පළාත් පාලන ඡන්දය නියමිත දිනට පවත්වන්න

99

මල්වතු අස්ගිරි මහ නාහිමිවරු හදිසි ලිපියකින් ජනපතිගෙන් ඉල්ලති

පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීමක් බවට මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් දන්වා සිටිති.

සාමකාමීව රටේ නෛතික සීමාවන්ට අනුගතව නිදහසේ ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මහජනතාවට තිබිය යුතු යැයිද පළාත් පාලන මැතිවරණය කල් දැමීම මහජනතාව අතර යම් නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට හේතු වී ඇතැයිද උන් වහන්සේලා ලිපියෙන් ප්‍රකාශ කරති.

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ යනු නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ජනතා පරමාධිපත්‍යය තහවුරු කිරීම බවද නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරමින් මහජන ගැටලු‍ පිළිබඳ සංවේදීව කටයුතු කරන ලෙසද උන්වහන්සේලා ජනාධිපතිවරයාට දන්වති.මහජන සුබසිද්ධිය උදෙසා පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රයන් ඉවතලා ජාතික ප්‍රතිපත්තියක් මත පදනම් වූ දිගුකාලීන සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව නැවතත් අවධාරණය කර සිටින බවද උන් වහන්සේලා එහි සඳහන් කරති.

ඉහළ යන ජීවන වියදම පහත හෙලා මහජන පීඩාවන් අවම කොට සමාජ නොසන්සුන්තාව සමනය කිරීමට නිසි ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කළ යුතුව ඇතැයිද උන්වහන්සේ දෙනම පෙන්වා දෙති.

මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහානාහිමියන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව ප්‍රකාශ කර සිටිති.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment