ප්‍රචණ්ඩ ක්‍රියා බැහැ – විරෝධතා අයිතියට උසාවියෙන් අවසර

158

පොලිසියේ ඉල්ලීම ඉවතට

 ගාලුමුවදොර භූමියේ දී ඊයේ (10දා) සවස 3ට ජනතා නිදහසට අත නොතබනු මැයෙන් තරුණ නීතිඥවරුන් සහ වෘත්තිකයන් සිදු කිරීමට නියමිත උද්ඝෝෂණය සාමකාමීව සිදු කළ හැකි බවත් එහෙත් ගාලුමුවදොර භාවිත කරන සාමාන්‍ය ජනතාවට බාධාවක් නොවන අයුරින් එය සිදු කළ යුතු බවත් කී කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එසේ නොකර ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙසත් ඊයේ නියෝග කළේය.

 ගාලුමුවදොර භාවිත කරන කිසිවකුට බාධාවක් නොවන අයුරින් බුද්ධි තොරතුරු සහ සමාජ මාධ්‍ය හරහා මේ බව තහවුරු කළ බවත් එකී විරෝධතාව නීති විරෝධී බවත් කියමින් එකී විරෝධතාව නවත්වන ලෙස අධිකරණයෙන් කොටුව පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

 මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ සාමකාමී රැස්වීමේ නිදහස තම සේවාදායකයන්ට අයිතියක් ඇති බවය. නීති විරෝධී කිසිවක් කිරීමට සැලසුම් නැති බව කියා සිටි ඒ මහතා සාමකාමී අයිතිය නවත්වන්න ප්‍රතිපාදන අපරාධ නඩු විධාන සංග්‍රහයේ නැති බව අධිකරණයට දන්වා සිටියේය.

 මෙහිදී අදහස් දැක්වූ කොටුව පොලිසිය කියා සිටියේ නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත ප්‍රනාන්දු සහ වරාය අධිකාරිය වෙනුවෙන් වසන්ත පුෂ්පකුමාර මහත්වරුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පැමිණිලි කර ඇති බවය. සිය නියෝගය නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙසේ සඳහන් කළේය

 “ගාලුමුවදොර සහ පොදු ස්ථානවල රැස්වීමේ අයිතිය ඇති සේම එම ස්ථාන භාවිත කිරීමටත් පොදු මහජනතාවට අයිතිය තිබෙනවා. එම අයිතිය ආරක්ෂා කළ යුතු සේම ඒ අවට මාර්ගවල ගමන් කරන රථ වාහනවලට පුද්ගලිකව බාධා නොවන ලෙස උද්ඝෝෂණය කළ යුතුය. එසේ නොමැතිව ප්‍රචණ්ඩකාරී, නීති විරෝධී ආකාරයට කටයුතු කළහොත් පොලිසියට ඊට එරෙහිව ක්‍රියා කළහැකියි’‘.

advertistmentadvertistment
advertistmentadvertistment