පළමුවරට ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව නොමැති විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් පූර්ව වටයක්….

812

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව යන කණ්ඩායම් දෙකෙන් එකක් හෝ පන්දු වාර 20 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට පිවිසීමට අපොහොසත් වූ පළමු පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය බවට මෙවර ලෝක කුසලාන තරගාවලිය පත් වේ.

2007 වසරේ සිට ඇරඹි පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ මේ තරගාවලියට පෙර පැවැති සෑම ලෝක කුසලාන තරගාවලිකම අවසන් පූර්ව වටයට පිවිසීමට මෙම කණ්ඩායම් දෙකම හෝ කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක් සෑම අවස්ථාවකම සමත් වී ඇත.

මේ අතරින් කණ්ඩායම් දෙකම අවසන් පූර්ව තරග වරම් ලැබූ එකම අවස්ථාව 2014 වසරේදී සටහන් වන අතර එම අවසන් පූර්ව තරගවලින් දෙරටම ජය ලැබූ අතර අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ශ‍්‍රී ලංකාව ශූරතාව ජයග‍්‍රහණය කළේය.

ඊට අමතරව ඉන්දියාව 2007 වසරේ අවසන් පූර්ව තරග වරම් හිමි කර ගෙන පළමු ශූරතාවයද ජය ගත් අතර අවසන් වරට පැවැති 2016 තරගාවලියේද ඉන්දියාව අවසන් පූර්ව තරග වරම් හිමි කර ගත්තේය.

ශ‍්‍රී ලංකාව 2009 වසරේ, 2010 වසරේ, සහ 2012 වසරේද අවසන් පූර්ව තරග වරම් හිමි කර ගත් අතර ඉන් 2009 සහ 2012 වසරවල අනුශූරතාවය දක්වා ගමන් කළේය.

මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුපිරි වටය යටතේ සහභාගි වූ තරග 5න් තරග තුනක් පරාද වීම නිසා ශ‍්‍රී ලංකාවට අවසන් පූර්ව තරග වරම් අහිමි වූ අතර ඉන්දියාව සුපිරි වටය යටතේ තරග දෙකක් පරාද වී තරග 3ක් ජය ගත්තද එය අවසන් පූර්ව තරග වටයට පිවිසීමට තරම් ප‍්‍රමාණවත් සුදුසුකම් සපිරීමක් නොවිණි.

මෙවර පන්දු වාර 20 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග වරම් හිමි කර ගැනීමට සමත් වූයේ පකිස්තානය, ඔස්ටේ‍්‍රලියාව, එංගලන්තය සහ නවසීලන්තය යන රටවල් වේ.

අවසන් පූර්ව තරග වටය හෙට (10 වෙනිදා) සිට ආරම්භ වීමට නියමිතය.

කුෂාන් සුබසිංහ අබුඩාබි සිට…
 

advertistmentadvertistment
advertistmentadvertistment