පළමු අයි.පී.එල්. තරගයෙන්ම මතීෂ වාර්තා පොතට

794

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය පළමු තරගයට ක්‍රීඩා කරමින් පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ලබා ගත් මතීෂ පතිරණ වාර්තා පොත් අතරට එක් වීමට පෙරේදා (15 වැනිදා) සමත්විය. ඒ අයි.පී.එල්. තරගාවලියේ පළමු තරගයේදී පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ලබාගත් 9 වැනි ක්‍රීඩකයා ලෙසිනි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් සිය පළමු අයි.පී.එල්. තරගයට ක්‍රීඩා කළ මතීෂ එහිදී ගුජරාට් ටයිටෑන්ස් කණ්ඩායමට එරෙහිව යොමුකළ පළමු පන්දුවේදීම ෂුබ්මන් ගිල්ගේ කඩුල්ල දවා ගැනීමට සමත්විය. අනතුරුව මතීෂගේ දෙවැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ද කඩුල්ලක් දවා ගනිමින් ගුජරාට් කණ්ඩායමේ හර්දික් පාණ්ඩයා ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට මතීෂ සමත්වීම කැපී පෙණුනි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී මතීෂ පතිරණ මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් උන්නදු නොවූ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිලන් ආබාධයකට ලක්වීමෙන් අනතුරුව මතීෂ එම කණ්ඩායම සඳහා මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකාරිත්වය කටයුතු කළේය.

කෙසේ වෙතත් චෙන්නායි සහ ගුජරාට් අතර පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට ගුජරාට් ටැයිටෑන්ස් කණ්ඩායම සමත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment