පළමු තරගයෙන් ශ‍්‍රී ලංකාවට පරාජය – ‘සාෆ්’ පාපන්දු තරගාවලිය

122

මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි සුප‍්‍රසිද්ධ ජාතික ක‍්‍රීඩාංගනයේ දී දැන් ක‍්‍රියාත්මක 13 වැනි දකුණු ආසියාතික රටවල පාපන්දු ශූරතාව හෙවත් ‘සාෆ්’ තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (01) පැවති  ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මුල්ම තරගයෙන් ගෝල්  01 – 00 ක තියුණු ජයග‍්‍රහණයක් වාර්තා කර ගැනීමට බංගලදේශය ක‍්‍රීඩකයෝ සමත් වූහ.

ප‍්‍රධාන විනිසුරු සිරියානු ජාතික ෆෙරාස් ටවීල් මහතාගේ සංඥාවට අනුව ඇරඹී මෙම තරගයේ ප‍්‍රථම භාගය තුළ දෙපිළ වෙතින්ම කරට කර සටනක් දක්නට ලැබීම කැපී පෙනුණි. ඒ අනුව ආරම්භක භාගයේදීම පෙරමුණ ලබා ගැනීම සඳහා උත්සාහ කරන බවක් දෙපිල වෙතින්ම ප‍්‍රදර්ශනය වුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස දෙපිලම එක් අවස්ථාවක ආරක්ෂාකාරී ක‍්‍රීඩා පිළිවෙතක ද තවත් අවස්ථාවක ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වීම හේතුවෙන් උණුසුම වඩාත් තීව‍්‍ර විය. ඒ අනුව තරගයේ ප‍්‍රථම භාගය ගෝල් 00 – 00 ක් ලෙස සම තත්ත්වයකින් අවසන් විය.

සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුතුව හර්ෂ ප‍්‍රනාන්දු, ඩක්සන් පස්ලස්, චමෝද් දිල්ශාන්, චරිත් රත්නායක, කවිඳු ඉෂාන්, අසීකූර් රහුමාන්, චලන චමීර, රාෆික් වසීම් අහමඞ්, මර්වින් හැමිල්ටන් සහ ජූඞ් සුපන් ආරම්භක ක‍්‍රීඩකයින් ලෙසින් තරග බිමට අවතීර්ණ වූහ.

එහෙත් දෙවන භාගය තුළ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයෙකුගේ අත් වැරදීමක් හේතුවෙන් ප‍්‍රතිවාදී පිලට දඬුවම් පහරක් එල්ල කිරීමේ අවස්ථාව උදා විය. එය තරගයේ ඉරණම විසඳුණු අවස්ථාව ලෙස ද සඳහන් කළ හැකිය. ශ‍්‍රී ලංකා දැල රකින ක‍්‍රීඩක සුජාන් පෙරේරාගේ වම් පසින් ගෝල් රේඛාව අභිබවා යන පරිදි එකම ගෝලය සටහන් කරන්නට බංගලාදේශය නියෝජනය කළ අංක 04 ක‍්‍රීඩකයාට දඬුවම් පා පහර ආශ‍්‍රිතව හැකි විය. ඉනික්බිතිව ගෝල් වාර්තා කර ගැනීමට දෙපිලටම නොහැකි වූයෙන් ගෝල් 01 – 00 ක තියුණු ජයග‍්‍රහණයක් බංගලදේශය සතු විය. ශ‍්‍රී ලංකා පිල සහභාගි වන දෙවන තරගය ලබන සඳුදා (04) නේපාලයට එරෙහිව පැවැත්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment