පළාත් පාලන ඡනදය මුලින්ම

349

පළාත් පාලන මැතිවරණය මුලින්ම පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව මෙම වසරේ අග භාගයේදී මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

දැනට ගම් මට්ටමින් ආරම්භ කර ඇති සංවර්ධන කටයුතු ඉදිරි මාස කිහිපය ඇතුළත අවසන් කිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවේ ප‍්‍රධානීන් විසින් ප‍්‍රාදේශීය දේශපාලන අධිකාරියට දැනුම් දී ඇත. එමෙන්ම සියලු ආසන සංවිධායකයන්ට සිය ආසනවලට ගොස් අඩුපාඩු හා ඇනහිට ඇති ග‍්‍රාමීය සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බලා ජන සහභාගිත්වයෙන් යුතුව අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දී තිබේ.

පළාත් පාලන ඡුන්ද විමසීම 2021 ඡුන්ද හිමි නාම ලේඛනය යටතේ සිදු කිරීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය යළි සංශෝධනය කළ යුතු බවට පක්‍ෂ නායකයන්ගේ ඉල්ලීමක් වුවත් එය යළි සංශෝධනය කිරීමට කාලයක් ගතවන බැවින් පෙර පැවති ක‍්‍රමයට මැතිවරණය පවත්වනු ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විශ්වාසය පළ කළේය.

‘‘අපි ඕනෑම මැතිවරණයකට බය නෑ. පළාත් සභා මැතිවරණය පැවැත්වුවත්, පළාත් පාලන මැතිවරණය පැවැත්වුවත් ලේසියෙන් ම දිනන්න අපිට පුළුවන්’’ යැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙක් කියා සිටියේය.

පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීමට අදාළාව තේරීම් කාරක සභා අවසාන වාර්තාව ද මේ වන විට ලැබී තිබේ. කෙසේ වෙතත් මුලින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඉඩ තිබෙන බව ආණ්ඩු පක්‍ෂයේ කිහිපදෙනෙක් ම විශ්වාසය පළ කළහ.

කොවිඩ් වසංගතය නිසා අහිමි වූ වසර දෙකක කාලය දික්කර ගැනීම සඳහා ‘ජනමත විචාරණයක්’ පැවැත්වීමට ආණ්ඩුවේ සූදානමක් තිබේ දැයි කළ විමසීමකට පිළිතුරු දුන් නීති විශාරදයන් කිහිපදෙනකු කියා සිටියේ ජනමත විචාරණයකට යෑම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක‍්‍රියාවක් බවයි.

කෙසේ වෙතත් ලබන සැප්තැම්බර් මාසයෙන් පසුව ඕනෑම මොහොතක පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය හිමිවේ. පළාත් පාලන ඇමැතිවරයාට තිබෙන බලතග අනුව පළාත් පාලන ආයතනවල කාලය වසරකින් දික්කළ අතර එම ආයතනවල නිල කාලය 2023 පෙබරවාරි මස 10 වැනිදා අවසන් වීමට නියමිතය.

රනිල් ධර්මසේන, ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment