පළමු පියවර වැරදී  – ශ්‍රී ලංකාව අවදානම් අඩියකට

484

ආසියානු කුසලාන ක්‍රිකට්  තරගාවලිය

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට්  තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ්‍රී ලංකාව සමග පෙරේදා (27 වෙනිදා) පැවති තරගය +5.176ක ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගයක් මත ජයගත් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ තරගාවලියේ ඉදිරි ගමන පිළිබඳව සත්කාරක ක්‍රීඩකයන් අවිනිශ්චිත බියකට ඇද දැමූහ.

ඇෆ්ගනිස්තානය හමුවේ පන්දු 61ක් තුළ කඩුලු 8ක් ලෙස ලද එම දරුණු පරාජය හේතුවෙන් සුපිරි වටයට ශ්‍රී ලංකාවට පිවිසීමට නම් බංග්ලාදේශය සමග ලබන 01 වෙනිදා පැවැත්වෙන තරගය අනිවාර්යයෙන් ජයගත යුතු වේ.

එහිදී ඇෆ්ගනිස්තානය ද බංග්ලාදේශය සමග හෙට (30 වෙනිදා) පැවැත්වෙන තරගය ජයගත යුතු වේ.

එසේ නොමැතිව ඇෆ්ගනිස්තානය බංග්ලාදේශය හමුවේ පරාජයට පත් වුව හොත් (ශ්‍රී ලංකාව බංගලදේශය පරාජයට පත්කර) කණ්ඩායම් තුනම එක් තරගයක් පමණක් ජයගැනීමේ පදනම මත ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය හමුවේ සුපිරි හතර දෙනාගේ වටය සඳහා කණ්ඩායම් තේරීම සිදු වේ.

එහිදී ඇෆ්ගනිස්තානය හමුවේ ලද දරුණු පරාජය ශ්‍රී ලංකාවට දැඩි අවාසිසහගත ලෙස බලපානු ඇති අතර කණ්ඩායම ඉදිරියේ දැනට සටහන්ව ඇති -5.176ක ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය යටපත් කර ඉදිරි වටයට පැමිණීමට නම් තමන් ඇෆ්ගනිස්තානය හමුවේ ලද පරාජයට වඩා දරුණු පරාජයක් ශ්‍රී ලංකාව බංග්ලාදේශයට උරුම කර දිය යුතු වේ.

නොඑසේ නම් ඇෆ්ගනිස්තානය බංගලාදේශය හමුවේ පරාජය වේ නම් එම පරාජයද දරුණු පරාජයක් විය යුතු වන අතර පෙරේදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ සියලු දෙනා ලකුණු 105 කට දැවී යෑම පරාජයේ කේන්ද්‍රය විය.

එහිදී ශ්‍රී ලංකා ඉනිම මුල පටන්ම අගාධයකට ඇද දැමීමට කටයුතු කළ ඇෆ්ගනිස්තාන ආරම්භක වේග පන්දු යවන්නා වූ ෆසල්ලාහ් ෆරූකී පළමු පන්දු වාරයේදීම ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ සහ උප නායක චරිත් අසලංක ගේ කඩුලු දවා ගත්හ.

පැතුම් නිශ්ශංක ගේ දැවී යෑම දැඩි මතභේදාත්මක වූ අතර පන්දුව පිත්තේ වැදී කඩුලු රකින්නා විසින් රැක ගත් බව පිටිය මැද ප්‍රධාන විනිසුරුගේ තීරණය විය. එය තෙවැනි විනිසුරුට යොමු කර ‘අල්ට්‍රා එජ්’ අවස්ථාවේදී රූපවාහිනි දර්ශන මගින් දක්නට ලැබුණේ පන්දුව පිත්තේ වැදී නොමැති බවයි. එහෙත් අවසානයේ එය දැවී යෑමක් ලෙස විනිසුරු තීරණය කළ අතර තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ද කණ්ඩායම් දෙකේ නායකයන් සඳහන් කළේ පැතුම්ගේ දැවී යෑම වැරදි විනිසුරු තීරණයක ප්‍රතිඵලයක් බවයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වීමට ලකුණු 38ක් ලබා ගත් භානුක රාජපක්ෂ සමත් වූ අතර පන්දු 29ක් තුළදී ඔහු හයේ පහරක් සහ හතරේ පහර 5 සමග ලකුණු 38ක් ලබා ගත්තේය. ලකුණු 75 කට කඩුලු 9 ක් බිඳ වැටී තිබියදී අවසන් පිතිකරු සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ඉලක්කම් තුනේ සීමාව කරා අමාරුවෙන් ඇද ගෙන ගිය චාමික කරුණාරත්න ඉලක්කම් දෙකේ ලකුණු සීමාවට අවතීර්ණ වූ පිතිකරුවන් තිදෙනාගෙන් එක් අයෙක් විය. ඔහු ලකුණු 31ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනාට අමතරව ලකුණු 10 සීමාව පසුව කර ගිය අනෙක් පිතිකරු වූ ධනුෂ්ක ගුණතිලකගේ ඉනිම ලකුණු 17කින් නතර විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සහ උප නායක චරිත් අසලංක යන දෙදෙනාම තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියහ.

ඩිල්ශාන් මධුශංක සහ මතීෂ පතිරණ දෙදෙනා පෙරේදා තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග වරම් දිනා ගත් අතර කිසිදු අපහසුවකින් තොරව පන්දුව හතරේ සීමාවට යොමු කළ ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවෝ දෙදෙනා එක්ව හතරේ පහර 8ක් සහ හයේ පහර හතරක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව එල්ල කර තිබුණි. හසරටුල්ලා ශශෙයි ලකුණු 28 ක් නොදැවී ලබා ගත් අතර රහමටුල්ලා ගුර්බාස් පන්දු 18කදී ලකුණු 40ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය ෆසල්ලාහ් ෆරූකීට හිමි විය.

කුෂාන් සුබසිංහ ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට
 

advertistmentadvertistment
advertistmentadvertistment