පළාත් පාලන ඡන්දයෙන් පසු පරිසර හිතකාමී නව රෙගුලාසි ඇති කිරීමට පූර්ණ සහාය දෙනවා – අගමැති

66
නිකසළ ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ චාවකච්චේරි පළාත් පාලන ආයතනයේ සභාපතිවරියට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්තුති කළ අවස්ථාව.

පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීමෙන් අනතුරුව පරිසර හිතකාමී ජනතා හිතවාදී නව පරිසර රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (12 දා) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වර්ල්ඩ් විෂන් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සමුළුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීමෙන් අනතුරුව පළාත් පාලන ආයතන සඳහා පරිසරය මුල්කර ගෙන පරිසර හිතකාමී ජනතා හිතවාදී නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට ඔබ සමඟ එක්ව කටයුතු කිරීමට සම්පූර්ණ සහාය දෙනවා. හොඳ අනාගතයක් බලාපොරොත්තු වන පළාත් පාලන ආයතනවලට අවශ්‍ය අධ්‍යාපනය, නව තාක්‍ෂණය උපයෝගී කරගෙන අලුත් ක්‍රමවේද අනුව කටයුතු කරන්නට ඉඩ සලසනවා. ඒ බවට රජය වෙනුවෙන් සහ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා ලෙස සහතික වෙනවා.

එහෙත් දැන් අපි මැතිවරණයකට යොමුවී ඇති අවස්ථාවක සිටින බැවින් මා මෙය කිවයුතුද දන්නේ නෑ.

නිකසළ රටක්, අතට මුදලක් වශයෙන් වර්ල්ඩ් විෂන් ආයතනය මෙම වැඩසටහනේ ප්‍රධාන තේමාව විදිහට ගෙන තිබෙනවා. ඕනෑම හොඳ දේක රසවත් අවසානයකුත් තියෙනවා. පරිසරය ආරක්‍ෂා කර ගැනීමට තමන්ගේ ජීවිතවලට දරුවන්ට පවිත්‍රතාවය උගන්වන්නට වගේම අපතේ යන දේ මුදලක් බවට පරිවර්ථනය කර ගැනීමත් වැදගත් ආදර්ශයක්.

ඔබ ආයතනයත් ඒ කාලයේ අපේ රටේ භූගත ජලය අපවිත්‍රවීම වැළැක්වීම සම්බන්ධයෙන් ව්‍යාපෘතියක් දියත් කළා. එම වැඩපිළිවෙළට ස්තුතිවන්ත වෙනවා. භූගත ජලය අපවිත්‍ර වීම වැළැක්වීම පිළිබඳ එම වැඩසටහන ආදර්ශයට ගත හැකියි. බස්නාහිර පළාතේ තමයි වැඩිපුරම කසළ ප්‍රමාණයක් එළියට දාන්නේ. ගෙදර දොරේ, පාරවල්වල, කර්මාන්තශාලාවල මේ අපද්‍රව්‍ය එකතු කරනවා. මේ කසළ එකතු කරන මහා යන්ත්‍ර කොළඹ නගරයේ තිබෙනවා තවමත් අපි දකිනවා. මෙම ගැටලුව අපට විසඳාගත හැකි ප්‍රමාණයකින් අපද්‍රව්‍ය අඩුකර ගත හැකියි. මීතොටමුල්ල ඇති වුණු ඛේදවාචකය පිළිබඳ අපිට මතකයි. එය කාලයක් තිස්සේ ගොඩනැඟුනත් කිසිවකු කල්පනා කළේ නැහැ එවැන්නක් සිදුවෙයි කියලා.

මා නියෝජනය කරන මහරගම මැතිවරණ කොට්ඨාසයේ යන එන ගමනේ හයිලෙවල් පාරේ දකින්නට ඇති මෙවැනි තැනක් දීර්ඝ කාලයක් තිබුණා. අපේ ප්‍රාදේශීය සභාවත්, නාගරික සංවර්ධන අධිකාරියත් සැලසුම් කරලා එද එය සම්පූර්ණ පිට්ටනියක් බවට පරිවර්තනය කරලා තියෙනවා. චාවකච්චේරිය, වත්තල වගේ ප්‍රදේශවල ඉතා සාර්ථකව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනවා.

එහි තමන්ගේ ගෙදර දොරේ දිරාපත්වන අපද්‍රව්‍ය තැන්පත් කළ හැකියි. සරල විදිහට කතා කළාට මේ ප්‍රශ්නය මහා පරිමාණ ප්‍රශ්නයක්. හැම නගරයකම අද අපද්‍රව්‍ය එක්රැස් කිරීම ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා.

සෑම පලාත් පාලන ආයතනයක්ම මේ අපද්‍රව්‍ය ගැටලුව විසඳීමට අවදිව එකතුව කටයුතු කළ යුතුයි. මේ පිළිබඳව අවධානය යොමුකර තමන්ගේ අය වැය ලේඛනය සකස් කළ යුතුයි.

සිංගප්පූරුවට යන්න අපි බොහෝ දෙනා කැමතියි. සිංගප්පූරුවේ පිරිසුදුකම එයට එක හේතුවක්. ඒ රටේ අපද්‍රව්‍ය ඕන ඕන විදියට විසි කරන්න බැහැ. එහෙම වුණොත් සිංගප්පූරු ජාතිකයෙක් ද විදේශීය ජාතිකයෙක් ද කියලා බලන්නේ නැහැ. දඩ ගහනවා. මේ වගේ පරිසර හිතකාමී රෙගුලාසි නිසා බොහොම ඉක්මනට මිනිස්සු එයට පුරුදු වෙනවා. ලංකාවෙත් එවැනි වැඩසටහනකට ස්වෙච්ඡා බළකායක් අදාළ අංශවල අයට සහාය දිය යුතුයි. පළාත් පාලන ආයතනයන් මීට සහාය දිය යුතුයි. මහජන සහයෝගය නමැති සංකල්පය මීට වැදගත්.

advertistmentadvertistment
advertistmentadvertistment