පළමු විස්සයි – 20 සටනින් ශ්‍රී ලංකාවට ජය

93

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

2015 වසරෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවන්ට එරෙහිව ලැබූ පළමු විස්සයි- 20 ජය ලෙස මෙම තරගය සටහන් විණි.

එම ජයත් සමග තරග තුනකින් සමන්විත තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (24 දා) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ වාරය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට භාර කළ අතර ඒ අනුව පිටියට පැමිණි එම ක්‍රීඩිකාවෝ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 134ක් ලබාගැනීමට සමත්වූ අතර පිළිතුරු ඉනිම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු වාර 18යි පන්දු 4ක් තුළ කඩුලු 6ක් දැවී ලකුණු 137ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.

පන්දුවට පහර දීමේදී බ. ඉ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නායිකා හේලි මැතිව්ස් ලකුණු 30ක්, ඒලියා ඇලන් ලකුණු 26ක් සහ ක්වීන් ජෝසප් ලකුණු 20ක් ලැබීය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 24කට කඩුලු 4ක් දවාගැනීමට සමත්වූ අතර ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 28කට කඩුලු 3ක් සහ අමා කාංචනා 1 කඩුල්ලක් බිඳහෙළීය.

පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න ලකුණු 35ක්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35ක්, හසිනි පෙරේරා ලකුණු 20ක් සහ නිලක්‍ෂිකා සිල්වා ලකුණු 17ක් ලබාගැනීමට සමත්විය.

බ. ඉ. කො. කණ්ඩායම වෙනුවෙන් අෆී ප්ලෙචර් ලකුණු 29කට කඩුලු 2ක්, ෂර්මිලා කෝනෙල්, හේලි මැතිව්ස්, කරිෂ්මා රාම්හර්ක් සහ ඒලියා ඇලන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment