු.

පහුගිය අවුරුදු හතරක කාලය තුළ වස දැමීම නිසා කොටි 07 මැරිලා…දඩයක්කාරයෝ යාල කලේ මස් මඩුවක් කරති

‘‘කතරගම වනජීවී කාර්යාලවල සේවය කරන වැඩි පිරිසක් මේ වන විට කොවිඞ් රෝගයට ගොදුරුවෙලා. නිලධාරීන් ඉන්නේ ඉතාම සීමිත පිරිසක්. ඒත් අපි ඒ සීමිත පිරිසෙන් පුළුවන් උපරිමයෙන් මෙහෙයුම් කරනවා. වන රක්‍ෂිතවල සිදුකරන ජාවාරම් වැටලීමට ඉදිරියේදීත් අපි කටයුතු කරනවා…’’ කොවිඞ් රටේ සෑම තැනටම, කටයුත්තකටම මරු පහරක් වී අවසානය. සෑම කෙනෙකුටම මරණයේ බය ඇති කර අවසානය. ඒ මරණීය ඛේදවාචකය තුළ ම්ලේච්ඡ ලෙස තිරිසන් සතුන් දඩයම් කරමින් මස් කර විකුණන ගෝත‍්‍රික තිරිසනුන්ට එරෙහිව කොවිඞ් කෙසේ ක‍්‍රියාත්මක වෙයිද යන්න අපි නොදනිමු. එහෙත් යම් සත්වයකු ඝාතනය කිරීම ‘නිරයට’ යන මාර්ගය එළිපෙහෙළි කරගැනීමක් බව කතරගම ශ‍්‍රී අභිනවාරාමාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක, ශාස්ත‍්‍රපති කපුගම සරණතිස්ස නායක හාමුදුරුවෝද පැවසූහ.

‘‘පවතින මේ වසංගත තත්ත්වයත් සමඟ කතරගම අඩවි වන නිලධාරී කාර්යාලයේ සේවක ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම වන්දනාකරුවන් නොපැමිණීමත් එක්ක ආදායම් මාර්ග නැති වී කතරගම මිනිසුන්ට ජීවත් වෙන්න ක‍්‍රමයක් නැති වෙලා තියෙනවා. ඒ නිසා සමහර මිනිස්සු විවිධ අපචාරවලට, දඩයමට යොමු වෙලා ඉන්නවා. ඒත් මිනිසුන්ගේ අඟහිඟකම්වලට අහිංසක සතුන් පළි නෑ. මනසෙන් උසස් වූ මනුස්සයන්ට කුමන හේතුවක් නිසාවත් අනුන්න්ගේ ජීවිත විනාශ කිරීමේ අයිතියක් නෑ. මානසික සංවර්ධනය අඩු, හිත දියුණු නොකරපු අය මේ අපරාධ සිද්ධ කරනවා. පහුගිය දිනවල ඉතා වටිනා ඇතෙක් මරලා දළ කපාගෙන ගිහින් තිබුණා. ඒ සතාව ඝාතනය කරපු පුද්ගලයන්ව ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට වෙහෙස වූ පොලිස් නිලධාරීන්ට ස්තුති කරන්න ඕනෑ. හරිම වාසනාවන්ත ඇතෙක්. ඒ ඇතා යාල අභය භූමිය තුළ සිටියා නම් ඒ සතා දැකලා සංචාරකයන් ලක්‍ෂ ගානක් සතුටු වෙනවා. විදේශීය සංචාරකයන් ලෝකයට දෙන පණිවිඩයට ඒ සතාව දැකගැනීමට පමණක් අපේ රටට සංචාරකයන් එන්න ඉඩ තිබුණා. එහෙම වුණා නම් කොපමණ විදේශ විනිමයක් අපේ රටට ලැබෙනවාද? දළ ගන්න ඇතුන් මරා දලා තිබුණු සිද්ධි කිහිපයක්ම පහුගිය කාලයේ වාර්තා වුණා. එක විට ගෝන්නු තුන්දෙනෙක් මරලා අත්අඩංගුවට පත් වෙලා තිබුණා. මහ කැලෑව ඇතුළේ තවත් කොච්චර නම් සත්තු මරා දානවා ඇතිද? මම දන්න විදිහට මේ රටේ වනඋද්‍යාන අතරින් වැඩියෙන්ම සතුන් දඩයම් කරන්නේ යාල අභය භූමියේ. මේවා නතර කරන්න නම් සත්ව ඝාතනයට එරෙහි නීති, රීති දැඩි කරන්න ඕනෑ. වනජීවී නිලධාරීන් කියන විදිහට තවමත් තියෙන්නෙ පැරැණි නීති, රීති. සුළු දඩයක් ගහන්නේ. වඳ වී යන ඇත්තු මරන අයට උපරිම දඬුවම දෙන්න පුළුවන් විදිහට නීතිය වෙනස් කරන්න ඕනෑ. සෙසු වන සතුන් ඝාතනය කරන්නන්ටත් දැඩි දඬුවම් ලබාදීමට නීති, රීති වෙනස් කළ යුතුයි. අවසරයකින් තොරව වන සංරක්‍ෂිත ප‍්‍රදේශවලට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනෑ. හරක් පට්ටි දැමීම පවා නතර කළ යුතුයි. ඒ මිනිස්සුගෙනුත් වන සතුන්ට බරපතළ අපරාධ සිදු වෙනවා. එහෙම වුණාම වනජීවී නිලධාරීන්ට නීතිය ක‍්‍රියාත්මක කරන්න පහසු වෙනවා. ඒ වගේම ගලා යන ගංගා, ඇළ දොළ, වැව්, අමුණුවල ජලය විධිමත් අයුරින් කළමනාකාරණය කර, මේ ප‍්‍රදේශයේ කෘෂි ආර්ථිකය දියුණු කරන්න ඕනෑ. එතකොට දඩයමට, විවිධ අපචාර ක‍්‍රියාවලට යොමු වෙන පිරිස අඩු වෙනවා. යහපත් සමාජයක් නිර්මාණය වෙනවා. කැලෑවේ ජීවත්වන සතුන් වගේම, එළිමහනේ ජීවත්වන මිනිස්සුත් පාඩුවේ ජීවත් වෙනවා. එහෙම නැති වුණොත් අවට තියෙන වනඋද්‍යානවල ජීවත්වන සතුන් නිරපරාදේ පව්කාර මිනිසුන්ගේ ආදායම් මාර්ග බවට පත්වෙනවා…’’ රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක, ශාස්ත‍්‍රපති කපුගම සරණතිස්ස නායක හාමුදුරුවො සතුන් මරන්නන්ට එරෙහි නීති රීතිවල අඩු ලූහුඬුකම් පෙන්වා දෙන විට කතරගම ව්‍යාපාරියෙක් ඊට වෙනස් කතාවක් අපට කීවේය.

පහුගිය අවුරුදු හතරක කාලය තුළ වස දැමීම නිසා කොටි 07 මැරිලා…දඩයක්කාරයෝ යාල කලේ මස් මඩුවක් කරති

‘‘හිටි හැටියේ වන සතුන් ඇවිත් අපේ වගාබිම් විනාශ කරනවා තමයි. ඒත් අපි ඒ අසරණ සතුන්ව මරලා කාලා හරියන්නෙ නෑ. මිනිස්සු කියන්නේ මොළයක් තියෙන, හොඳ නරක තේරෙන සත්ව විශේෂයක්. දෙවියන්ගේ අඩවියේ ජීවත්වන මිනිසුන්ට මස් වෙළෙඳාම් ගැළපෙන්නේම නෑ. ඒත් මහත්තයො සමහර මිනිස්සු වන්දනාවේ ඇවිල්ලත් ඉල්ලන්නේ දඩ මස්. ගංජා. ගැටිස්සියො. ඒ වගේ ‘අපත වන්දනාකරුවන්ට’ සිතැඟි ඉටුකිරීමට අපේ ගම්වලත් පිරිසක් සැදී පැහැදී ඉන්නවා. උන් ළඟ ඔය තුනම තියෙනවා. ඒවට ගැළපෙන හෝටල් තියෙනවා. මිල ටිකක් වැඩියි. අවශ්‍යතාව සුපිරියටම ඉටු කරනවා. කතරගම පෙරටු කරගෙන ‘මාංශ වන්දනාවේ’ එන ‘පණ මස්, දඩ මස්’ පේරතනයන් ඉන්නකම් මේ ජාවාරම් නතර කරන්න බෑ. ඕක තමයි ඇත්ත කතාව…’’

කැලෑ විනාශ කර ඉඩම් කොල්ලකන අසමජ්ජාතී කාලකණ්ණින්ට වන සම්පත, වන සතුන්ගේ වටිනාකමක් ගැන අවබෝධයක් නැත. එවැනි කාලකණ්ණින්ට රට ගැන කැක්කුමක් ද නැත. මහා කැලෑව විනාශ කර තම වපසරිය පුළුල් කර ගනී. කැලේ සත්තු මස් කර කති. තව පිරිසක් ආර්ථික අහේනියට අසරණ සතුන් මරා මස් කර විකුණති. දඩයම රස්සාව කරගත් පව්කාරයන් දළ ලබාගැනීමට ඇත්තු මරති. සතුන් මරා මස් කර විකුණති. වන්දනාවේ එන ඇතැම් කරුමක්කාරයො ‘දඩ මස් සහ පණ මස්’ සොයන පසුබිමක කැලේ ජීවත් වන සතුන් ගැන අපට මහා බියක් දැනේ. මතු පරම්පරාවට ‘අභයභූමි’ නමවත් ඉතිරි වේද යන්න සිතේ උපදින්නේ කුකුසක් සහිත වේදනාවකි.

තරංග රත්නවීර
කතරගම – කේ. ඞී. දේවප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment