පළමු පරීක්‍ෂණය නෙගටිව් – දෙවැනි පරීක්‍ෂණය පොසිටිව්: ඥාතීන්ට දී තිබූ කාන්තා මෘතදේහය රෝහලට රැගෙන විත් අවසන් කටයුතු කරයි

251

මල් ශාලා සේවකයන් දෙදෙනා සහ නිවැසියන් දස දෙනකු නිරෝධායනයට

කොරෝනා රෝගී මළසිරුරක් ඥාතීන්ට මුදාහැර අවසන් කටයුතු සිදුකිරීමට සූදානම් කර තිබියදී පෙරේදා (20 දා) පෙරවරුවේ නැවත රෝහලට රැගෙනවිත් අවසන් කටයුතු සිදුකර ඇති පුවතක් නාගොඩ රෝහලින් වාර්තා වේ.

පොතුවිල, මහගම්මැද්ද ප‍්‍රදේශයේ පදිංචිව සිටි හැත්තෑනම හැවිරිදි කාන්තාවකගේ මෘතදේහයක් නැවත මෙලෙස රැුගෙනවිත් ඇතැයි පැවසේ.

ඒ අනුව අදාළ මළසිරුර එම්බාම් කළ කළුතර මල් ශාලාවක සේවකයන් දෙදෙනකු සහ නිවැසියන් දස දෙනෙකු ඇතුළුව දොළොස් දෙනකු නිරෝධායනය කිරීමට කළුතර සෞඛ්‍ය අංශ කටයුතු යොදා තිබේ.

අදාළ කාන්තාව ඉකුත් 18 දා මියගොස් ඇති අතර ඇයගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබීමට මත්තෙන් මෘත දේහය ඥාතීන්ට භාරදී තිබේ.

ඒ අනුව කළුතර මල් ශාලාවකින් මළසිරුර එම්බාම් කර පොතුවිල මහ ගම්මැද්ද ප‍්‍රදේශයේ නිවසට ඉකුත් 19 දා පස්වරුවේ රැගෙන ගොස් තිබේ.

කෙසේ වුවද පෙරේදා (20 දා) උදෑසන ලැබී ඇති පීසීආර් වාර්තාවට අනුව ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

ඒ අනුව වහා ක‍්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය කළුතර සෞඛ්‍යය වෛද්‍ය විද්‍යායතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් අදාළ අවමඟුල පැවැත්වෙන නිවසට යොමුකර දේහය නැවත රෝහලට රැගෙන ඒමට ක‍්‍රියාකර නිරෝධායන නීතියට අනුව කළුතර ප‍්‍රාදේශීය සභාවේ පොතුවිල ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදුකර තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ නාගොඩ මහ රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය අධිකාරිවරයා පැවසුවේ, අපි අවස්ථා දෙකකදී පිසීආර් පරීක්ෂණ සිදු කරනවා.

ඇයගේ ජෛවානු ගුණනය 30 ට වඩා වැඩියි. ඒ නිසා පළමු පරීක්ෂණය නෙගටිව්. දෙවන පරීක්ෂණ පොසිටිව් බව දැනගැනීමෙන් පසු ඉතා ඉක්මනින් නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු කළා.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment