පළමු පොපි මල ජනපතිට

66

ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (26දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් පළඳවනු ලැබීය.

ශ‍්‍රී ලංකාවේ පොපි මල් සැමරුම 1944 වසරේදී ආරම්භ කොට ඇති අතර මෙවර පොපි මල් සැමරුම සිදුකරන්නේ 77 වන වරට ය. පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ‍්‍රාමික හා ආබාධිත රණවිරුවන්ගේ සුබසාධනයට වෙන් කෙරේ.

පළමුවන හා දෙවන ලෝක යුද්ධයේදී මෙන්ම පසුගිය තිස් වසරක් පුරා ශ‍්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී ජීවිතය පූජා කළ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් 2021 පොපි මල් සැමරුම නොවැම්බර් මස 14 වැනිදා පෙරවරුවේ විහාරමහාදේවී උද්‍යානයේ ලෝක යුද විරු අනුස්මරණ ස්මාරකය අබියසදී පැවැත්වීමට නියමිතය.

සෑම වසරකම නොවැම්බර් මස 11 වැනිදා ලෝකයේ බොහෝ රටවල් පොපි සැමරුම සිදුකරන අතර ශ‍්‍රී ලංකාවේ ද නොවැම්බර් මස 11ට ආසන්න ඉරු දිනක මෙම සැමරුම පවත්වයි.

ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් ලූතිතන් කර්නල් අජිත් සියඹලාපිටිය, භාණ්ඩාගාරික මේජර් ශාන්තිලාල් කංකානම්ගේ, අනුස්මරණ කමිටු සභාපති ලූතිතන් කර්නල් ඒ. දීපාල් සුබසිංහ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment