පළාත් පාලන මැතිවරණය! ආණ්ඩුවට යකෙක්

398

වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෑතකදී වෙන්වූ පක්ෂ සහ කණ්ඩායම්වලින් සැදුම්ලත් ‘නිදහස් ජනතා සන්ධානයට’ එරෙහිව වේගයෙන් වර්ධනය වෙමින් පවතින ජනතා විරෝධය ඡන්දවලට හරවා ගැනීමේ අවස්ථාවක් ජනතා විමුක්ති පෙරමුණට (ජ.වි.පෙ. ට) තිබේද?

තවමත් පෙනෙන තෙක් මානෙක විසඳුමක් නැති සමාජ පුපුරා යෑමට හේතු වූ වර්තමාන මූල්‍ය අර්බුදයට (ශ්‍රී ලංකාව බංකොළොත් වීමට) එම දෙපාර්ශ්වයම වගකිව යුතු බව නොසලකා එම පක්ෂ/සන්ධාන මුහුණ දෙන දැවැන්ත අභියෝගය සාකච්ඡාවට ලක් කළ නොහැක. එජාපයෙන් වෙන් වී සමගි ජනබලවේගය (ස.ජ.බ) නියෝජනය කරන කණ්ඩායමටද එම චෝදනාවෙන් කිසිසේත් මිදීමට නොහැකිය.

පළාත් පාලන ඡන්දය නියමිත පරිදි පෙබරවාරි – මාර්තු 2023 අතර කාලයේදී පැවැත්වුවහොත් දේශපාලන භූමියේ සැබෑ තත්ත්වය පිළිබිඹු කරනු ඇත. එසේ වුවහොත් වික්‍රමසිංහ – රාජපක්ෂ හවූල තවදුරටත් දුර්වල වී ආණ්ඩුව පවත්වාගෙන යෑමට නොහැකි වනු ඇත. ජනතා මතය විමසීමට ආණ්ඩුව මෙතරම් බියවී ඇති හේතුව එයයි.

ජවිපෙ නායකත්වය දෙන ජාතික ජනබලවේගයට (ජා.ජ.බ) ආණ්ඩුව සහ ‘නිදහස් ජනතා සන්ධානය’ තිගැස්සෙන ප්‍රතිඵලයක් අත්කර ගත හැකිද? එය සැබෑ අභියෝගයකි. ප්‍රබල පසුබෑමක් අත්වුවහොත් එය මාරාන්තික වනු ඇත. ‘අරගලය’ හරහා අත්පත් කරගත් ජයග්‍රහණය නැවත හරවන තත්ත්වයක් ඇති කරනු ඇත. ජනතාව තවදුරටත් අපේක්ෂා භංගත්වයට පත් කරනු ඇත.

ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙම මැතිවරණයට සන්ධානගත වූවානම් ජනතාව බලාපොරොත්තු වන, රටට අවශ්‍ය දේශපාලන – ආර්ථික – සමාජීය පරිවර්තනය කිරීමට අවශ්‍ය යම් මූලික අඩිතාලමක් දමා ගැනීමට හැකියාව තිබිණි.

පක්ෂයෙන් කැඩී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ( ශ්‍රී.ල.නි.ප) නායකත්වය දෙන සන්ධානයකට 2008 දී එකතු වූ විමල් වීරවංශ ප්‍රමුඛ කණ්ඩායම (ජාතික නිදහස් පෙරමුණ) සමග ජ.වි.පෙ. ට නැවත එකතු විය නොහැක. නමුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජ.වි.පෙ. අතර දේශපාලන සම්මුතියක අවශ්‍යතාවය දෙපාර්ශ්වයටම අවබෝධ විය යුතුය.

විශේෂයෙන්ම දැඩි මතධාරී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව දණගැස්සවූ ‘අරගලය’ පසුබිමේ එවැනි දේශපාලන සම්මුතියක වටිනාකම අමුතුවෙන් විග්‍රහ කිරීමට අවශ්‍ය නැත. නමුත් එසේ වූයේ නැත. පෙරටුගාමීන් මෙවර පළාත් පාලන ආයතන 100 කට පමණ පක්ෂයක් ලෙස තම ලාංඡනයෙන් තරග කරන අතර ප්‍රදේශ ගණනාවක ස්වාධීන කණ්ඩායම් හරහා ඉදිරිපත් වීමට නියමිතය.

ලක්ෂ 69 ක ඡන්දයෙන් 2019 නොවැම්බර් මාසයේ ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජුලි 09 දින පලවා හැරිය ජනතා බලය පසුගිය මාස කීපය තුළ දෝලනය වී ඇති ආකාරය පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය අවධාරණය කරනු ඇත. ගමේ ප්‍රශ්නවලට විසඳුම් දෙන ‘පුංචි’ ඡන්දය ලෙස හඳුන්වන ළඟ එන පළාත් පාලන මැතිවරණය මෙවර ආණ්ඩුවක් වෙනස් කරන මහමැතිවරණයක් නැතහොත් ජනාධිපතිවරණයක් තරමටම තීරණාත්මකය. මෙවැනි සංකීර්ණ තත්ත්වයක් යටතේ මීට පෙර කිසිදා පළාත් පාලන ඡන්දයක් පවත්වා නැත. මෙම ඡන්දයේදී ජනතාව ගන්නා තීන්දුව මත සැබෑ දේශපාලන – ආර්ථික – සමාජීය පෙරළියක (සිස්ටම් චේන්ජ් එකක) අවශ්‍යතාවය තවදුරටත් අවධාරණය වනු ඇත.

නමුත් අතිශය බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව, නිදහස් ජනතා සන්ධානය සහ ස.ජ.බ අතර බෙදී
ගියහොත් අරගලයට දැවැන්ත පසුබෑමක් අත්වන බව සැබෑ විපක්ෂය තේරුම් ගත යුතුය. දූෂිත යුගදනවි රාජපක්ෂ කැබිනට් ගනුදෙනුවට එරෙහිව රටේ ඉහළම උසාවියේ නඩු පැවරූ හිටපු අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල නිදහස් ජනතා සන්ධානය නියෝජනය කිරීම එම කණ්ඩායමට ශක්තියක් වනු ඇත. එම මන්ත්‍රීවරුන් තිදෙනා ගත් නිර්භීත තීන්දුව ශ්‍රී ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂණයකි.

ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියනු ලබන පක්ෂ දේශපාලන ක්‍රමය තුළ බංකොළොත් කළ ශ්‍රී ලංකාව එම අඳුරු අගාධයේම තව දුරටත් රැඳෙනවාද නැතහොත් සැබෑ පරිවර්තනයකට අවශ්‍ය මූලික අඩිතාලම දමනවාද යන තීන්දුව ඡන්දය දෙන ජනතාව ගත යුතුය. අතිශය තීරණාත්මක මෙම ඡන්දය ශ්‍රී ලංකාවේ ඉරණම තීන්දු කරනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා වූ එජාප නායක රනිල් වික්‍රමසිංහ ගේ මෙන්ම ඔහුව විධායක ධුරයට පත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ/පොහොට්ටු පක්ෂය (වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවේ හවුල්කරුවන්) දේශපාලන ව්‍යාපෘති මෙම ඡන්ද ප්‍රතිඵලයේ බලපෑමට යටත් වන බව අමුතුවෙන් කිව යුතු නැත. නිදහස් ජනතා සන්ධානය සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය. ශ්‍රී ලංකාව බංකොළොත් කිරීමේ වගකීම වර්තමාන ආණ්ඩුව, නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන පක්ෂ මෙන්ම ප්‍රධාන විපක්ෂය වන එජාපයෙන් කැඩී ගිය සමගි ජන බලවේගයද භාර ගත යුතුය.

ළඟ එන පළාත් පාලන මැතිවරණයට ප්‍රධාන පක්ෂ කුමන ලකුණින් ඉදිරිපත් වුවත් රට බංකොළොත් කළ ශ්‍රීලනිප සහ එජාප ය එම සන්ධාන තුළ ස්ථානගතවී ඇත. ශ්‍රීලනිපය නිදහස් ජනතා සන්ධානයට පාර්ශ්වකරුවකුය. එජාපයට පොහොට්ටු පක්ෂය සමඟ එක්වනවා හැර වෙන විකල්පයක් නැත. නමුත් කෙලෙස හෝ පළාත් පාලන ඡන්දය කල්දමා ගැනීම වික්‍රමසිංහ -රාජපක්ෂ ආණ්ඩුවේ මූලික ඉලක්කය බව පැහැදිලිය. නමුත් මේ තත්ත්වය සම්බන්ධයෙන් මෙම ලියුම්කරු කළ විමසීමකදී පොහොට්ටු පක්ෂයේ මහා ලේකම් ජාතික ලැයිස්තු මන්ත්‍රී සාගර කාරියවසම් තම පක්ෂය ඕනෑම අවස්ථාව ජනතාව ඉදිරියට යෑමට සූදානම් බව අවධාරණය කළේය.

පොහොට්ටු පක්ෂය පළාත් පාලන ඡන්දය (2018 පෙබරවාරි 10), ජනාධිපතිවරණය (2019 නොවැම්බර් 16) සහ මහමැතිවරණය (2020

අගෝස්තු 05) ඉහළින්ම ජයග්‍රහණය කළේය. එජාපය 01 ජාතික ලැයිස්තු ධුරයකට සීමාවිය. මහමැතිවරණයේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 සමඟ ආසන 145 ක් ලබාගත් පොහොට්ටු පක්ෂය 01 මන්ත්‍රී ධුරයක් (වජිර අබේවර්ධන) හිමි එජාපය සමඟ පළාත් පාලන ඡන්දයට සන්ධානගත වීම සමස්ත දේශපාලන චිත්‍රය උඩු යටිකුරු කිරීමක් නොවේද. එක ආසනයක් ඇති එජාපයට විධායක ජනාධිපති ධුරය හිමිවීම විකෘති තත්ත්වයක් නොවේද? අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණට වර්තමාන පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් (ඔහුගේ පුත් යදාමිනි ගුණවර්ධන) සමඟ ආසන 3 ඇත. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කණ්ඩායමක් ලෙස අතිශය තීරණාත්මක අර්බුදකාරී තත්ත්වයකට මැදිවී ඇත. අග්‍රාමාත්‍යවරයා නීතිඥ නිමල් පුංචිහේවා (සභාපති) ඇතුළු මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සහ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක දෙසැම්බර් මාසයේ දෙවරක් කැඳවීම, ඊට පසුව ජනාධිපතිවරයා ද ඔවුන් කැඳවීම අවධාරණය කරන්නේ මෙම මැතිවරණය ආණ්ඩුවට මහත් හිසරදයක් බවයි.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා කැඳවූ සාකච්ඡා දෙකටම සහභාගි වීම අවධාරණය කරන්නේ මැතිවරණය කල් දැමීම ඒකාබද්ධ මෙහෙයුමක් බවයි. ජාතික ජනබලවේගයට ආණ්ඩුව හෝ ආණ්ඩුවෙන් වෙන්වී නිදහස් ජනතා සන්ධානය ලෙස ඡන්දයට ඉදිරිපත් වී ඇති කණ්ඩායම තර්ජනයක් නොවන බව අවධාරණය කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ පැනවූ ජනතා බලය සමගි ජනබලවේගයද ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ජාතික නිදහස් පෙරමුණ (ආසන 06), ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ (ආසන 01), ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (ආසන 01), ලංකා සම සමාජ පක්ෂය (ආසන 01), පිවිතුරු හෙළ උරුමය (ආසන 01), විජයධරණී ජාතික සභාව (ආසන 01. නමුත් පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුව තුළ නැත) හා යුතුකම ජාතික සංවිධානය ද (ආසන 02. එක මන්ත්‍රීවරයකු ආණ්ඩුවට එකතුවී ඇත), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ආසන 14 නමුත් වැඩි කොටසක් ආණ්ඩුවට එකතු වී ඇත), නිදහස ජනතා සභාව (ආසන 13 නමුත් පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුව තුළ නැත), ජනජය පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය (ආසන 01) සහ නිදහස් ජනතා පෙරමුණ ද ‘නිදහස් ජනතා සන්ධානය’ ලෙස සන්ධානගත වී ඇත.

පළාත් පාලන ඡන්දය ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂවලට අභියෝගයකි. සමස්ත විපක්ෂයට ද අභියෝගයකි. නමුත් ජවිපෙ මුහුණ දෙන අභියෝගය ද සුළුපටු නොවේ.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහකළ ජනතා නැඟිටීම යම් ප්‍රමාණයකටවත් පිළිබිඹු කිරීමට අවශ්‍ය තරමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට අවශ්‍ය ආකර්ෂණය ජවිපෙට තිබේද? ආණ්ඩුව සහ විපක්ෂයේ යම් කොටස් ජවිපෙට පහර දීම වේගවත් කර ඇත. ඒ එදා ජනාධිපතිවරයාගේ මිරිහානේ පැඟිරිවත්තේ පෞද්ගලික නිවාසය ඉදිරිපිටින් මාර්තු 31 ආරම්භ වී ජුලි 09 පුපුරා ගිය ජනතා අරගලය ජවිපෙට දෝලනය වීම තහවුරු වී ඇති තත්ත්වයක් තුළයි. ආණ්ඩුවට එරෙහි සමස්ත විපක්ෂයේ ක්‍රියාදාමය විමසා බැලිය යුතු වන්නේ ආණ්ඩුව සහ විපක්ෂය (විශේෂයෙන්ම සමගි ජනබලවේගය සහ නිදහස් ජනතා සන්ධානය) ‘අරගලය’ ජවිපෙ සමඟ ස්ථානගතවීම ප්‍රබල අභියෝගයක් ලෙස දැකීම ද සැලකිල්ලට ගෙනය.

සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කිරීමේදී සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හැසිරීම තුළ ‘අරගලය’ (අරගලය යනු ජනතාවයි. එය කිසිදු පක්ෂයක තනි අයිතියක් නොවේ) ජවිපෙ සමඟ ස්ථානගත වීම වැළැක්වීමට කරන උත්සාහය පැහැදිලිය. දශක ගණනාවක් තට්ටු මාරු ක්‍රමයට රට විනාශ කළ එම පක්ෂ ජවිපෙ පොදු හතුරා බවට පත්කර ගෙන ඇත. දූෂිත පක්ෂ – විපක්ෂ දෙපාර්ශ්වය අතර බල හුවමාරුවකට ඔවුන් අකමැත්තෙන් වුවද සූදානම්ය. නමුත් පිටතින් එන තර්ජනය ජවිපෙ බව එම දෙපාර්ශ්වයම දනී. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව දිගින් දිගටම කළ ඔලමොට්ටටල වැඩ නොවන්නට ‘අරගලයට’ අවස්ථාවක් වන්නේ නැත. ඊට අවශ්‍ය භූමිය අපූරුවට නිර්මාණය කළේ තට්ටු මාරු ක්‍රමයට දුර්වල කළ තිබූ රටක තත්ත්වය කිසිදු ආකාරයේ විමසීමකට භාජනය නොකර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තීන්දු තීරණ ගැනීම නිසාය. එසේ නොවන්නට කොකාට වාරයක් තිබුනත් තිත්තයාට වාරයක් උදා නොවන්නට තිබිණි. ඒ වාරය පළාත් පාලන ඡන්දයයි. සත්‍යය එයයි.

පාර්ලිමේන්තුව තුළ ආසන 03 හිමි (අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය) ජාතික ජනබලවේගයට රට බලාපොරොත්තු වන පරිවර්තනය කිරීම ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබා දීමට ඡන්ද දායකයන් සූදානම් ද? පළාත් පාලන ඡන්දය වැළැක්වීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයකි.

කැබිනට් මණ්ඩලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නව ලේකම් නීල් බණ්ඩාර හපුහින්න හරහා ජනවාරි 10 දින දිස්ත්‍රික්ක ලේකම්වරුන්ට නාම යෝජනා භාර නොගන්න ලෙසට කළ නියෝගය පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවී සිටියදී දීමට සිදුවීම ආණ්ඩුව ලෝකය ඉදිරියේ නිරුවත් කර ඇත. එම නියෝගය පැය කීපයක් තුළ ඉවත් කර ගැනීම ගැසට් ‘රිවස්’ කිරීමෙන් ලෝකයට විහිළු සැපයු ආණ්ඩුවකට සැලකිය යුතු ප්‍රශ්නයක් නොවේ.

ජනාධිපතිවරයා වික්‍රමසිංහ වූවාට ආණ්ඩුව පොහොට්ටුවේය. ක්‍රමයේ වෙනසක් නැත. හපුහින්න වැඩ භාර ගත්තේ ජනවාරි 2 වැනි දිනය. ඒ ප්‍රියන්ත මායාදුන්න වෙනුවටය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ කාලයේ ප්‍රබල නිලධාරියකු වූ ඔහු ආන්දෝලනාත්මක චරිතයකි. යහපාලන සමයේදී දූෂණ චෝදනා පරීක්ෂණවලට භාජනය වූ අයෙකි. නමුත් කිසිදු උසාවියක් ඉදිරියේ වැරදිකරු වූයේ නැත.

හපුහින්න පවසන්නේ තමන් අදාළ චක්‍ර ලේඛනය නිකුත් කළේ කැබිනට් තීරණක් මත බවයි. මහා භාණ්ඩාගාරයට හිමි කෙරවළපිටිය විදුලි බලාගාරය කොටස් 40% ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට 2022 සැප්තැම්බර් 17 දින රාත්‍රියේ විකිණීමට කටයුතු කළේද මෙම පොහොට්ටු කැබිනට් මණ්ඩලයම බව අවධාරණය කර යුතුය. එදා කැබිනට් මණ්ඩලය නියෝජනය කළ එවකට ජනාධිපති

ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් තව දුරටත් එහි නොමැති නමුත් මෙම කැබිනට් මණ්ඩලයද පොහොට්ටුවේ බව අමතක කළ නොහැක.

මැතිවරණ කොමිසම ආණ්ඩුවේ අණසකට නතු කර ගැනීමට හැකි වූවානම්, හපුහින්න හරහා දිස්ත්‍රික්ක ලේකම්වරුන්ට නියෝග නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයට සිදු වන්නේ නැත. මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සහ සාමාජිකයන් වන එස්. බී. දිවාරත්න, එම්. එම්. මොහමඩ්, කේ .පී. පී. පතිරණ සහ පී. එස්. එම්. චාල්ස් මහත්මියට ගෞරවය හිමි විය යුතුය. එලෙසම මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් සමන් ශ්‍රී රත්නායක ට ද ජනතා ප්‍රණාමය ලැබිය යුතුය.

ආණ්ඩුවට ඇතිවී තිබෙන මැතිවරණ භීතිකාව පුදුමාකාරය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නිමල් පුංචිහේවා සහ සමන් ශ්‍රී රත්නායක මෑතකදී හමුවීම සම්බන්ධයෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන් සැක සංකා මතු කිරීම නැවත නැවතත් අවධාරණය කරන්නේ ආණ්ඩුවට පළාත් පාලන ඡන්දය යක්ෂයකු සේ පෙනෙන බවයි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment