පළාත් පාපන්දු තරගාවලිය එල්පීඑල් තරගාවලියක් සමානව පැවැත්වීමට කටයුතු කරනවා – ඇමැති නාමල් රාජපක්ෂ  

221

නිදහස් කුසලාන සිලෝන් පළාත් පාපන්දු තරගාවලිය ඉදිරියේදී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියක් හා සමානව පැවැත්වීමට කටයුතු කරන බව ක‍්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පළාත් මට්ටමින් ක‍්‍රියාත්මක නිදහස් කුසලාන සිලෝන් පළාත් පාපන්දු තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් කුරුණෑගල මාලිගාපිටිය ක‍්‍රීඩාංගණයේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ශ‍්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩකයන් සියලූ දෙනාට තමන් උපන් පළාත නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා ක‍්‍රීඩා කිරීම අනිවාර්ය කිරීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා ඇති අතර ඔවුන් සමග නැගී එන දක්ෂ ක‍්‍රීඩකයන්ට මෙම තරගාවලියට සහභාගි වීමට අවස්ථාව සලසා දී ඇත.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

කොළඹින් පිට වයඹ පළාතේ පිහිටා තිබෙන මෙම කුරුණෑගල මාලිගාපිටිය ක‍්‍රීඩාංගණය ජාත්‍යන්තර තලයේ ක‍්‍රීඩාංගණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සහ කුරුණෑගල මහ නගර සභාවේ අනුග‍්‍රහයෙන් මෙම ක‍්‍රීඩාංගණය තුළ පළාත් පාපන්දු තරගාවලිය ආරම්භ කර තිබෙනවා.

පාපන්දු ක‍්‍රීඩාව රටේ ප‍්‍රචලිත කිරීමට මෙම පාපන්දු තරගාවලිය බෙහෙවින් ඉවහල් වෙනවා වගේම මේ තුළ තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ විශාල ප‍්‍රමාණයක් බිහිකරගන්න හැකියාව ලැබෙයි.

ඒ වගේම පළාත් පාලන ආයතනයක් ලෙස මහ නගර සභාව ඉදිරියට පැමිණ ක‍්‍රීඩාව සංවර්ධනය කිරීමට දරන උත්සාහය අපි අගය කරනවා.

ලබන වසර වනවිට මෙම ධාවන පථය මංතීරු හයක සින්තටික් ධාවන පථයක් බවට පත් කරන්න ක‍්‍රීඩා අමාත්‍යාංශයත් මැදිහත්වෙනවා.

කොවිඞ් 19 වසංගත අභියෝගය තිබුණත් පාපන්දු ක‍්‍රීඩාව සංවර්ධනය කිරීමට පාපන්දු ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිරීමට වගේම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යන්නත් රටේ ක‍්‍රීඩා ආර්ථිකය ගොඩනැගීමටත් පාපන්දු සම්මේලනයේ සභාපතිතුමා ඇතුළු එම කණ්ඩායම ලබාදෙන සහයෝගය අපි අගය කරනවා.

ඉදිරියේදී පාපන්දු ක‍්‍රීඩාවේ මෙම පළාත් තරගාවලිය එල්. පී. එල්. තරගාවලිය හා සමානව පැවැත්වීමට අපි යැයි ද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා, පශු සම්පත්, ගොවිපළ ප‍්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඞී. බී. හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ගුණපාල රත්නසේකර, යූ. කේ සුමිත් උඩුකුඹුර, අසංක නවරත්න, මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් සහ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment