ප්‍රංශයේ ද වොයිස් ටීන් කිරුළ හෙක්ටර්ගේ දුවටද

1122

කාලයක සිට නිහඬ ගමනක් යමින් ක්‍ෂේත්‍රයේ තම ගායක කෞෂල්‍ය මෙන්ම වාදන කෞෂල්‍යය ද මනාවට ඔප්පු කරමින් ආ ගමන් මගේ අද වෙනකොට ඔහු වෙනම හැරවුම් ලක්‍ෂ්‍යකට යමින් සිටිනවා. මේ දිනවල හිරු නාලිකාවේ රාත්‍රි 8.00ට දිගහැරෙන දිවිතුරා ටෙලිනාට්‍යයේ අගස්තිගේ චරිතය හරහා කවුරුත් ආදරය කරන එහෙමත් නැතිනම් නිල්වන් මුහුදු තීරයේ ගීතයට වෙනස්ම හැඩයක් එක්කළ හෙක්ටර් ඩයස් ගැන අලුත්ම ආරංචියක් ඔබට කියන්න තමයි අපි මේ සැරසෙන්නේ. මේ කතාබහට අපි හෙක්ටර් විතරක් නෙමෙයි මුල් වරට ඔහුගේ දුව වන ඩියෝතා වගේම බිරිඳ පාඨලීවත් එකතුකර ගත්තා. හෙක්ටර් ගේ දුව හෙක්ටර් වගේම සංගීතයෙන් ජාත්‍යන්තරය ජයගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ප්‍රංශයේ සිට නිවාඩුවට ලංකාවට ආපු වෙලාවේ අපි මේ කතාබහට සම්බන්ධ කරගත්තා. හෙක්ටර්ට ආදරය කරන හැමෝම වගේම ඇගේ දුව ගේ ජීවිතයේ සංගීතමය පැත්තෙන් වෙන්න යන පෙරළිය කවුරුත් දන්නේ නැහැනේ. එහෙනම් මේ කතාව කියවල බලන්නකෝ.

දුවගේ සම්පූර්ණ නම

ඩියෝතා මේරියන් ඩයස්

ඩියෝනා වැඩිපුර ඉන්නේ ලංකාවේද? ප්‍රංශයේද?

මම ඉපදුණේ ලංකාවේ. අවුරුදු හතරේදී මම ප්‍රංශයට ගියා. දැන් ප්‍රංශයේ තමයි ජීවත්වෙන්නේ. දැනට මම ප්‍රංශයේ පදිංචිවෙලා අවුරුදු දහයක් විතර වෙනවා.

ප්‍රංශයේ ද වොයිස් ටීන් කිරුළ හෙක්ටර්ගේ දුවටද

අධ්‍යාපන කටයුතු එහෙම?

මම දැනට 11 වසරේ අධ්‍යාපනය හදාරනවා.

තාත්තා වගේ දුවත් සංගීතයට ආසයි ද?

ඔව්. මම පුංචි කාලේ ඉඳලා තාත්තාගේ ප්‍රසංග බලන්න යනවා. මාත් පුංචි කාලේ ඉඳලාම සින්දු කියන්න කැමතියි. ප්‍රංශයට ගියාට පස්සේ මම සංගීතය වැඩිදුර හැදෑරීමක් සිදුකරනවා. මම අවුරුදු හයේදී ඔපෙරා ගායනයට තමයි මුලින්ම සම්බන්ධ වුණේ.

දුවගේ දැන් වයස?

අවුරුදු පහළොවයි.

සංගීත භාණ්ඩ වාදනය කරනවාද?

ඔව් මම ගිටාර් ගහනවා.

ප්‍රංශයේ වෙන මොනවද කළේ?

මම ප්‍රංශයේ සංගීත තරගවලට ඉදිරිපත් වුණා. 2019 වසරේ පැවති තරගයකින් මම ජයග්‍රහණයක් සිදුකළා. විට්නි හුස්ටන්ගේ ගීතයක් ගායනා කරලා තමයි මට ජයග්‍රහණය හිමිවුණේ.

ඊට පස්සේ මොකද වුණේ?

මම ගිය අවුරුද්දේ ලංකාවේ නිවාඩුවට ආපු වෙලාවේ ප්‍රංශයේ ඉඳල දුරකථන ඇමතුමක් ආවා ද වොයිස් කිඩ්ස් ෆ්‍රාන්ස් වැඩසටහනට එකතුවෙන්න කැමතිද කියලා. ඊට පස්සේ මම ඒ වැඩසටහනේ මූලික වට හතරකට සහභාගි වුණා. ඒ හතරම සමත් වෙලා බ්ලයින්ඩ් ඔඩිෂන් එකෙනුත් සමත් වෙනවා. ලබන අගෝස්තු මාසයේ ඉඳල මේ සියලුම වැඩසටහන් විකාශය වෙනවා.

ද වොයිස් ෆ්‍රාන්ස් කිරුළ ඔබට හිමිවේවිද?

මට හිතෙන්නේ මට පුළුවන් කියලා. හැබැයි මගේ සිහිනය ජයග්‍රහණයම නෙමෙයි. මට ඕනෑ සංගීතයෙන් ඉදිරියට යන්නයි. මම වගේ ගොඩක් දක්‍ෂයෝ තව ඉන්නවා.

ප්‍රංශයේ ද වොයිස් ටීන් කිරුළ හෙක්ටර්ගේ දුවටද

තාත්තාගෙන් ලැබෙන සහයෝගය

තාත්තා මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. අම්මත් ඉන්නවා.

දුව වැඩිපුර ගායනා කරන්නේ මොන ගීතද?

මම සියලුම භාෂාවලින් ගීත ගායනා කරනවා. හැබැයි මම වැඩිපුරම ගායනා කරන්නේ ඉංග්‍රීසි ගීත.

ද වොයිස් ෆ්‍රාන්ස් වැඩසටහනේදී ලැබුණ ප්‍රතිචාර

ගොඩක් හොඳයි අලුත් අත්දැකීමක්. මේක මගේ පළමු ජාත්‍යන්තර අත්දැකීම

දුව මේ වැඩසටහනේ නියෝජනය කරන රට?

ඇත්තටම මම මේ වැඩසටහනේදී නියෝජනය කරන්නේ ලංකාව තමයි. මම මුලින්ම ගායනා කළෙත් නිම්හිම් සෙව්වා කියන ගීතය.

දුව කොහොමද තාත්තාව දකින්නේ

තාත්ති මගේ හීරෝ. පුංචි කාලේ ඉඳලා හැම තිස්සෙම මා ළඟින්ම ඉන්නවා.

තාත්තාගේ සංගීත වැඩවලට සම්බන්ධ වෙනවාද?

මම නිවාඩුවට ලංකාවට ආවහම තාත්තාගෙ බෑන්ඩ් එකේ තාත්තා එක්ක සින්දු කියනවා.

දුව කවදාද ලංකාවෙන් යන්නේ?

අපි මාස දෙකක් ලංකාවේ ඉන්නවා. සැප්තැම්බර් මාසයේ තමයි ලංකාවෙන් යන්න අදහස් කරගෙන ඉන්නේ.

හෙක්ටර් ඩයස්ගේ දුව ඩියෝනාගේ කතාබහෙන් පසුව බිරිඳ පාඨලීත් මේ කතාබහට එකතු වුණා. ඇය අපට කිව්වේ මෙන්න මෙහෙම කතාවක්.

මට ඇත්තටම හරිම සන්තෝසයි හෙක්ටර්ට ලැබෙන ජනප්‍රියත්වය ගැන. මම හෙක්ටර්ගේ රූපය රැකගන්න ගොඩක් මහන්සි වෙනවා. මම ආස හින්ද තමයි හෙක්ටර් රැවුල වැව්වෙත්. මේ දේවල් කළෙත්. මම කිව්වා රැවුල කැපුවොත් තරහා වෙනවා කියලත්. ඊට පස්සේ තමයි නිල්වන් ගීතය නිර්මාණය කළේ.

කෙල්ලො කොල්ලො හෙක්ටර්ට වශීවෙලා ඉන්න කතාවට දුන්නේ මේ වගේ උත්තරයක්.

ඇත්තටම නැහැ. ඒක මට හරිම ආඩම්බරයක්. එහෙම පොඩි හරි ඊර්ෂ්‍යාවක් දැනෙන්නේනැහැ. මම ගොඩක් මහන්සි වුණා හෙක්ටර්ව මේ තැනට යවන්න.

ප්‍රංශයේ ද වොයිස් ටීන් කිරුළ හෙක්ටර්ගේ දුවටද

හෙක්ටර් මේ ආ ගමන්මඟ ගැන ඇත්තටම මට සතුටුයි. හෙක්ටර් මේරියන්ස් කණ්ඩායමේ ඉන්නකොට බොහොම අමාරුවෙන් තමයි අපි දෙන්නා ජීවිතය පටන් ගත්තේ. මීට අවුරුදු දහඅටකට උඩදී තමයි කාගෙන්වත් උදව්වක් නැතිව අපි දෙන්නා මේ ගමන එන්නේ. මේ ආපු ගමන ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද හෙක්ටර් කියන චරිතය පොළවේ පහගහලා ජීත්වෙන චරිතයක්. ඒ හින්දම තමයි මම එයාට ගරු කරන්නේ. හෙක්ටර් හරි සාමාන්‍ය චරිතයක්. අවුරුදු ගණනාවක ආපු ගමන්මගේ ආරම්භය කියලයි මට නම් හිතෙන්නේ.

හෙක්ටර් ආ ගමන් මඟ ගැන පාඨලීට තියෙන්නේ ඔන්න ඔය වගේ හැඟීමක්. අපි මේ කථාවට පුංචි බාධාවක් කළේ සංගීත ගමනට පාඨලී කරන උදව්පදව් ටිකත් දැනගන්න හිතාගෙන.

හැම පැත්තෙන්ම උදව් කරනවා. එයාගේ මැනේජ්මන්ට් එක තමයි මම. ඩී මේජර් බෑන්ඩ් එකේ මැනේජ්මන්ට් එක මම තනියම ගෙනියනවා. එතැනින් පස්සේ එකවුන්ටන්ට් ද සෙකට්රිද කියන හැම ජොබ් එකක්ම ඉෂ්ට වෙන්නේ මගේ අතින්. දිවිතුරා නාට්‍යයේ ධනුගේ, අගස්තිගේ චරිතයටත් මම ලොකු සහයෝගයක් ලබා දෙනවා. මේ කතා කරන මොහොතේ මම ඉන්නේ දිවිතුරා දර්ශනතලයේ.හෙක්ටර් නිළියෝ එක්ක වැඩ කරනවාට පාඨලීට ඊර්ෂ්‍යාවක් තියෙනවද දන්නේ නැහැ නේද. ඔන්න කමක් නැහැ කියලම හිතල ඒකත් අපි අහලා බැලුවා.

නැහැ. ඒක රඟපෑමක් විතරයි කියලා මම දන්නවා. තිරයෙන් දකින දෙයට වඩා වැඩි යමක් තිරය පිටුපස තියෙනවා. මොකද ලොකු පිරිසක් ඉදිරියේ තමයි ඒ දර්ශන රූගත කිරීම් සිදුකරන්නේ.

ප්‍රංශයේ ද වොයිස් ටීන් කිරුළ හෙක්ටර්ගේ දුවටද

අනික අපි දෙන්නා අවුරුදු ගණනාවක් එකට ඉඳලා විශ්වාසය ගොඩනගාගෙන යන ගමනේදී මීටත් ඉස්සර හෙක්ටර් ගායකයෙක් වශයෙන් ප්‍රසිද්ධ වෙද්දි ඔයිට වඩා ප්‍රශ්න ඇතිවෙන දේවල් වෙන්න තිබුණා. නමුත් එයා ඒ වගේ කෙනෙක් නෙමෙයි. ෆැමිලි ලයිෆ් එක මොකක්ද එයාගේ කැරියර් එක මොකක්ද කියන බැරියර් එක එයා හොඳට දන්නවා. අනික එයා දන්නවා ෆැමිලි එකත් එක්ක යන ගමන සක්සස්ෆුල් කියලා. මම හිතන්නේ එයාට ඒ ආශිර්වාදය අපෙන් ලැබෙන හින්දනේ මෙච්චර ඉස්සරහට යන්න පුළුවන්. මගේ ජීවිතයට හමුවුණු අවංකම පිරිමියා හෙක්ටර්. අනික හෙක්ටර් දන්නවා එයාගේ සීමාව.

බිරිඳ පාඨලීගෙන් පසුව අපේ ප්‍රධාන කථානායකයා වන හෙක්ටර් ඩයස්ගේ හඬ අවදි කරන්න අපි හිතුවා මොකද මේ කතාවට එළිය වැටෙන්න නම් ඒ කථාව ඕනෑමයි.

ප්‍රංශයේ ද වොයිස් ටීන් කිරුළ හෙක්ටර්ගේ දුවටද

ද වොයිස් ලංකාවේ හරි ජනප්‍රියයි. නමුත් ඔබේ දුව ඉදිරිපත් වෙන්න ප්‍රංශයේ ද වොයිස් මිනි වැඩ සටහනකට?

මට ඇත්තටම ගොඩක් සන්තෝසයි. මොකද මමත් සංගීතඥයෙක්. අපේ ලංකාවේ අය ගොඩක් වෙලාවට ජාත්‍යන්තරයට යන්න උත්සාහ කරනවානේ. ප්‍රංශයේ ද වොයිස් කියන්නේ ඇත්තටම මම හිතන්නේ ඇමරිකාවට පස්සේ ඕක තියෙන්නේ ප්‍රංශයට. මේ වැඩසටහනකට ලොකු වටිනාකමක් තියෙනවා.

දුවට මොනවගේ සහයෝගයක් ද ලබා දෙන්නේ.

එයාට ඇත්තටම මගෙන් ලොකු සහයෝගයක් වුවමනා නැහැ. සංගීතය පැත්තෙන් එයා මටත් වඩා ඉදිරියෙන් ඉන්නේ. එයාගේ වෝකල් ටේ්‍රනර් විදිහට එයාට හොඳ කෝච් කෙනෙක් හම්බවෙලා තියෙනවා. සංගීතය ගැන එයාට මට අමුතුවෙන් උගන්වන්න දෙයක් නැහැ. අපිට ලංකාවේ නැති පහසුකම් ඇයට ප්‍රංශයෙන් හම්බවෙනවා. මේ ක්‍ෂේත්‍රයේ හිටියා කියලා ඇය අධ්‍යාපනය අතපසු කරලත් නැහැ. මම හිතනවා දුව හොඳ ගමනක් යාවි කියලා.

ප්‍රංශයේ ද වොයිස් ටීන් කිරුළ දුවට හිමිවේවිද?

ඒ සහභාගීත්වයත් මට හරියට වටිනවා. අවසන් වටයට ඇවිත් කිරුළ ඇයට හම්බවෙන්නම ඕනෑ කියලා දෙයක් නැහැ. මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ලැබුණු අවස්ථාවම මට ඇති. එතැනින් එහාට එයත් දන්නවා යන්න ඕනෑ ගමන මොකක්ද කියලා. සතුටු වෙන්නේ දුව මේ වැඩසටහනට සම්බන්ධවීම සම්බන්ධයෙන්.

දිවිතුරා අගස්ති ආයෙමත් හිමිවුණා නේද?

මම මේ ක්‍ෂේත්‍රයේ නළුවෙක් විදිහට හිටියේ නැහැ. මම සංගීතඥයෙක් විදිහට තමයි වැඩ කළේ. මම ඇත්තටම නළුවෙක් නෙමෙයි විරාජ්ගෙයි, චාමරගෙයි ඉල්ලීමකට තමයි මේ නාට්‍යය භාර ගත්තේ. කිසිම පළපුරුද්දක් නැතිව තමයි මේ වැඩේ භාරගත්තේ. මේ වෙද්දී මට ලැබෙන ප්‍රතිචාර එක්ක මම ඇත්තටම සතුටුවෙනවා.

හෙක්ටර් වැඩේ ගොඩ දාගත්තා කියලත් කට්ටිය කියනවා?

ගොඩදාගත්තා කියලා ගොඩ දෙනෙක් මගේ මූණටත් කියනවා. මම ඇත්තටම ඒකට සතුටුයි. කිසිම පළපුරුද්දක් නැතිව එතැනට ගිහිල්ලා ගොඩදානවා කියන වචනේ ඇහෙනකොටත් ඇත්තටම සතුටුයි. මම හිතුවේ නැහැ මට සාධාරණයක් කරගන්න පුළුවන් වේවි කියලා. මට පුළුවන් උපරිම ශක්තිය යොදලා ඒ පැත්තත් ගොඩදාන්න ට්‍රයි කළා. අධ්‍යක්‍ෂ චාමර කියනවා මචෝ උඹ දැන් තැනට ඇවිල්ලා කියලා.

අලුත් ආරාධනා තියෙනවාද?

ඔව් ආරාධනා නම් එනවා. නමුත් මම හිතනවා මේක හොඳට කරලා මෙතනින් පස්සේ ඒක දිගට අරගෙන යන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ. මගේ සංගීත පැත්ත කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. දෙපැත්තෙම යන්න ගියොත් මට එකක්වත් හරියට කරගන්න බැරිවෙනවා.

නළුවෙක් වෙන්න අදහසක් නැහැ

ඇත්තටම මගේ හිතේ එහෙම අදහසක් තිබුණෙත් නැහැනේ. අහම්බෙන් ලැබුණු ආරාධනාවකට ගියේ. ඒක මේ වෙනකොට කරගෙන යනවා. මගේ සංගීත දිවිය මේකට පටලවා ගත්තොත් හරියන්නේ නැහැ. මම ආසා කරන්නේ මගේ සංගීත දිවියට. එක ගමනක් ගියහම හොඳටම ඇති කියලා මට හිතෙනවා. කොහොමත් මට ආදරය කරන විශේෂ පිරිසක් හැදිලා තියෙනවා. ඒක වුණේ නළු ජීවිතයට ආවට පස්සේ.

අතුල සමඟ ගීයක් කරනවා කියලත් ආරංචියි.

මේ දිනවල මමත් අතුල අධිකාරිත් එකතු වෙලා ඩුවට් එකක් කරගෙන යනවා. කට්ටිය ආස නිසයි මම සැලලිහිණියෝ කියලා කවර් සෝන්ග් එකක් කළේ.

ඩී මේජර්ලාට දැන් දශකයක්.

ඔව්. අපේ බෑන්ඩ් එකේ ඇනවසරි එක අගෝස්තුවල කොන්සර්ට් එකක් කරන්න

හිතාගෙන හිටියේ. රටේ තත්ත්වයත් එක්ක ඒකට පොඩි අපහසුතාවක් පැන නැගිලා තියෙනවා. මේ අවුරුද්දේ අපි කැනඩා, යූඑස්ඒ, ඔස්ටේ්‍රලියා, යූකේ වගේ වර්ල්ඩ ටුවර් එකක් යනවා. සැප්තැම්බර්වල තමයි සංචාරය ආරම්භ වෙන්නේ. බෑන්ඩ් එකේ ඇනවසරි එකත් එක්ක මූලික කරගෙන තමයි මේ සංචාර සිදුකරන්නේ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment