පළාත් 9ටම නව DIG බල ප්‍රදේශ

426

උපයන විට බද්ද ඉවත් කරන්න බැහැ
පළාත් සභාවලට බලය දෙන පනත් බලගන්වයි
අධ්‍යාපනය හා සෞඛ්‍ය බලයත්
මධ්‍යම ආණ්ඩුව සමග තවත් ළංවන දිසා සභා
ජාතික ඉඩම් සභාවක්

පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපති කියයි
සජිත්ලා අනුරලා මෛත්‍රීලා වර්ජනය කරති
විමල්ලා ඩලස්ලා නැගිට යති
කතාව අහන්න විපක්‍ෂයෙන් හිටියේ දුමින්ද දිසානායක ඇතුළු 20දෙනයි

පොලිස් බලතල සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු නොකළ ද, පළාත් අනුව නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස සීමා නිර්ණය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඊයේ (08 දා) සඳහන් කළේය.

ඊට අමතරව රටේ මෙවැනි ආර්ථික අර්බුදයක් ඇති වීමට ඇති සියලු ඉඩකඩ අවුරා දමමින් දූෂණය මැඬලීමේ පනතක් ද ගෙන එන බවත් සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නය මෙම පනතට ඇතුළත් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

නව වන පාර්ලිමේන්තුවේ හතර වන සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තු නව සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට අදාළ කටයුතු ඊයේ (08) පෙරවරු 9.30 ට ආරම්භ වූ අතර ඊට සහභාගී වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ පැමිණීම පළමුව සිදුවුණි.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම පෙරවරු 9.40ට පමණ සිදු වූ අතර එහිදී කථානායකවරයා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය. අනතුරුව පෙරවරු 10ට ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා නව සැසිවාරය විවෘත කිරීමට පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂ විසින් වර්ජනය කර තිබූ අතර විපක්ෂයේ සිටින ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, නාලක ගොඩහේවා, ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශය කිරීමට පැමිණෙන අවස්ථාවේදී ඊට විරෝධය පළකර සභාවෙන් පිටතට යෑමට කටයුතු කළහ.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කරන අවස්ථාවේ විපක්ෂයේ අසුන් ගෙන සිටියේ පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, එස්.වී. රාධාක්‍රිෂ්ණන්, එම්.එස්. තවුෆික්, ෆයිසාල් කාසීම්, අංගජන් රාමනාදන්, රිෂාඩ් බදියුදීන්, එම්.එම්. හාරිස්, එම්.උදයකුමාර්, ජෝන් සෙනෙවිරත්න, දුමින්ද දිසානායක, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෙක්කලනාදන්, සී.වී. විග්නේෂ්වරන්, එම්.ඒ. සුමන්දිරන්, රාජපුත්තිරන් රාසමාණික්කම්, කෝවින්දන් කරුණාකරන්, තවරාසා කලෛයි අරසන්, චාල්ස් නිර්මලනාදන්, එස්, ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් 20 දෙනකු පමණක් වීම විශේෂත්වයකි.

මේ අතර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් මේ වන විට ජනතාවට කිසියම් අස්වැසිල්ලක් දැනෙන බවත් අනතුරුදායක වැල් පාලමේ ශ්‍රී ලංකා මාතාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන එන්නට පුළුවන් වී ඇති නමුත් එම ගමන තවම ඉවර නැති බවත් ජනාධිපති කියා සිටියේය.

ආර්ථිකය ගොඩ නැගීම වෙනුවෙන් බදු අය කිරීම් සඳහා නව ප්‍රතිපත්ති හඳුන්වාදීම දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන තීරණයක් නොවන නමුත් තමාට අවශ්‍ය රට වැටී ඇති අර්බුදකාරි තත්ත්වයෙන් යළි ගොඩනැංවීම වන බැවින් එම තීරණවල වැදගත්කම තව අවුරුදු දෙක තුනකින් බොහෝ දෙනෙකුට අවබෝධ වේවි යැයි ද හෙතෙම කීය.

ඒ අනුව තවත් අවුරුදු තුනක් ගතවෙද්දී අද ලබන ආදායමට වඩා සියයට 75ක පමණ වැඩි ආදායමක් ලබා ගැනීමට ජනතාවට පුළුවන් වන බවත් 2023 අවසන්වෙද්දී ධන ආර්ථික වර්ධනයක් ලබාගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය 05 වැනි පිටුවේ පළවෙයි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment