පළුදු නොවිය යුතු රුසියානු සබඳතා

314

රුසියානු එරොෆ්ලොට් (AIRFLOT) ගුවන් සේවය යනු රුසියාවේ විශාලතම ගුවන් සේවය වන අතර 1923 ආරම්භ කර ඇති මෙම සමාගම දැනට ක්‍රියාකාරීව පවතින ලොව පැරණිතම ගුවන් සේවා වලින් එකක් වේ. මේ වසරේ රුසියා යුක්රේන යුද්ධය ආරම්භ වීමට පෙර රටවල් 52 කට පියාසර කරන ලද මෙම ගුවන් සේවය අද වනවිට රුසියාව හා බෙලරුස් රාජ්‍ය අතර ගමනාන්තවලට පමණක් සේවා සැපයීමට සිමාවී ඇත. මෙම ගුවන් සේවයට අයත් ීඹ-288 දරන ගුවන් යානය පසුගිය ජුනි 02 දා උදෑසන රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ නැවත එදිනම දහවල් මගීන් 191 දෙනකු සහ කාර්යමණ්ඩලයේ 13 දෙනකු සමග කටුනායක සිට මොස්කව් බලා පියාසර කිරීමට නියමිතව තිබියදී කොළඹ වාණිජ මහාධිකරණය මගින් පිටත්වීම අත්හිටුවා නියෝගයක් ලබා දීම නිසා මෙම ගුවන් යානය එදින දහවල් සිට කටුනායක ගුවන් තොටුපළ තුළ රඳවාගනු ලැබ ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් පාර්ශ්වය වන අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් (CELESTIAL AVIATION TRADING) සමාගම යනු ඇතැමුන් විසින් ගුවන් යානා කල්බදු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස හඳුන්වන ආයතනක් වේ. මෙම සමාගම ගුවන් යානා, හෙලිකොප්ටර් සහ ඊට අදාළ එන්ජින් කල්බදු ක්‍රමයට ලබාදීම සිදුකරන සමාගමක් වේ. මෙම සමාගම සතුව ගුවන් යානා 1800ක්, හෙලිකොප්ටර් 300ක් සහ එන්ජින් 900ක් ඇති අතර මේ වනවිට ලොවපුරා ඇති ගුවන් සමාගම් 300කට සේවා සපයන සමාගමක් වේ. මෙම සමාගම විසින් රුසියානු ගුවන් සමාගම සමග දැනට ආරවුලක් පවතින බව සඳහන් කරමින් ලංකාවට පැමිණි රුසියානු ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පිටත්වීම වළක්වන ලෙස ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් මෙම තහනම නිකුත් කර ඇත. මෙය ජුනි 16 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ද එම නියෝගයේ සඳහන් වේ.

එරෝෆ්ලොට් ගුවන් යානයක් බණ්ඩාරනායක ගුවන් තොටුපළේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශය විසින් ජුනි 3 වන දින ශ්‍රී ලංකා තානාපති ජේ. ඒ. ලියනගේ මහතා කැඳවා විරෝධය පළ කළ බව දක්වා ඇත. මෙහිදී ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි ඇති වන අහිතකර බලපෑම වළක්වා ගැනීම සඳහා මෙම ගැටලුව කෙටි කාලයක් තුළ විසඳා ගන්නා ලෙස දන්වා සිටින ලද බව වාර්තා වේ.

ජුනී 6 වැනිදා නීතිපතිවරයා කොළඹ වාණිජ මහාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් අදාළ තහනම අත්හිටුවන ලෙස කරන ලද ඉල්ලීම සලකා බලා කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා එම තහනම අත්හිටුවනු ලදී. මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ අන්තර්ජාතික ගිවිසුම් හා ද්විපාර්ශ්වික එකඟතාවයන්ට අනුව අන්තර්ජාතික ගුවන් යානාවලට ශ්‍රී ලංකාවේ ගොඩ බෑමට සහ පිටත්ව යෑමට අවශ්‍ය පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බවත් ඒ අනුව මෙම තහනම නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි. අයර්ලන්ත සමාගම ඉදිරිපත් කළ පදනම් විරහිත කරුණු සැලකිල්ලට ගෙන මෙම තහනම ලබාගෙන තිබෙන බවත් එය අත්හිටුවන ලෙසත් රුසියානු ගුවන් සමාගම විිසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සඳහන් කළේ, මෙය රුසියානු සමාගම සහ අයර්ලන්ත සමාගම අතර වාණිජ ගනුදෙනුවක් බැවින් එය එම දෙපාර්ශ්වය විසඳහා ගත යුතු බවත් එයට ශ්‍රී ලංකා රජයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය. විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කරනු ලැබූ නිවේදනයේ දැක්වෙන්නේ මෙම කාරණය පිළිබඳ තවමත් අධිකරණයේ අවසන් තීරණය අපේක්ෂාවෙන් සිටින බවත් මේ පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා සාකච්ඡා කෙරෙමින් පවතින බවත් ය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දක්වා ඇත්තේ මෙම ප්‍රශ්නය වහාම විසඳීමට බලධාරීන් වහා කටයුතු කළ යුතු බවයි. දෙරට අතර සහයෝගිතාවයට විශාල හානියක් සිදුවීමට මත්තෙන් අවශ්‍ය පියවර ගැනීමට වහා ක්‍රියා කළ යුතු බවද ඒ මහතා අවධාරණය කර ඇත. කෙසේ වෙතත් ජුනි 6 වැනිදා නීතිපතිවරයා කරන ලද ඉල්ලීම සලකා බලා කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ගුවන් යානය පිටව යෑම වළක්වාලමින් නිකුත් කළ වාරණය අත්හිටුවනු ලැබ ඇත. මතුපිටින් බලන කල අයර්ලන්ත පෞද්ගලික සමාගමක් විසින් මෙම නඩුව ගොනු කර ඇති බවත් මෙය රජයන් දෙකක් අතර ගැටලුවක් නොවන බවත් පෙනී යන කරණාවක් වේ. නමුත් ගැටලුව මතුවන්නේ

මෙම සිද්ධිය සිදුවීමට පෙර ශ්‍රී ලංකා රජය විසින් ලංකාවේදී රුසියාවේ කිසිදු ගුවන් යානාවකට බාධා ඇති නොවන බවට එකඟ වී තිබීම මත වේ. මෙහිදී රුසියානු ගුවන් යානාව ලංකාවට ගොඩබාන ලද්දේ ලංකා රජය විසින් ලබාදුන් එකඟතාවය මත ඇතිකරගත් විශ්වාසය පෙරදැරි කරගෙනය. මෙම කාල වකවානුව තුළ ලංකාව විසින් රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් ඉල්ලා ඇත. එමෙන්ම මේ වනවිට ඉන්දියාව, සිංගප්පූරුව ඇතුළු ආසියානු කලාපයේ රටවල් කිහිපයක්ම රුසියාවෙන් අඩුමිලට ඉන්ධන ලබාගනිමින් සිටින අතර ලංකාවට ද ඍජුව හා අඩු මිලට ඉන්ධන ලබාදීමට රුසියාව එකඟ වී ඇත. එමෙන්ම මෙම වසර ඇතුළත ලංකාවට සංචාරකයන් ලක්ෂ 4ක් එවීමටද රුසියාව සැලසුම් කර ඇත. එසේම රුසියාව යනු අප රටේ තේ අපනයේ ප්‍රධාන ගැණුම්කරුවෙකි. අප රට එරෙහි මානව හිමිකම් ගැටලු ඉස්මතුවූ අවස්ථාවේදී රුසියාව තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරමින් අප රටට දැක්වූ අනුග්‍රහයද අප අමතක නොකළ යුතුය. පහසුවෙන් විසදාගත හැකි ගැටලු දුරදිග නොයවා රුසියාව සමග පවතින මිත්‍රත්වය අප සෑමවිටම රැක ගත යුතුය.

මෙම ගුවන් යානා සිද්ධියේ අවසාන ප්‍රතිපලය ලෙස ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය සහ ආර්ථිකය ගලවා ගැනීමට හැකියාවක් සහ වැඩි ඉඩකඩක් පවතින රුසියාව සමග ඇති සම්බන්ධතාවය පළුදු වුවහොත් ශ්‍රී ලංකාවට එය පිරිමැසිය නොහැකි මට්ටමේ පාඩුවක් ලෙස ඉතිහාසයේ සනිටුහන් වනු ඇත. එය එසේ නොවීමට වග බලා ගැනීම රජය ඇතුළු සියලු පාර්ශ්වවල වගකීමකි.

පළුදු නොවිය යුතු රුසියානු සබඳතා

ආචාර්ය ඩබ්. කේ. කොළඹගේ
අධ්‍යක්ෂ – ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය

advertistmentadvertistment
advertistmentadvertistment