ප්‍රජාතන්ත්‍රවාදය බුල්ඩෝසර් කරන ඡන්ද භීතිකාව!

104

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 09 වැනි දිනට පැවැත් විය හැකි බවට කිසිවෙකුට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වන්නා සේම ඒ සම්බන්ධයෙන් පුරෝකථනයක් කිරීමද අතිශය දුෂ්කර කාර්යකි. මෙම මැතිවරණය පැවැත්වීම පිළිබඳව ආණ්ඩුව මුල සිටම පසු වූයේ සෘණාත්මක අදහසකය. රටේ උද්ගතව තිබෙන ආර්ථික කඩා වැටීම මූල්‍ය අර්බුදය මත පදනම්ව ආණ්ඩුවේ නායකයන් දිගින් දිගටම ප්‍රකාශ කළේ ද මේ මැතිවරණයකට උචිත හා සුදුසු වකවානුවක් නොවන බවය. රටේ ආර්ථික දුෂ්කරතාව සම්බන්ධ විවාදයේදී ආණ්ඩුවට පමණක් නොව ගතවූ හැත්තෑ පස්වසරක පමණ කාලය මුළුල්ලේම මේ රට පාලනය කළ සියලුම පක්‍ෂ හා නායකයන් එයට වගකිව යුතුය යන්න බහුතර මතය වේ. එහිදී විශේෂයෙන් ආසන්නතම දසක හතරක පමණ කාලයක පටන් මේ රට ආර්ථික වශයෙන් පමණක් නොව සමාජ දේශපාලන, සංස්කෘතික මෙන්ම මානුෂීය හා සදාචාරාත්මක වටිනාකම්වලින් ද දැඩි පරිහානියකට මුහුණ දී සිටින බව බොහෝ විට සිදු කෙරෙන විවේචනයකි.

පසුගිය 10 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ ද මෙරට සියලු ආකාරයේම පරිහානියක ගිලී අඳුරු වී තිබෙන බවත් එයට මෙරට පාලනය කළ පසුගිය 75 වසරක සිටි සියලු නායකයන් වගකිව යුතු බවත්ය. අද වනවිට වාර්තා වන සාහසික හා ප්‍රචණ්ඩ ඝාතන හොරකම් පිළිබඳ ලොමුදැහැගන් වන සිදුවීම් සියල්ල විසින් තහවුරු කරනු ලබන්නේ ද අපේ ලක් මව ගිලී සිටින ඛේදවාචක ඉරණම පිළිබඳවමය. හිස කෙළින් තබා ලෝකය අබියස හිට ගැනීමට තරම්වත් අභිමානයක් මේ රටේ පුරවැසියන්ට ඉතිරි වී නැතැයි ද මැල්කම් හිමිපාණන්ගේ විවේචනයයි. උන්වහන්සේ ප්‍රශ්න කරන්නේ ද අපට අභිමානයෙන් සැමරීමට තරම් නිදහසක් ඉතිරි වී තිබේද යන්නය. එහෙත් අපේ නායකයන්ට අවශ්‍ය මේ යථාර්ථය බොරුවෙන්, ව්‍යාජත්වයෙන් වසා, අපේ පුරාජේරුව පිළිබඳව ලොවට පැවසීමය. මේ මොහොතේදීත් අපේ එකම අපේක්‍ෂාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පිහිටක්, සරණක් ලබාගැනීම පමණි. එහෙත් තවමත් ඒ සහනය අතට හසු නොවන දුරක එල්ලා තැබෙන දෙයක් පමණි.

කෙසේ හෝ මේ වනවිටත් රටක් වශයෙන් අප පත්ව සිටින අසරණ බව, අස්ථාවර බව සුළුපටු නැත. ආණ්ඩුව සියලු බර පොදු ජනතාව මත පටවමින් ආර්ථික උගුල ලිහිල් කර ගැනීමට ක්‍රියාකරන බවට ප්‍රබල චෝදනාවක් ද ඇත. විශේෂයෙන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය හා විදුලි ගාස්තු සංශෝධනය අතිශය විවාදාත්මක අර්බුදයක් නිර්මාණය කර තිබේ. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මාධ්‍යවලට ප්‍රකාශ කරන්නේ තමන්ගේ අනුමැතියකින් තොරව සියයට 66 කින් විදුලි බිල ඉහළ දැමූ බවකි. කොහොමටත් ඇමැතිවරයා දිගින් දිගටම කියා සිටියේ විදුලි බිල ඉහළ දැමීමෙන් විනා මේ අර්බුදය විසඳා ගත නොහැකි බවය. එපමණක් නොව මේ ප්‍රශ්නයේදී ජනතාව සමග හිටගත් ජනක රත්නායකට සිදුවූ කෙනෙහිලිකම් ද නිමක් නොවූ බව අපට පෙනුණි.

ප්‍රජාතන්ත්‍රවාදය බුල්ඩෝසර් කරන ඡන්ද භීතිකාව!

මේ සියල්ල යටපත් කරමින් දැන් සමාජ දේශපාලන අංශවල ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය පිළිබඳවය. මේ මැතිවරණය කල් දමා ගැනීමට දේශපාලනයෙන්ම අගතියට ගිය කණ්ඩායමක් විසින් ගෙන යනු ලබන ක්‍රියාදාමය රහසක් නොවේ. ආණ්ඩුවේ ප්‍රසාදය තිබුණෙත් ඒ කණ්ඩායමට බව පෙනුණි. ආණ්ඩුව දේශපාලන සූත්තර යොදා ගනිමින් මැතිවරණය කල් දමා ගැනීමට කළ මෙහෙයුම් ගණනාවක්ම නිකම්ම ගඟට ඉනි කැපීමක් විය. එහෙත් ආණ්ඩුව වැඩේ අත්හැරියේ ද නැත. විපක්‍ෂ වේදිකාවලින් නැගෙන විවේචන මෙන්ම ජනතාවගෙන් ඔවුන්ට ලැබෙන සුබවාදී ප්‍රතිචාර දකින ආණ්ඩුවේ නායකයන්ට සිය දේශපාලන බල ව්‍යාපෘතිය දෙදරා යමින් තිබෙන බව වටහා ගැනිම අසීරු නැත. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් ආණ්ඩුව වෙනස් කිරීමට හෝ බලය හුවමාරුවකට නොහැකි යැයි ප්‍රසිද්ධියේ පැවසුවත් එහි ආදීනව තමන් පසුපස ඇදී එන බවද ආණ්ඩුවේ නායකයෝ දනිති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසි දිනක වෙලක නියරක ඇවිද නොගියත් පසුගිය දිනවල ගොවියන් සමග අල්ලාප සල්ලාපයෙන් පසුවූ බවද පෙනුණි. වී කිලෝවක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් සියයක් ලබාදීමේ නියෝගයක්ද පැනවිණි. ගොවි සංවිධාන පවසන්නේ රුපියල් සියයට වී කිලෝවක් දීමට වඩා ඒවා හතර මං හන්දියක තබා ගින්දර තියන කතාවකි. වෙලෙන් ගොඩවූ ජනාධිපතිවරයා ඊළඟට නියෝග කළේ පෙබරවාරියේ රජයේ සියලුම ආදායම ඖෂධ මිලට ගැනීමට යොදවන ලෙසය. මෙය ඉතා හොඳ යෝජනාවකි. එහෙත් සෞඛ්‍ය සේවය කුණුවී තිබෙන ආකාරය කෙබඳු දැයි වෛi ක්‍ෂේත්‍රයෙන්ම ලැබෙන විවේචන, චෝදනා ආදියෙන් ජනතාවට තේරුම් ගත හැකිය.

කෙසේ හෝ ආණ්ඩුවේ මූලික හා අත්‍යාවශ්‍ය දේවල් ලෙස ගොවි ප්‍රශ්න හා ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්න ඉදිරියට ගැනීම කිසිවෙකුට විවේචනය කළ නොහැකිය. එහෙත් ඒවා කිසිසේත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට හේතුවක් විය යුතු නැත. එසේ වුවද දැන් යළිත් ඒ ප්‍රශ්නය මුලටම පැමිණ තිබේ. විපක්‍ෂ නායක සජිත් මෙන්ම මාලිමාවේ අනුර කුමාර ද සෘජුවම චෝදනා කරන්නේ ආණ්ඩුව මැදිහත්වී පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කරන බවය. මැතිවරණයට අකුල් හෙළන ආණ්ඩුවට එරෙහිව ලබන සඳුදා කොළඹට ජනතාව කැඳවන බවට මුජිබර් රහුමාන් හිටපු මන්ත්‍රීවරයා අනතුරු ඇඟවීමක් කරද්දී අනුර කුමාර පවසන්නේ සූදානමින් සිටින ලෙසත් දිනය පසුව දැනුම්දෙන බවත්ය. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා මාර්ග ව්‍යවස්ථානුකූලව පරාජය කර ජනතාවගේ ඡන්ද අයිතිය සුරකින බව අනුර කුමාර මාධ්‍යවලටද පවසා තිබේ.

පළාත් පාලන මැතිවරණය නිසි පරිදි පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරැකීමේ වගකීම තිබෙන්නේ විපක්‍ෂයට වඩා ආණ්ඩුවටය. එහෙත් ආණ්ඩුවක් අමනොඥ ලෙස රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගලායෑමට හරස් වන්නේ නම් එය යහපත් තත්ත්වයක් නොවේ. මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයට අප්‍රමාණව සතුරුකම් කළ දේශපාලන පක්‍ෂ අතර ජනධිපති රනිල් අයත් එජාපය ද සිටියි. ශ්‍රීලනිපයට ද ඒ පිළිබඳ චෝදනා ඇත. එදා සිරිමා මැතිනිය (1970) පාර්ලිමේන්තු ඡන්දය නොපවත්වා ආණ්ඩුවේ කාලය දෙවසරකින් දීර්ඝ කළ අතර පසුව ජයවර්ධන 1982 ජනමත විචාරණයකින්, මැතිවරණය කල් දමා වසර හයකට යළි ආණ්ඩුවේ කාලය දිගුකර ගත්තේය. කුප්‍රකට ලාම්පු කළගෙඩි සෙල්ලම මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ සිතියම වසා දමා ඉතිහාසයට කළු පැල්ලමක්ද එක්කර තිබේ. දේශපාලන විචාරකයන් පසුව සඳහන් කළේ මැතිවරණ මගහැර ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා රාජ්‍ය බලය යොදා
ගැනීම අභ්‍යාස කළ දුෂ්ට මෙහෙයුම ජනමත විචාරණය බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සටකපට දේශපාලන මෙහෙයුම් පිළිබඳ සියල්ල දන්නා නායකයෙකි. එසේම 82 ජනමත විචාරණය පැවැත්වීමේ දූෂිත ක්‍රියාදාමය ගැනද ඔහු දනී. එබඳු දේශපාලන ඉතිහාසයක විපාක දන්නා නායකකු ලෙස ජනාධිපති රනිල් මෙම පළාත් පාලන ඡන්දයට බාධා කිරීම ප්‍රහේළිකාවකි. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් බල ගන්වන ලද අත්‍යාවශ්‍ය කරුණුවලට පමණක් රාජ්‍ය අංශ ප්‍රමුඛතාව ලබාදීමේ චක්‍රලේඛය සද්භාවයෙන් නිකුත් කරන ලද්දක්ද? කුමක් වුවත් ජනාධිපති රනිල්ට ඒ අතීතය පමණක් නොව හෙට දවසේ සිදුවිය හැකි දේවලුත් පෙනෙන දේශපාලන විඥානයක් තිබේය යනු අපගේ අනුමානයයි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ වගකීම ඔහු සතු වූවකි. මෙම ඡන්දය පැවැත්වීමට මුදල් නැති බවත්, මුදල් අච්චු ගසා ඡන්ද පැවැත්වීම ජාත්‍යන්තරයෙන් ලැබෙන සහායට බාධාවක් බවත් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසා තිබුණි. එහෙත් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවා සඳහන් කරන්නේ මෙම ඡන්දයේ මුළු පිරිවැය එක්වර දැරීම අනවශ්‍ය බවත් එය කොටස් වශයෙන් ලබාදිය හැකි බවත්ය.

රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගා ලියනගේ තවමත් පවසන්නේ තැපැල් ඡන්ද පත්‍රිකාවලින් වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කර අවසන් වුවත් ඇය ආණ්ඩුවේ චක්‍රලේඛය නිසා හිරවී සිටින බවය. ඇත්ත වශයෙන් රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන බලපෑම් කිරීමේ නරක ආදර්ශයේ ආදීනව කෙබඳු දැයි විස්තර කළ යුතු නැත. රාජ්‍ය සේවය ශක්තිමත් වන්නේ හෘදය සාක්‍ෂියට එකඟව, නිදහස් මනසකින් තීන්දු ගන්නා නිලධාරීන් සිටින තෙක් පමණි. මෙහිදී මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම නැවැත්විය යුතු බවට චක්‍රලේඛයක් පිළිබඳ සිද්ධිය නිසා එම අමාතාංශයේ ලේකම් නීල් හපුහින්නට මුහුණ දීමට සිදුවූ ක්‍රියාකාරකම් ගැනද අපට සිහිපත් වේ. මේ වනවිට එම සිද්ධිය ශ්‍රේෂ්ඨාධිකරණය අබියස විනිශ්චය කිරීමටද නියමිත වූවකි.

මේ සියලු සිදුවීම්වලදී කවර හෝ පිරිසක් චේතනාන්විතව මෙම මහජන අයිතියක් වූ මැතිවරණ ක්‍රියාදාමයට බාධා කර ඇතැයි කවරෙකුට වුවද පෙනී යනු ඇත. එහෙත් එබඳු සදාචාරාත්මක නොවන ක්‍රියාදාමයක් සඳහා ආණ්ඩුවක් අනුබල දිය යුතු නැත. රාජ්‍ය නායකයකුගෙන් කැඳවීමක් ලැබෙන ඕනෑම නිලධාරියකුට එම නායකයාගේ අභිලාෂයන්, හඳුනාගත හැකිය. ජනාධිපති කාර්යාලයට කැඳවන තෙක් සිය සුපුරුදු අත්දැකීම් අනුව කටයුතු කළ රජයේ මුද්‍රණාලාධිපතිනියට ඉන්පසු ඇතිවූ මානසිකත්වය කෙබඳු දැයි දින කීපයකට පෙර පැවති මාධ්‍ය හමුවේදී ඇගේ විලාසය දුටු කවරකුට වුවද දැන මැන ගත හැකිය. මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පැවසූ පරිදි මෙම පළාත් පාලනයට එල්ල වූ බාධා කිරීම් සංඛ්‍යාව 20 කි. එහෙත් ඔහු තවමත් පුරුෂ ධෛර්යයෙන් යුතුව සිය වගකීම හා යුතුකම ඉටුකිරීමට දක්වන ප්‍රයත්නය අත්හැර දමා නැත.

අපගේ වැටහීම අනුව නම් මැතිවරණ පැවැත්වීමට එරෙහි කණ්ඩායමේ මෙහෙයුම් තවම අවසන් වී නැත. මෙම මැතිවරණය කිසිදු වැදගම්මක් නැති දෙයක් ලෙස හඳුන්වන දේශපාලන චරිත ගැනද මතක තබා ගැනීම පුරවැසියාගේ වගකීමකි. ජනතාවගේ අයිතියක් මර්දනයෙන් තීරණයෙන් බිය වැද්දීමෙන්, අහෝසි කිරීම සදාචාර විරෝධී ක්‍රියාවකි. ඇත්ත වශයෙන් අද තනි යායක් බවට පත්ව තිබෙන ලෝකයක කවුරුන් හෝ දුර්දාන්ත අමන දේශපාලන මෙහෙයුම්වලින් ජනතා හිමිකම්වලට හරස් වන්නේ නම් එයින් ලැබෙන ප්‍රතිචාරද සුබවාදී නැත.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේද ජනතා පරමාධිපත්‍ය සුරකිමින් ජනමතය තුළ සැබෑ ආණ්ඩුකරණයකට ඉඩ ලැබෙන මාවතකට රට යොමු කළ යුතු බවය. අත්තනෝමතික බලයක් නිර්මාණය කෙරෙන ශ්‍රී ලංකාවට අදාළ වූ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව අඛණ්ඩව පෙනී සිටිමින් මහජන නියෝජිතයන්ගේ වගවීම හා සක්‍රීය මැදිහත්වීමක් තුළ රාජ්‍යකරණයට යොමුවන ශක්තිමත් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් වෙනුවෙන් තමන් නිරන්තරයෙන් පෙනී සිටින බව ද කරු ජයසූරියගේ අවධාරණයයි. එම නිවේදනයෙන් කෙරෙන ආයාචනය වන්නේද කල් නොයවා මැතිවරණයකට ද රට යොමු විය යුතු බවය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය ප්‍රශ්නකාරී වන්නේද කරු ජයසූරිය සඳහන් කරන අපට පමණක් අදාළ විධායකයක හැසිරීම් දෙස බලන විටය. බලසම්පන්න විධායක ජනාධිපතිවරකු නිර්මාණය කිරීම මෙම ක්‍රමය හඳුන්වා දුන් ජේ. ආර්. ජයවර්ධනගේ අපේක්‍ෂාව විය. එහෙත් පසුකාලීනව ජයවර්ධනගේ ක්‍රමය අහෝසි කළ යුතුය යන මතය සමාජ ගත විය. ජනාධිපති රනිල් වුවද පිළිගත්තේ ව්‍යවස්ථාදායකය ශක්තිමත් කළ යුතු බවය. එහෙත් එලෙස ව්‍යවස්ථාදායකය සවිබල ගැන්වීමට අනලස්ව ඉදිරිපත් වූද ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා අභීතව පෙනී සිටියා වූද දේශපාලන නායකයකු වූ රනිල් අද යන්නේ කොහි දැයි ඔහුගේ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරකම් අගය කළ අයද ප්‍රශ්න කරති. ඔහු අද හැසිරෙන්නේ විධායකයට සියලු ආයතන යටත් විය යුතුය යන ආකල්පයකින්ද? පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයද ඔහු වෙනස් කළ බවට චෝදනා නැඟුණි. අද ඔහුට අවශ්‍ය විධායක ජනාධිපති ක්‍රමය සුරැකීම දැයි සමහරු ප්‍රශ්න කරති.

ජනාධිපතිවරයා ලෙස ඔහු විසින් කරනු ලබන ඇතැම් ක්‍රියා ගැන අද විවේචනයක් තිබේ. මහජන උපයෝගීතා කොමිසමේ හා ස්වාධීන මැතිවරණ කොමිසමේ නිලධාරීන් කැඳවා ඔවුන්ට බලපෑම් කළ බවට තිබෙන චෝදනා ගැන ඔහු කිසිවක් නොකියයි. ජවිපෙ නායක අනුර කුමාර සෘජුවම චෝදනා කරන්නේද ඔහු පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කරන බවටය. එහෙත් එබඳු අමන මෙහෙයුමකින් හමන දුර්ගන්ධයකින් ප්‍රජතන්ත්‍රවාදී දේශපාලනය කිලිටි වීමට ඉඩ දිය යුතුද යන්න ගැන ජනාධිපතිවරාට ප්‍රබල හෘදය සංවාදයක යෙදෙන ලෙස අපට ඉල්ලීමක් කළ හැකිය.

කුමක් වුවත් මෙම මැතිවරණය පැවැත්වීම පිළිබඳ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා තවමත් ධනාත්මකව කල්පනා කරයි. හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කී ආකාරයටම පිටින් බලා එයට උපදෙස් දීමට හෝ මෙහෙයවීමට හෝ කිසිවෙකුට නොහැක. ක්‍රීඩාව කළ යුතු ආකාරයත් දේශපාලන දුස්රාවලට මුහුණ දිය යුත්තේ කෙසේද යන්නත් ගැන ඔහු දැන සිටිය යුතුය. එහෙත් තුන්වන විනිශ්චයකාර විධායකය හොර අවුට් දුන්නොත් සියල්ල කම්මුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment