ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බණ දේශනා කරන්නේ ඡන්දය ඉල්ලපු අය වගේම දීපු අයත් මරපු ජනතා විමුක්ති පෙරමුණයි

48
  • පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක

යහපාලන ආණ්ඩු සමයේ දී පළාත් සභා මැතිවරණය කල්දැමූ අවස්ථාවේදී කට වහගෙන සිටිය ජනතා විමුක්ති පෙරමුණ දැන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බණ දේශනා කරන බවත්, එම පක්ෂය 1989 දී තමාව දෙපාරක් ඝාතනය කිරීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා,

“රට තිබුණා වගේ සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වී නැතත් යම් ප්‍රමාණයකට ආර්ථිකය පණගන්වා යම් සහනදායී තත්ත්වයක් ඇතිවී තිබෙනවා. නමුත් විරුද්ධ පක්ෂයට මේවා පේන්නෙ නෑ. ඔවුන් කියන්නේ කිසිදෙයක් නොවන බවයි. ආණ්ඩුව ජනතාවට දියහැකි සෑම සහනයක්ම ලබා දෙනවා. අයවැයෙන් සියයට 52 ක් වෙන්කර තියෙන්නේ සුබ සාධන වියදම් සහ සහනාධාර වෙනුවෙන්. මේ සහන ලබමින් මොකුත් ලැබෙන්නේ නැහැ කීම අපට පිළිගන්න බැහැ. හැම විපතක්ම සැපතක් කරගන්නා කණ්ඩායමක් ඉන්නවා. රජය ඇතැම් භාණ්ඩ නිෂ්පාදනයට අදාළ දේවල් මිල අඩුකළාට ඒ භාණ්ඩවල මිල අඩු කරන්නේ නැහැ. ඉන්ධන පෝලිම් අවස්ථාවේදීත් ඇතැම් ඉන්ධනහල්වලින් තෙල් පන්නගෙන වැඩි මිලට අලෙවිකලා.

පොහොර ලබා දුන්නමත් එක එක දේවල් කියනවා. අඩුපාඩුකම් නැතිවා නොවේ. පසුගිය ආණ්ඩු සමයේ පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය සම්බන්ධයෙන් යම් සංශෝධනයක් ගේනවා කියා පතරංග සංශෝධනයක් එකතුකර මැතිවරණය කල්තිබ්බා. අදටත් නැහැ මැතිවරණයක්. ඒ අවස්ථාවේ දී එම පනත ගෙනා ඇමතිවරයත් ඊට විරුද්ධව ඡන්දය දුන්නා. ඒ විදියට තක්කඩි අයුරින් පළාත් සභා මැතිවරණය කල් තිබ්බා. ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ නිහඬව සිටියා. එදාට වඩා වෙනස් තත්ත්වයක් රටේ තිබෙන්නේ. කොවිඩ් අර්බුදයෙන් රට කඩාවැටිලා, ලෝක ආර්ථික අර්බුදයට මුහුණදීමට සිදුවෙලා. පළාත් පාලන මැතිවරණයට බිලියන 10 ක් මැතිවරණ කොමිසම ඉල්ලනවා. අපි පළාත් පාලන මැතිවරණයට සූදානම්. මේවන විට නාමයෝජනා සම්බන්ධයෙන් අවශ්‍ය සියලු කටයුතු සූදානම්. හෙට සිට මම අම්පාර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් තෝරනවා. ඡන්දය ඉල්ලා කෑගසන පක්ෂ සූදානම්ද කියා අපි අහනවා.

අපි මැතිවරණයට බිය නැහැ. ජවිපෙ ලේකම් කියනවා එයාලගේ ආණ්ඩුවක් ආවම විදේශගත ශ්‍රමිකයින් මෙරටට මුදල් එවීමට සූදානම් කියලා. විදේශ පර්යේෂණ ගේනවා කියලා. ඔහු මැජික්කාරයෙක්ද? මේ අය එක ශ්රමිකයෙක් යවලා තියෙනවද? මේවා සුරංගනා කතා පමණයි. විදේශ රටවලට ගොස් රැකියාවක් කර මුදල් එවන පිරිස වගේම නොඑවන පිරිස් එදත් හිටියා අදත් ඉන්නවා. විදේශ රැකියා කරන පිරිස්වලට ලංකාවට මුදල් එවන්න එපා කියලා රට කඩාවට්ටවා ජනතාව බඩගින්නේ තැබීම මේ අයගේ දේශප්‍රේමිත්වයද? මේක දේශද්‍රෝහිත්වයක්. මේ අය කරන්නේ වෛරී දේශපාලනයක්. ඔවුන්ගේ වාසියතකා රට කඩා වැටෙනකන් බලන් ඉන්නේ. මෙවැනි ආත්මාර්ථකාමී පිරිසක් රටේ බලය ඉල්ලන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අද බණ දේශනා කරන්නේ එදා ඡන්දය ඉල්ලපු අය වගේම ඡන්දය දුන්නු අයත් මරපු, මේ රටේ හැටදාහක් තරුණ තරුණියෝ බිල්ලට දීපු ජනතා විමුක්ති පෙරමුණයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment