පළාත් සභාවල වියදම් කපන චක්‍රලේඛය රිවස් කරයි – ඉන්ධන හා දුරකථන දීමනා යළි දෙයි

119

පළාත් සභාවල අනවශ්‍ය වියදම් කපා හරිමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මීට පෙර නිකුත් කළ චක්‍රලේඛය රිවස් කරමින් අලුත් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

විසුරුවා ඇති පළාත් සභාවල රාජ්‍ය වියදම් සීමා කරන ලෙස දක්වමින් ඉකුත් සැප්තැම්බර් 27 වැනිදා අංක පීඑස්/සීඑස්ඒ 11-18(1) දරන චක්‍රලේඛය නිකුත් කර තිබිණි.

එම චක්‍රලේඛය මගින් පළාත් සභා සභාපතිවරයාට සහ පෞද්ගලික ලේකම්වරයාට මසකට ලබාදෙන ලීටර් 1500 ඉන්ධන දීමනාව ලීටර් 50 දක්වා අඩුකර තිබිණි. නමුත් ඔක්තෝබර් 28 වැනිදා නිකුත් කළ නව චක්‍රලේඛය මගින් පළාත් සභාපතිවරයාට එක් නිල වාහනයකට ලබාදෙන (පෙට්‍රල් / ඩීසල්) ඉන්ධන දීමනාව ලීටර් 400 දක්වා ඉහළ දමා ඇත.

පෞද්ගලික ලේකම්වරයාට මසකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද ලීටර් 150 දක්වා වැඩිකර තිබේ. එය ඉකුත් චක්‍රලේඛය මගින් සම්පූර්ණයෙන් ඉවත් කර තිබිණි. ලේකම්වරයාට ලබාදෙන කාර්යාල දුරකථන දීමනාව රුපියල් 2000 ක් වන අතර ජංගම දුරකථන දීමනාව 2000 ට වෙනස් කර ඇත. පළමු චක්‍රලේඛයෙන් එම දුරකථන දීමනා අහෝසි කර තිබිණි.

අහෝසි කර තිබෙන පළාත් සභා නවයේම සභාපතිවරුන්ගෙන් කිසිදු කාර්යයක් සිදු නොවන බව විගණන වාර්තා මගින් පෙන්වා දීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම දීමනා කපා දැමීමට පියවර ගෙන තිබිණි. නමුත් නැවතවතාවක් පළාත් නවයේම සිටින සභාපතිවරුන්ට සහ කාර්ය මණ්ඩලයේ හය දෙනකුට ඉන්ධන දීමනාව ලබාදීමට පියවර ගෙන ඇත.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment