ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්! හැබැයි වල්බුරු නිදහසක් දෙන්න බෑ!

45

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

වෘත්තීය සමිති පාලනය කළ යුතුයි. ඔවුන් වර්ජන කරන්නේ සාමාජිකයන් රැකගන්න

පසුගියදා (15 වැනිදා) ආරම්භ කෙරුණු දීප ව්‍යාප්ත වැඩවර්ජනය 16 වැනිදා තාවකාලිකව අත්හිටුවූ බව ඊට සහභාගි වූ ඇතැම් වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබිණි. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය, විදුලිබිල, බැංකු පොලී අනුපාත සම්බන්ධයෙන් විරෝධය පෑමට මෙම වැඩවර්ජනය පැවැත්විණි. මෙම වැඩවර්ජනයට සහභාගි වූ වෘත්තීය සමිති පවසනුයේ රජය මෙම විරෝධතාවට දක්වන ප්‍රතිචාර මත ඉදිරියේ කටයුතු තීරණය කරන බවයි. එහෙත් රජය පාර්ශ්වයෙන් පැවැසෙන්නේ වසර අවසන් වනවිට සියලු පීඩාවන් සඳහා සහනයන් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇත යන්නයි. අප මේ පිළිබඳ විමසීමට එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා හමුවිය. පහතින් පෙළගැසෙන්නේ ඒ මහතා සමඟ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කළ සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – පසුගියදා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක වුණා. වර්ජකයෝ නම් කියන්නෙ අසාධාරණ බදු පැනවීම් නිසා ඒ කළ යුතුම උද්ඝෝෂණයක් බව. බදුබර වගේම විදුලි බිලේ, බැංකු පොලී අනුපාත කිසිවෙක්ට දරාගන්න නොහැකි බව ඔවුන්ගේ අදහසයි. ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, ජනාධිපතිතුමාගේ සමීපතමයෙක් විදිහට මේ තත්ත්වය දකින්නෙ කොහොම ද?

පිළිතුර – අපේ මහජනතාව මේ මොහොතේ මතක තියාගන්න ඕන ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනව. එකක් තමයි අපි මේ වෙද්දි ලෝකයේ බංකොලොත් රාජ්‍යයක් කියන එක. ලෝකයේ බංකොලොත් වෙච්ච රාජ්‍යයන් ඒකෙන් ගොඩඑන්න බැරිව අවුරුදු අට දහය එහෙම්ම තිබිල තියෙනව. ශ්‍රී ලංකාවේ වාසනාවට රටේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, වසර පනහක දේශපාලන අත්දැකීම් තියෙන නායකයෙක් හැටියට ජනාධිපති වෙලා මාස හතක් රටක් යද්දි පෙට්‍රල්, ඩීසල්, ගෑස් බාධාවකින් තොරව සපයන්න කටයුතු කරල තියෙනව. ඒ වගේම උදලු කරේ තියාගෙන නගරයට ආපු ගොවියාව නැවත තමන්ගෙ ගොවිබිමට පුළුවන් වාතාවරණයක් සකස් කරමින් ඉන්න අවස්ථාවක් තමයි අපි මේ පසුකරමින් ඉන්නෙ.

මෙවැනි අවස්ථාවක ලංකා ඉතිහාසයේ කරපු පෙර වැරැදි කරන්න අවස්ථාවක් නෑ. ඔබ මතු කළ ප්‍රශ්නය ඔබටත් මටත් අපි හැමදෙනාටම තියෙනව. රාජ්‍ය සේවකයන් ලක්ෂ 15ක් වෙන්න පුළුවන්, පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ 40ක් වෙන්න පුළුවන්. හැබැයි රට පාලනය කරන උදවිය බලන්න ඕන දෙකෝටි විසි ලක්ෂයක් ආරක්ෂා කරන්නෙ කොහොමද කියල. යම්කිසි බදු මුදලක් අය කරනවා නම් ඒක මේ මොහොතේ අමාරු වෙන්න පුළුවන්. ජනාධිපතිතුමා කියල තියෙනව මේ වසර අවසන් වෙද්දි ඒකට සහනයක් දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරනව කියල. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්න මොහොතක යම් පිරිසක් කටයුතු කරනවා නම් ඔබෙයි මගෙයි බෙල්ල මිරිකල ඒ අයට විශේෂිත වූ වරප්‍රසාදයක් ගන්න, එය බරපතළ ඛේදනීය තත්ත්වයක්.

බදු ප්‍රශ්නයක් තියෙන බව ඇත්ත. ඒ වගේම විශේෂයෙන් බැංකුවල ණය පොලී අනුපාත වැඩි බව ඇත්ත. හැබැයි මේව වෙනස් කරගන්න පුළුවන්. ඒවා වෙනස් කරගන්න දවසක් වැඩවර්ජනය කරනවා කියන්නෙ නැවත විශාල හානියක් කරනවා කියන එක. මේ කරන සිදුකරන ක්‍රියාවලියෙන් වෙන්නෙ තවත් වසර විසිපහක් යද්දි ඇණ කොටාගන්න ජාතියක් බවට පත්වීමයි. ඒ නිසා සමස්ත ජනතාව මේ ගැන කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. මේ අයට මේ පණිවුඩය ලබාදිය යුතුයි. වැඩවර්ජන නොකර කටයුතු කළොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා වසර අවසානය වෙද්දි සියල්ලන්ටම සහනය ලබාදෙයි.

ප්‍රශ්නය – මේ උද්ඝෝෂණය කරන වෘත්තිකයන් කියන්නෙ බදු අය කළාට කමක් නෑ, සාධාරණ විදිහට බදු අය කරන්න කියල. මේ බදු ප්‍රතිපත්තිය නිසා වෘත්තිකයන් අද රට හැර යන තත්ත්වයට පත්වෙලා තියෙනව. ඔවුන් රට හැර යෑම නිසා ඇතිවන තත්ත්වයන් කළමනාකරණය කරගන්න රජයට පුළුවන් ද?

පිළිතුර – මම හිතන්නෙ මේකෙදිත් අප මතක තියාගන්න ඕන කාරණයක් තියෙනව. රට යන මාර්ගය ඇතිකළෙත් එජාපයයි. 1977ට පෙර රට ගියේ මේ රටේ තෝරගත්ත ප්‍රබල පවුල් කීපයක ළමයි විතරයි. හැම ගමකම ළමයෙක්ට විදෙස් රැකියාවලට යන්න මග විවර කළේ එජාපය. මේක ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකයේ දියුණු වුණු රටවල් අනුගමනය කළ ක්‍රමවේදයක්. කොරියාවේ උදවිය එදා ජපානයට යුරෝපයට ගියා විදෙස් රැකියාවලට. ඒවායේ තාක්ෂණය අරගෙන නැවත කොරියාවට ආව. ඇතැම් වෙලාවට මේක තාක්ෂණය හොරකම් කිරීමක් කියලත් කියනව. ඒ නිසා විදෙස් රැකියාවලට යන එක හොඳයි. විශේෂයෙන් වෘත්තිකයන් විදෙස්ගත එක තවත් හොඳයි. නමුත් අපිට ඕන කරන්නෙ ලෝකයේ රැකියා විරහිතව ඉන්න පිරිස රැකියා සඳහා ලංකාවට ගෙන ඒමේ ආර්ථිකයක් හදන්න. අපි අවුරුදු තුනකට පස්සෙ තමයි සිංහල අවුරුද්දක් භුක්ති විඳින්න හදන්නෙ.

ප්‍රශ්නය – ඔබතුමා මේ කියන්නෙ වෘත්තිකයන්ට ඉවසීමෙන් ඉන්න කියල ද?

පිළිතුර – අනිවාර්යයෙන්ම. වෘත්තිකයන් විතරක් නෙමෙයි සියලු දෙනාම ඉවසීමෙන් සිටිය යුතුයි. හැම දෙනාම සීමාසහිතව තමයි මේ මොහොතේ වැඩකටයුතු කළ යුත්තේ. ජනාධිපතිතුමා කිව්ව ජනතාවගේ අමාරුකම් ඉතා ඉක්මනින් විසඳනව. ඒකට කාලයක් දෙන්න කියල.

ප්‍රශ්නය – ඒ සඳහා කොපමණ විතර කාලයක් යයිද ?

පිළිතුර – බංකොලොත් වූ රටක් අයිඑම්එෆ් ලැබෙන්නත් කලින් ඔබට මට පාරේ යන්න පෙට්‍රල් ටික දීලනෙ තියෙන්නෙ. ගෑස් දීලනෙ තියෙන්නෙ. ඔබේ පුවත්පත් ආයතනය දුවන්න ඩීසල් නැතිව සිටිද්දි, ඔබලාගේ සම්බන්ධතාවන් භාවිත කර ඒවා ලබාගැනීමේ ක්‍රියාවලියක නේද ඔබලා හිටියෙ. දැන් ඒ ක්‍රියාවලියෙන් මිදී නව ක්‍රමයකට යා යුතුයි. පරණ විදිහට මේක කරන්න බෑ. කට්ටියක් වැඩ වර්ජනය කරනවා නම් ඒ අය ජාතිය විනාශ කිරීමට අනුබල දෙන පිරිසක් විදිහට තමයි ගණන් ගන්න වෙන්නෙ.

ප්‍රශ්නය – ඔබ වර්ජකයන්ව ත්‍රස්තවාදීන් හා සමාන කිරීමට උත්සාහ කරල තිබුණ. ඇත්තටම එය කොයිතරම් දුරට සාධාරණ ද?

පිළිතුර – මේ හැම කෙනෙක්ම උගත් අය. යමක් කමක් තේරෙන අය. අපි මේ වෙලාවෙ විදේශීය අවශ්‍යතාවන් මත කටයුතු කිරීම නොකළ යුතුයි. උදාහරණයක් විදිහට දෙයක් කියන්නම්. ඒක මම නිතරම මතක් කරල තියෙනව. ඩී. එස්. සේනානායක මහත්තය අශ්වයෙ පිටින් වැටිල මැරුණ වෙලාවෙ කියා තිබුන අශ්වයගෙ ලාඩං ඇදේට ගහපු නිසා වැටිල මැරුණෙ කියල. එතනින් පටන් ගන්න ගමනෙදි අපි බෙදෙනව. බණ්ඩාරනායක මහත්තයට වෙඩි තියනව. වෙඩික්කරුව අහුවෙනව, හැබැයි මූලාශ්‍රය හම්බවෙන්නෙ නෑ. එතනින් පස්සෙ අපේ නායකයො 125ක් විතර මරල තියෙනව. මේ අය අතර සිංහල, දෙමළ, මුස්ලිම් අය ඉන්නව. මෙහෙම රටක මේ රටේ දේශපාලන පක්ෂ නායකයන් මේ රට මෙහෙය තියාගත්ත එකට සම්මානයක් දෙන්න ඕන.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වෙලාවෙ බලන්නෙ සියලු දෙනා එකතු කරගන්න. සියලු දෙනා එකතුවුණොත් වෙනත් කුමන්ත්‍රණ, බලවේගවලට එකතුවෙන්න තැනක් නෑ. දැන් අපි බෙදීම නිසා කුලල් කා ගැනීම නිසා ඒ තැන්වලට විවිධ බලවේග ඇතුල්වෙනව. ලංකාව ආසියාවේ ඉහළ තැනක වැජඹෙනව දකින්න ආසියානු බලවතුන් අකැමැතියි. ඒක සාධාරණයි. ඒ අයගෙ ආර්ථිකය ලොකු ආර්ථිකයක්. අපේ ආර්ථිකය ලෝක ආර්ථිකයක් දිහාවට ගියොත් ඒක ආසියාවට බලපාන ප්‍රශ්නයක්. ඒ නිසා මේ රට හැම වෙලාවෙම මෝඩයෙක්, නූගතෙක් පාලනය කළ යුතු බව තමයි ආසියානු බලවතුන් හිතන්නෙ. දුප්පතාගේ හිතවතා දුප්පතෙක් වෙන්නෙ නෑ. දුප්පතාගෙ හිතාවත් පෝසතෙක් වෙන්න ඕන.

ප්‍රශ්නය – මේ වර්ජන රැල්ලට මුහුණ දීමේදි ඔබතුමන්ල කියන දෙයක් තමයි ඉතිහාසය අමතක කරන්න එපා කියල. ඒක වක්‍ර ආකාරකින් තර්ජනය කිරීමක්. ඇයි උද්ඝෝෂණවලට සාධාරණ අවස්ථාවක් නොදෙන්නෙ. වර්ජන, උද්ඝෝෂණ, අරගල තලාපෙලා කුඩුකරන්න උත්සාහ කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට තියෙන චෝදනාවක්. ඇයි මේ වගේ තත්ත්වයකට යොමු වන්නේ.

පිළිතුර – ඒක සම්පූර්ණ වැරැදියි. පසුගිය සතිය, මාසය අපි ප්‍රසිද්ධ නොකළත් සියලු වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරල තියෙනව. විශේෂයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැහෙන්න බැරි කිසිම වෘත්තීය සමිතියක් නෑ. ඒ ආපු හැම වෘත්තිය සමිතියක්ම ජනාධිපතිතුමාට කිව්ව දේ තමයි මේක ඔබතුමාට විරුද්ධව කරන දෙයක් නෙමෙයි කියන එක. ඒ අයට ප්‍රශ්නයක් තියෙනව. ඒ තමයි ඒ අයගෙ වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ඔවුන්ගෙන් ගිලිහෙයි කියල. මම ඒ අයට කිව්ව එහෙම නැතිවෙන්නෙ නෑ. එහෙම නැතිවෙලා ඔවුන්ට යන්න තැනක් නැති බව. මේක සාකච්ඡා මාර්ගයෙන් අවසන් විය යුතුයි. හැබැයි එහෙම සාකච්ඡාවෙන් අවසන් වියයුතු කරුණක් ආර්ථික හානියක් වශයෙන් අවසන් වෙනව නම් ඔබ කියන්නෙ නිහඬව ඉන්න කියලද? එහෙම නිහඬව ඉන්නව ඒක සමස්ත ශ්‍රී ලාකේය ජනතාවට කරන හානියක්. ඒ සඳහා රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඔය සෑම වෘත්තීය සමිති නායකයෙක්ම මාත් එක්ක මිත්‍රයි. කවුරුවත් මාත් එක්ක සතුරු නෑ, හැබැයි එතන ඉන්න කිහිප දෙනෙක් කරන දේවල් නිසා ඒ දරදඬු ක්‍රියා පාලනය කළ යුතුව තියෙනව.

ප්‍රශ්නය – ඇයි මේ දවස්වල නිතර ජූලි වර්ජකයන් මතක් කරන්නෙ. මේ නොකියා කියන්නෙ වර්ජනය කළොත් ජූලි වර්ජකයන්ට වුණ දේම වෙයි කියල ද?

පිළිතුර – නෑ, මම නම් එහෙම මතක් කරල නෑ. හැබැයි මම මෙතනදි කියන්නෙ ජූලි වර්ජකයන් ගැන මතක් කර ගැනීම වැදගත්. මොකද ඔබයි, මමයි බලාපොරොත්තු වෙනවනෙ ලංකාව සිංගප්පූරුවක් කරන්න. එහෙම කරන්න නම් ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්. හැබැයි වල්බූරු නිදහස දෙන්න බැහැ. ඔබ දකින්න කැමැති සිංගප්පූරුවක් නම් අපි සිංගප්පූරුවෙ තියෙන නීතිරීති ගේමු. නැත්නම් කොහොමද සිංගප්පූරුවක් කරන්නෙ. ඒ නිසා එක එක්කෙනාට අවශ්‍ය විදිහට අවුරුදු 75ක් පුරාවට රට විනාශ කරල තියෙනව. එක එක වෘත්තීය සමිතිවලින් ලැබිච්ච දේට වඩා නොලැබිච්ච දේ වැඩියි. විනාශ කළ දේ වැඩියි. 1971 කැරැල්ලෙන් ටි්‍රලියන ගාණක් ජාතියට අහිමිවෙලා තියෙනව. 88/89 සමයෙත් එහෙමයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගන්නෙ ඩොලර් බිලියන 2.9යි. හැබැයි වර්ජන නිසා ඩොලර් බිලියන 10ක් විතර ජාතියට අහිමි කරල. විනාශ කරල. මෙහෙම රටක් ගොඩගන්න බෑ.

ප්‍රශ්නය – මේ වෙද්දි රාජ්‍ය සේවාවන් ගණනාවක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරල තියෙනව. ඒත් වර්ජකයො එය නොතකා වර්ජනය කළා. එවැනි අය වෙනුවෙන් මොනවගේ ක්‍රියාමාර්ගයන්ද ගන්නේ…?

පිළිතුර – මම හිතන්නෙ ලංකාවෙ ගංවතුර ආවම හදිසි නීතිය දාල තියෙනව. වසංගත ආවම ඇඳිරි නීතිය දාල තියෙනව. ඒ රටේ අවශ්‍යතාවට. නීති පද්ධතියක් තියෙන්නෙ ඒවා ක්‍රියාත්මක කරන්න නීතියට නොසලකා හරින පිරිසක් ඉන්නව නම් ඒ අය නීතියට හසුකරගත යුතුයි. අද වැරැද්දක් කරන කෙනෙක් ජීවිත කාලයෙම වැරැද්දක් කරන කෙනෙක් නෙමෙයි. ඒක තමයි නීතියේ මූලධර්මය. ඒ මූලධර්මය අනුව නොයෙක් අණපනත් තියෙනව. ඒව පනවන්නෙ දෙකෝටියක් ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන්. මිලියන දෙකක් උත්සාහ කරනව දෙකෝටි විසි ලක්ෂයක් වන ජනතාවගේ බෙලි මිරිකා ඔවුන් සුරසැප විඳින්න, එහෙම නම් අපේ යුතුකම තමයි ඒ දෙකෝටි විසි ලක්ෂයක බේරා ගැනීම. යම්කිසි අවස්ථාවක නීතිය පැහැර හරිනව නම්, නීතියට අපි බය නෑ කියනව නම් එතනදි නීතිය ක්‍රියාත්මක කළ යුතුව තියෙනව.

ප්‍රශ්නය – යම් හෙයකින් නීතිය ක්‍රියාත්මක කළොත් නැවත මතුවෙන්නේ අර්බුදයක්? අපි හිතමු එහෙම නීතියට අනුව කටයුතු නොකළ පිරිස අස්කර නැවත අලුතෙන් පිරිසක් බඳවාගන්නව කියල. එතනදිත් යළිත් ඝට්ඨනයක් ඇතිවෙනව? එහෙම ගිහින් රජයේ ඉලක්කවලට යන්න පුළුවන් ද?

පිළිතුර අනිවාර්යයෙන්ම නීතියට පිටින් යන අය පාලනය කළ යුතුමයි. සිංගප්පූරුව, මැලේසියාව දියුණු වුණේ එහෙමයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ වල්බූරු නිදහස නෙමෙයි. ඒක සියලු දෙනාට ගරුකරන කටයුත්තක්. ප්‍රජාතන්ත්‍රවාදයට අගෞරව කරනව නම් එය මර්දනය කළ යුතුයි.

ප්‍රශ්නය – ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට කළ දේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයට කරන්න පුළුවන් ද?

පිළිතුර – ඊට වඩා දෙයක් එතුමා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තය හිටගෙන ඉන්නෙ ලංකාවෙ. මම අනෙක් දේශපාලනඥයන්ට ආරාධනා කරනව හිටගන්න ලංකාවෙ. විවිධ රටවල රූකඩ වෙන්න එපා.

ප්‍රශ්නය – මෙච්චර කාලයක් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දයකින් ජනාධිපති වෙන්න බැරි වුණා. ඔබ කියන්නේ එසේ වුණේ ජාත්‍යන්තර බලපෑම් නිසා කියලද?

පිළිතුර – අනිවාර්යයෙන්ම. ඒ බලවේගවලට අපි අතර තියෙන බෙදීම නිසා අපි අතට ඇතුල්වෙලා ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම හදල තිබුණ.

ප්‍රශ්නය – එසේ නම් මන්ත්‍රීතුමා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තය ජනාධිපති වුණෙ ජාත්‍යන්තර සහයෝගයෙන් ද?

පිළිතුර – ලංකාවෙ පාලනය කරපු සියලු ජනාධිතිවරුන්ට වෙනම සම්මානයක් දෙන්න ඕන. ඒ වෙන මොනවටත් නෙමෙයි, මෙපමණ ජාත්‍යන්තර බලපෑම් තියෙද්දි රට මේ විදිහට අරගෙන ගියාට. විවිධ රටවල් රූකඩ හොයනව. හැබැයි ඒ රූකඩ නිර්මාණය කළත් ඒ රූකඩත් මතක තියාගන්න ඕන ඒ රූකඩවලටත් දෙන්නෙත් ඒ උත්තරේමයි. උගතුන්ට දෙන්නෙත් ඒ උත්තරේමයි. එය දැනගෙන සියලු දේශපාලන පක්ෂ කටයුතු කළ යුතුයි.

ප්‍රශ්නය – මන්ත්‍රීතුමා අප්‍රේල් 25 දා ඡන්දය නැද්ද?

පිළිතුර – මම දන්න නීතිය වෙනස්. මම දන්න නීතිය අනුව නම් නාම යෝජනා කැඳවීමේ බලයක්වත් මැතිවරණ කොමිසමට තිබුණෙ නෑ. හැබැයි 22 සංශෝධනය අනුව මැතිවරණ කොමිසමට තිබුණෙ ‘ඉටුකළ හැක්කේය’ කියල. රාජ්‍ය සේවා කොමිසමට සහ පොලිස් කොමිසමටයි තිබුණෙ ‘ඉටුකළ යුත්තේ’ කියල. මේ වචන දෙකක් යොදන්න ඕන නෑ, එහෙම නම් ඔක්කොටම ඉටුකළ හැක්කේය දාන්න පුළුවන්. අනිත් අයටත් ඉටුකළ යුත්තේ කියල දාන්න පුළුවන්. එහෙම දාල නෑ. මම දන්න නීතිය අනුව මැතිවරණ කොමිසමට නාමයෝජනා කැඳවන්න බලයක් තිබුණද කියන ප්‍රශ්නය තියෙනව. කෙසේ හෝ නීති විරෝධී ක්‍රියාවලියන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවලියන් සිදුවන බව පේනවා.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment