පළාත් පාලන ආයතන බහුතරයක් ජයගැනීමේ පදනම සජබය සතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

147

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් බහුතරයක් වූ පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමට පදනමක් සමගි ජන බලවේගයට ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (09)අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.පළාත් පාලන මැතිවරණය සඳහා දැනටමත් සමගි ජන බලවේගය හැටියට අපි පළාත් පාලන 340ටම තරග කරන්න මූලික සූදානම්වීම සිදු කරමින් තිබෙනවා. අපේ මූලිකම අරමුණ බිම් මට්ටමේ සියලු‍ ආයතනවල බලය තහවුරු කරගැනීමත් ඒ වෙනුවෙන් දැනටමත් සියලු‍ අපේක්ෂකයන් තෝරා ගැනීමත් ආරම්භ කර තිබෙනවා. ඒත් එක්කම මූලික සංවිධාන කටයුතු සියල්ල ආරම්භ කර තිබෙනවා. ඉදිරි 18, 19, 20 දිනවල නාම යෝජනා පත්‍ර භාර දෙන්න අපි දැනටමත් සියලු‍ සංවිධායකවරුන්ට උපදෙස් දී තිබෙනවා.

එහිදී විශේෂත්වයක් තියෙනවා අපේ නාමයෝජනා සකස් කිරීමේදී කාන්තා ප්‍රතිශතය සහ තරුණ ප්‍රතිශතය වැඩි වශයෙන් ඇතුළත් කරන්න ඉල්ලීමක් කළා. ඒත් සමගම වෘත්තීයවේදීන් සහ විද්වත් කණ්ඩායම්වලටත් අවකාශය දෙන්න අපි ඉල්ලීම් කර තිබෙනවා.මේ වෙන විට පළාත් පාලන මැතිවරණය ගැන විවිධ කතා ඇහෙනවා. එකක් තමයි පළාත් පාලන මැතිවරණය සඳහා අලි පොහොට්ටු හවුලක් ගැන කියන එක. ඇයි ඒ ගොල්ලන්ට තනියම මේ මැතිවරණයට මුහුණ දෙන්න තිබෙන නොහැකියාව නිසා. අපි අහන්නේ අලි පොහොට්ටු හවුල කිසිසේත් සමගි ජන බලවේගයට අභියෝගයක් නෙවෙයි. හේතුව පොහොට්ටුව පිළිබඳව සහ එක්සත් ජාතික පක්ෂය පිළිබඳව බිම් මට්ටමේ තියෙන්නේ බිඳවැටුණු තත්ත්වයක් විශේෂයෙන්ම ජනතාව ප්‍රතික්ෂේප කරපු අසාර්ථක ආණ්ඩු කරපු හොරකම දූෂණය වංචා පිළිබඳ චෝදනාවට ලක් වෙච්ච පොහොට්ටු සහ අලි එකට එකතු වුණා කියලා අපිට කිසිම තර්ජනයක් වත් අභියෝගයක් වත් නැති බව පැහැදිලිව කියනවා.අපි අහන්නේ රට විනාශ කළා යැයි කියන චෝදනාවට ලක් වෙච්ච පොහොට්ටු කණ්ඩායම් සහ ජනතාව ප්‍රතික්ෂේප කරපු එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් කොහොමද ගම්වලට යන්නේ. ගෙවල්වලට ගිහිල්ලා ඡන්දය ඉල්ලන්න පුළුවන් තත්ත්වයක ඒ අය නැහැ. මොකද මහජනතාව බලාගෙන ඉන්නවා කියලා අමතක කරන්න එපා ඒ අය පැමිණෙන තුරු. කොසු ඉදල් ඉලපත් අරගෙන බලං ඉන්නේ.

රට පාලනය කරපු කාලසීමාව තුළ රට බංකොලොත් වුණා විතරක් නෙමෙයි මිනිස්සු දැඩි පීඩනයට පත් වුණා. ජීවත් වෙන්න බැහැ සියලු‍ අමාරුකම් ඇති වෙලා තිබෙන්නේ පොහොට්ටු අලි පාලනය නිසා. එහෙම අය පිළිගන්න මේ රටේ ජනතාව ඉලපත් අරගෙන බලන් ඉන්න කියන බවත් මතක් කරනවා.දැන් අලු‍ත් තර්කයක් ගොඩ නගමින් තිබෙනවා මේ පළාත් පාලන මැතිවරණයට මුදල් නැහැ කියලා. ඒක අමූලික බොරුවක් ඇයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳිලා තියෙනවා පළාත් පාලන මැතිවරණය පමණක් නෙමෙයි ව්‍යවස්ථානුකූලව පවත්වන ඕනෑම මැතිවරණයකට මුදල් වෙන් කරන්න. එය මහා භාණ්ඩාගාරයේ වගකීමක්. ඒ විතරක් නෙමෙයි 2023 අයවැය ලේඛනය සඳහා මැතිවරණය සඳහා මුදල් වෙන් කරලා තියෙන්නේ ඒ පිළිබඳව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා නිල ප්‍රකාශයක් කරලා තියෙනවා. ඊයෙත් එතුමා මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබුණා රුපියල් බිලියන දහයක් මුදල් වෙන් කරලා තියෙනවා ඒක පුලු‍වන් තරම් අඩුවෙන් වියදම් කරලා මැතිවරණය පවත්වන්න ඔවුන් සූදානම් කියලා. එහිදී මුදල් නැහැ කියන කතාව සම්පූර්ණයෙන්ම මේ මැතිවරණය කල්දැමීම සඳහා ගොඩනගන තර්කයක් විතරයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment