පළමුව චැනල් දෙවනුව රට

1727

අලුත් ජනාධිපතිවරයෙක් සහ අලුත් අගමැතිවරයෙක් රට භාර ගැනීමට සූදානම්ව සිටින මේ තීරණාත්මක අවස්ථාවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නමැති වෘත්තීය සමිතිය විසින් සියලුම පක්ෂ නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විවෘත ලිපියක් මුදාහැර ඇත. මෙය දැනටමත් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කොට තිබේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය අංශයට අයත් වෘත්තීය සමිති ගණනාවක්ම තිබේ. මෙයට හෙද සේවා සංගම්ද වෛද්‍ය කාර්මික ශිල්පීන්ගේ සංගම්ද අයත්ය. දැනට මතුවී තිබෙන තත්ත්වයට අනුව මීළඟ ජනාධිපති ලෙස පත්වීමේ වැඩි බර ඇත්තේ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහටය. අගමැතිවරයා පිළිබඳව හරිආකාර එකඟත්වයක් නැත. පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ හටගත් දේශපාලන කලබගෑනිවලදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම සංගමයට විරුද්ධ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ සංගමය, රවී කුමුදේශ්ගේ සංගමය, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සංගමය යන සංගම් වැඩි කලබලයක් කළේ නැත. ඔවුහු හිටපු ගමන් පුවත්පත් නිවේදනයක් නිකුත් කර ස්වකීය ඩියුටිය අවසන් කර පැත්තකට වීමට පුරුදුව සිටියහ. සාමාන්‍යයෙන් මේ රටේ වෘත්තීය සමිති වැඩිහරියක් වැඩ කරන්නේ පුවත්පත් නිවේදන මගිනි. ඒ සඳහා ෆැක්ස් මෙෂින් එකක් සහ මේසයක් තිබීම හොඳටම ප්‍රමාණවත්ය. මේ මොහොතේදී අපේ සාකච්ඡාවට ලක්වන විවෘත ලිපිය පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යැවූ විශේෂඥ වෛද්‍ය සංගමය ද ස්වකීය වෘත්තීය සටන්වලින් වැඩි කොටස ෆැක්ස් මගින් එවන පුවත්පත් නිවේදනවලට සීමා කළ සංගමයකි. ඒ ගැන අපේ කිසිදු විරෝධයක් නැත. ඉහත සඳහන් ලිපිය මගින් වැදගත් කාරණා කීපයක් මතුකර තිබේ. ඉන් පළමුවැන්න වන්නේ බලය තම කණ්ඩායම සතුකර ගැනීමේ අරමුණින් තනතුරු ලබා ගැනීමට උත්සහ කරන අය බැහැර කළ යුතු බවය. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නැවත වරක් අ පො ස උසස් පෙළ දේශපාලන විද්‍යා පත පොත කීපයක් කියවිය යුතු බව අපි විශ්වාස කරමු. ශ්‍රී ලංකාවේ පවතින්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයකි. මේ රටේ ඡන්ද ක්‍රමය සෑදී ඇත්තේ තනිකරම පක්ෂ ක්‍රමයකට අනුවය. ඒ නිසා යූ එන් පී, ශ්‍රී ලංකා, පොහොට්ටු, ජ වි පෙ, ටී.එන්.ඒ. වැනි ප්‍රධාන පක්ෂ කිහිපයක් පාර්ලිමේන්තුව තුළ සිටිති. මීට අමතරව පාර්ලිමේන්තුවෙන් පිටත සිට Political සීන් එක මෙහෙයවන දේශපාලන කණ්ඩායම් රාශියක්ද ඇත. මෙයට ප්‍රමුඛ උදාහරණයක් ලෙස කුමාර් ගුණරත්නම් නමැති ජාත්‍යන්තරවාදියාගේ පෙරටුගාමී පක්ෂය දැක්විය හැකිය. නූතන විශ්වවිද්‍යාල පද්ධතියේ ශිෂ්‍ය බලවේගයෙන් 75% ට වැඩි ප්‍රමාණයක් පෙරටුගාමීන්ට හිමිය. එහෙත් රට සමාජවාදී ලෙස වෙනස් විය යුතු යැයි සිතන එසේම ඩේට් පැනපු පැරණි මත බැහැර කරන ජාතික දේශපාලන බලවේගයෙන් 75% ක් පමණ ජ වි පෙ ට හිමිය. මේ සියල්ලම බල කඳවුරු වෙති. ජනතා විමුක්ති පෙරමුණ යනු අනුර දිසානායක නොවේ. ඔහු සතුව ලක්ෂ ගණනක  අනුගාමික බල කඳවුරක් ඇත. පෙරටුගාමියා යනු කුමාර් ගුණරත්නම්ගේ පෙළපත් නාමය නොවේ. කුමාර් ගුණරත්න පිටුපස ලක්ෂ කිහිපයක ශිෂ්‍ය බලවේගයක් ඇත. එයද බල කඳවුරකි. රනිල්ට යූ එන් පී බල කඳවුර තිබේ. සජිත්ට යූ එන් පී එකේම Byproduct එකක් වූ ස ජ බ තිබේ. බැසිල් රාජපක්ෂගේ පොහොට්ටුවට ඉකුත් ජනාධිපතිවරණයේදී ඡන්ද 69 ලක්ෂයක් තිබිණ. එයද බල කඳවුරකි. දෙමළ ජාතික සන්ධානය යනු දේශපාලන බලකඳවුරක් පමණක් නොව මුලින්ම ෆෙඩරල් අයිතියද දෙවනුව ඊළාම් අයිතියද අපේක්ෂා කරන ජාතිවාදී බල කඳවුරකි. එබැවින් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් පවතින රටක් තුළ දේශපාලන බල කඳවුරු රැසක් ඇත. පළාත් සභා ඡන්දයකදී පවා කිසි කෙනකුට ස්වාධීනව ඡන්දයකට ඉදිරිපත් විය නොහැකි අතර ඒ සඳහා ස්වාධීන කණ්ඩායමක් සාදාගෙන බල කඳවුරක් නිර්මාණය කරගත යුතුය. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තුළ දැනට බලවත්ව සිටින්නේ එම සංගමයේ නායිකාව වන විශේෂඥ වෛද්‍යතුමාගේ හෝ තුමියගේ අනුගාමික වෛද්‍ය ප්‍රජාව වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැනට සිටින ලොක්කා එකී බල කඳවුරේ ප්‍රධානියාය. මේ නිසා බලය තම කණ්ඩායම සතුකර ගැනීමේ මූලධර්මයෙන් තොරව දේශපාලනය කළ යුතුය යනුවෙන් විශේෂඥ වෛද්‍ය සංගමය සිය ලිපිය මගින් ඉස්මතු කරන කාරණය නිෂ්ප්‍රභ වෙයි. අප නැවතත් කියන්නේ විශේෂඥ වෛද්‍ය සංගමයේ අය අ පො ස උසස් පෙළ ට නිර්දේශිත දේශපාලන විද්‍යා පොත් කියවිය යුතු බවය.

ඒ අතර ඉහත සඳහන් සංගමය තවත් යෝජනාවක් කරයි. එනම් රටේ ඉහළ තනතුරු සඳහා (ජනපති තනතුර සහ අගමැති තනතුර සඳහා විය යුතුය) සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ නැත්නම් එවැනි බුද්ධිමතකු හෝ බුද්ධිමතුන් පිටස්තර සමාජයෙන් තෝරාගෙන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනවුත් අගමැති හෝ ජනපති තනතුරු සඳහා පත්කරන ලෙසට විශේෂඥ වෛද්‍ය සංගමය කෙළින්ම නැතත් වටෙන් වටෙන් කියා තිබේ. මෙයද මෝඩ කතාවකි. කිසිම දේශපාලන දැනුමක් නැති ගෝඨාභය රාජපක්ෂ පවුලේ වුවමනාවට ජනාධිපති කරවා මේ රටේ ජනතාව කෑ පරිප්පුව පොඩි නැත. අද තෙල් නැත්තේත්, ගෑස් නැත්තේත්, කෑම නැත්තේත්, කරන්ට් එක කැපෙන්නේත් කිසිම දේශපාලන දැනුමක් නැති ගෝඨාභය රාජපක්ෂ වියත් මග නමැති නල්ල මලේ අවියතුන් සමග ආණ්ඩු කිරීමට යෑම නිසාය. ඔහු කිසිදු සිවිල් පරිපාලනයක් නොදත් විශ්‍රාමික මේජර් ජෙනරාල්ලා අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙසත් සංස්ථා සභාපතිවරුන් ලෙසත් පත්කළේය. දේශපාලනය නොකළ පිරිසිදු පුද්ගලයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන්වා ජනපති, අගමැති තනතුරු ලබාදී විශේෂඥ වෛද්‍ය සංගමය කරවන්නට හදන්නේ මේ පරණ කෙළියමද?

අපගේ වැටහීමට අනුව දේශපාලනය කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් පරිචයක් ඇති බුද්ධිමතුන් පමණි. එම බුද්ධිමතා තම බල කඳවුර තෝරාගෙන ඔවුන් සමග දේශපාලනය කළ යුතුය. ඒ අතර විශේෂඥ වෛද්‍ය සංගමය වැනි ආයතන සතු ලොකු වගකීමක් තිබේ. ඔවුන් පළමුවෙන්ම ස්වකීය චැනල් ගාස්තු අඩුකළ යුතුය. දෙවනුව කොමිස් ලැබෙන මිල අධික බ්‍රෑන්ඩ්ඩඩ් බෙහෙත් වෙනුවට මිල අඩු Generic බෙහෙත් රෝගීන්ට නිර්දේශ කළ යුතුය. සාමාන්‍යයෙන් අපට පෙනෙන්නේ මේ රටේ විශේෂඥ වෛද්‍යවරුන් වැඩිදෙනා පළමුව රට යැයි බයිලා කීවාට පළමුව චැනල් සේවය නමැති උධෘතයෙහි ඇලී සිටින බවය. වෛද්‍ය සංගම් වැඩ වර්ජනය කරන අවස්ථාවලදී පවා රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ප්‍රයිවට් හොස්පිටල්වලින් ලබාගත හැකිය. අප මේ කරුණු ඉදිරිපත් කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන් සමග කිසිදු අමනාපයකින් නොවේ. රෝගීව සිටින ජනයා මරණයෙන් ගලවා ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව පරිහරණය කරනු ලබන්නේ විශේෂඥ වෛද්‍යවරයා විසිනි. අප එයට ගරු කරමු. හැබැයි ඔවුන් ගොන් කතා කියන ඒවා බැහැර කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment