පළමු තරගයෙන් එංගලන්ත ලයන්ස්ට පහසු ජයග්‍රහණයක්

164

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා ) පැවැති එක්දින තරගයෙන් කඩුලු 4ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත් වූයේය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලබා දුන් ලකුණු 231ක ඉලක්කය පන්දුවාර 40යි පන්දු දෙකකදී කඩුලු 6ක් පමණක් දැවී ඉක්මවා ගිය සංචාරක කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමග තරග 3කින් යුතු තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් විය.

ජයග්‍රාහී එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ජේකොබ් බිතෙල් ලකුණු 50ක් ලබා ගත් අතර ජැක් හේන්ස් ලකුණු 25ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය බිඳදමමින් ජැක් හේන්ස් ගේ කඩුල්ල දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වුවද අනතුරුව පිටියට පැමිණි සෑම් හේන්ස් ද අර්ධ ශතකයක් වාර්තා කළ අතර අංක 4 පිතිකරු ජෝර්දාන් කොක්ස් ලකුණු 46ක් ලබා ගත්තේය.

වරෙක සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 173ක් ලබා සිටිය ද අනතුරුව ක්‍රියාත්මක වූ දුෂාන් හේමන්ත ප්‍රමුඛ පන්දු යවන්නෝ තවත් කඩුලු හතරක් ලකුණු 58ක් තුළ දවා ගැනීමට සමත් වූහ.

දුෂාන් හේමන්ත ලකුණු 56 කට කඩුලු 3ක් තබාගත් අතර ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2ක් ද සහන් ආරච්චි එක් කඩුල්ලක් ද ලබා ගත්තේය.

කාසියේ වාසිය ජයග්‍රහණය කර තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 230කට දැවී ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 25කට දැවී ගිය අතර සධීර සමරවික්‍රම නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පස්වැනි කඩුල්ල සඳහා සහන් ආරච්චිගේ සමග එක්ව ලකුණු 121 සම්බන්ධතාවයක් පැවැත්වූහ.

සධීරගේ අධිෂ්ඨානශීලී ඉනිම ජේකොබ් බෙතෙල් ගේ පන්දුවක් හමුවේ ලකුණු 74කට නිමා වූ අතර ඒ සඳහා පන්දු 86කට මුහුණ දී තිබුණු ශ්‍රී ලංකා නායකයා ඒ අතරතුර එල්ල කර තිබුණේ හතරේ පහර හතරක් පමණි.

සධීර සහ සහන් ආරච්චි අතර ඇතිවුණු සම්බන්ධතාව ශ්‍රී ලංකා ඉනිමේ 146 වැනි ලකුණ වාර්තා වීමෙන් පසුව බිඳ වැටුණි. කණ්ඩායමට අත්‍යවශ්‍යම ලකුණු 57ක් ඒ වනවිට වාර්තා කර තිබූ සහන් ආරච්චි පන්දු 80කට මුහුණ දී තිබුණි.

නම් දරා තිබූ සියලු පිතිකරුවන් ක්‍රීඩාගාරයට ගිය පසු අවසන් පිතිකරුවන් සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 225 සීමාව පසු කරලීමට මහත් වෙහෙසක් දැරූ චාමික කරුණාරත්න ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය.

ඒ වන විට චාමික කරුණාරත්න පන්දු 48කදී වේගවත් ලකුණු 52ක් වාර්තා කර තිබූ අතර ඊට හයේ පහර දෙකක් සහ හතරේ පහර 5ක් අන්තර්ගත විණි.

මෙම තරගය සඳහා විශේෂයෙන් කැඳවා තිබූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 17කට පමණ මුහුණ දී ලකුණු 13කට දැවී ගියේය. ආරම්භක පිතිකරුවන් වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 0කටද ලසිත් කෲස්පුල්ලේ ලකුණු 4කට ද අංක 3 පිතිකරු නුවනිදු ප්‍රනාන්දු ලකුණු 2කට ද දැවී ගියහ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment