ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදය සහ බුදුන් වහන්සේ !

449

වෙසක් සමය වූ කලී මෙම මිහිතලයෙහි මතු නොව මුළු විශ්වයෙහිම පහළ වූ අසමසම, අසාමාන්‍ය මහා පුරුෂෝත්තමයන් වහන්සේ ලෙස අපමණ ජන පුදට, ජන බුහුමනට වාසනා ලද බුදුන් වහන්සේගේ උපත, බුදුවීම, පිරිනිවීම යන තෙමඟුල අනුස්මරණය කෙරෙන අසිරිමත් සමයකි. සියලු ලෝ වැසි බොදු දනන්ගේ ද ජගත් පූජිත විද්වතුන්, පඬිවරුන් හා කවියන් පෙරටුව නොවියත් හුදී දනන්ගේ ද පිදුම් වැඳුම් ලත් බුදුන් වහන්සේ හා සැසඳෙන, සමව සිටින කිසිදු පණැති සත්ත්වයෙක් මේ ලෝක ධාතුවෙහි ද නොවෙති. මක්නිසාද යත් බුදුහු මානව සංහතියෙහි සියලු දුක් දොම්නස් නැසිය හැකි ඒකායන මඟක් පිරිසිදුව පෙන්වා වදාළහ. අඳුරු යුගයක් සිය මුදු කරුණා ගුණ නැණින් එකෙළි කළ බුදු මඟ අදත් ලොව විදුහුරු මග ලෙසම පෙරටම ඇදෙයි.

බුදුන් වහන්සේ එකල එනම් ක්‍රි. පූ. 6වන සියවස අග හා පස්වන සියවස පමණ කාලයෙහි ඉන්දියාවේ පහළ වූ විශිෂ්ටතම මහා පුරුෂයාණන් බව අසිරිමත් ඉන්දියාව ලියූ ලන්ඩන් සරසවියේ මහාචාර්ය ඒ. එල්. බෂාමිසූරීහු අවධාරණය කරති. සැබැවින් ම පුරාණ ඉන්දියාවම බුදුන් වහන්සේට සවන් දුන්හ. ප්‍රජා පීඩනය, මර්දනය, නිමක් නොවන තෘෂ්ණාව, කාමභෝගී ලලාසාවන් පමණක් නොව ලේ පවසින් වියරු වූ සමාජයක යථාර්ථය වෙන වෙනම පහදා දෙමින් ප්‍රඥාවේ පහන් සිල දල්වාලීමටත්, මෙත් කරුණා අමා දහරින් ලෝ සතුන් නිවා සුවපත් කිරීමටත් බුදුන් වහන්සේ කැපවූහ.

අද අප විසින් සාමාන්‍යයෙන් ලියනු ලබන සමාජ, දේශපාලන විශ්ලේෂණය මේ උතුම් බුදුගුණයත්, බුදුන් වදාළ ගිහිමඟත් ඇසුරෙන් වත්මන් සමාජ දේශපාලන හැසිරීම් පිළිබඳව විමසීමක් ලෙස ඉදිරිපත් කෙරෙන්නේ ද ඒ බුදු මහිමයට පූජාවක් ලෙස ය.

සිංහල සංස්කෘතිය, සිංහල බෞද්ධ සංස්කෘතියක් ලෙස පුනරුත්පත්තිය ලබන්නේ ද බුදු දහමින් ලද සුපෝෂණය, වර්ධනය හා සංස්කෘතික ආභාසය ද නිසාය. ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හැඳින්වීම නොඉවසන පිරිසක් ද සිටිති. එහෙත් ලංකාව බෞද්ධ රටක් බව කිසිවකුට ප්‍රතික්‍ෂේප කළ නොහැක. සිංහල බෞද්ධයන් ලෙස වෙනම අනන්‍යතාවක් තිබුණත් එය භාවිත කරන ලද පටු දේශපාලන ව්‍යාපාරවලින් එයට විවිධ සතුරෝ ද ඇතිවූහ. එහෙත් බුදුන් වහන්සේගේ සාර්ථකත්වයට හේතු වූයේ මිනිස් වර්ගයා විවිධ අයුරින් බෙදීමට හේතු කාරක වූ සියලු පටු අදහස් හා බැඳීම් බුදු සමය විසින් ප්‍රතික්‍ෂේප කරන ලද හෙයිනි. එකල ඉන්දියාවේ පැවති සමාජ අසාධාරණය, කුල සම්මතය, රාජ්‍ය සාහසිකත්වය ද බුදුහු අනුමත නොකළහ. අධිරාජ්‍ය ව්‍යාප්ත කර ගැනීමට හා ධනය ඒකරාශී කිරීමට එරෙහිව සිංහනාද කළ වීර අභිමානය බුදුන්ට හිමිකර දීමට ඉන්දීය ඉතිහාසඥයෝම රුචි වූහ. එකල සිටි සියලු ශාස්තෲවරුන්ට හෝ නොයෙක් ආගමික ගුරුවරුන්ට නොවූ ප්‍රසාදයක්, බුදුන්ට හිමි වූයේ උන්වහන්සේ වදාළ සමානත්වයේ හා සහෝදරත්වයේ මානව ධර්මතාව නිසාය. සාරධර්ම යටපත් කළ අසමාන පන්ති සමාජය දෙදරා යෑමේ ගෞරවය බුදුන් වහන්සේට හිමි විය යුතුය. වහල් ක්‍රමය, වැඩවසම් ක්‍රමය මෙන්ම ධනපති ක්‍රමය විසින් පීඩාවට පත් කරන ලද මිනිසාට අලුත් නිදහස් ජීවිතයක් යෝජනා කළේ බුදුමග විසින් බව අපගේ අදහසය. එහෙත් උන්වහන්සේ විප්ලවය පිළිබඳ දේශකයකු ලෙස මම නම් නොකරමි. එයට හේතු වන්නේ බුදුන් වහන්සේ වදාළ දුක පිළිබඳ සත්‍යයෙහි ලෞකික සීමාව ඉක්මවූ දාර්ශනික හා ආධ්‍යාත්මික ජීවයක් අන්තර්ගත වීමය. බුදු මහිමය විප්ලවවාදියකුට ලඝු කිරීම ද නොමැනවි.

ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදය සහ බුදුන් වහන්සේ !

ලෝකයේ තිබෙන භෞතික සංවර්ධනය හා නිෂ්පාදන ක්‍රියාවලිය මත පදනම් වූ සමාජ – ආර්ථික හා දේශපාලන ක්‍රියාදාමයට වඩා ඉඳුරා වෙනස් විමුක්ති මාර්ගයක් බුදුන් වහන්සේ පෙන්වා වදාළහ. ශ්‍රීමත් සර්ව පල්ලි රාධක්‍රිෂ්ණ සූරීන්ට අනුව, බුදුන් වහන්සේ තමන්ට උපතින් හිමි වූ ඉසුරුමත් මාලිගාවත් එහි විසිර තිබුණු කාමභෝගී, රසලෝලී ජීවිතය මෙන්ම බලය හා සැප සයනාත් අතහැර සනාතන විමුක්තිය සඳහා කැප වූ විමර්ශනශීලී ප්‍රතාපවත් චරිතයකි. සිදුහත් කුමර දිවිය දෙව් ලොව නොමැති සැප සම්පත්වලින් උතුරා ගියත් බාහිර සමාජ ජීවිතය කෙබඳු දැයි යන කුතුහලය සිදුහත් කුමරුන් තුළ වේගයෙන් වැඩුණි. සිදුහත් නෙත ගැටුණු සතර පෙර නිමිති හා ගිහි ගෙය හැරයෑම හෙවත් අබිනික්මන කවීන් විසින් අතිශයෝක්තියට නංවා වර්ණනා කළත් එහි හරය තුළ ගැබ් වන්නේ ගවේෂණශීලී ප්‍රබුද්ධ මනසක් තුළ නිසැකයෙන් ම සිදුවිය හැකි ප්‍රතිචාරයන් ය.

බුදුන් වහන්සේගේ ආමන්ත්‍රණය ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් යෝජනා කෙරෙන සනාථන විමුක්ති මාර්ගයක් වූයේ ද සියල්ල පිරිසිඳ දැනගැනීම නිසා ය. සමාජය තුළ උද්ගත වී තිබෙන ධනීන්ගේ ඉසුරුමත් ජීවිතවලට ඉඳුරා වෙනස් දුගියන්ගේ දුක් අඳෝනා බුදුන්ට ඇසුණි. සමාජ වෙනසට හේතු වූ සමාජ ආර්ථික දේශපාලනය හා සම්බන්ධ සෘජු මැදිහත්වීම් බුදුන් වහන්සේ නොකළ බව සමහර විද්වතුන්ගේ මතය විය. එහෙත් එකම සමාජය තුළ දෙව්ලොව හා අපාය නිර්මාණය වීමේ සැබෑ හේතු අනාවරණය කෙරෙන ලෞකික විග්‍රහයන් ද බුදු දහමෙහි දැක්වෙන බව අප සිහිතබා ගත යුතුය. සමාජය නිර්මාණය වී තිබෙන දූෂිත ප්‍රවණතා පුද්ගල පීඩාවන් පමණක් නොව පාලකයන්ගේ රුදුරු ක්‍රියාකාරකම් පිළිබඳව ද බුදුන් වහන්සේ අතැඹුලක් ලෙස හෙළි කළහ. මේ සමාජ ක්‍රමය තුළ ඇති හැකි අය, නැති බැරි අය යට කරගෙන සිටින බවත් කුලවතුන් හා කුලහීන බෙදීම් නිසා දුප්පත්කමේ පත්ලට වැටී වහල් ජීවිත ගෙවීමට පිරිසකට සිදුව ඇති බවත් බුදුහු දුටහ. ඒ සඳහා සමාජවාදය දේශනා නොකළත්, මිනිසාගේ ගෞරවය අභිමානය පිළිගත් සාරධර්ම පද්ධතියක් බුදුහු වදාළහ. අනාථයන් සුනාථ කරන අසරණයන්ට සරණ වන දුක් දොම්නස් දුරලන සමාජ ධර්මතාවලින් ඔබ්බෙහි තිබෙන සනාතන සුවය බුදුන් වහන්සේගේ අවසාන ඵලය බවට පත්ව තිබේ. ඒ සඳහා ශාසන මාමක, දාර්ශනික ප්‍රතිපදාව වෙනම පෙන්වා දුන් බුදුන් වහන්සේ යෝජනා කළේ දුක නැත කිරීමය. දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය වෙනම පැහැදිලිව දැක්වූ උන්වහන්සේ සංඝ සමාජය ආරම්භ කරමින් එය තහවුරු කළහ. භෞතික ලෝකයෙහි දුක් දොම්නස්වලට හේතු දක්වා දුකෙන් මිදෙන මාර්ගයෙහි අග්‍රඵලය වූ නිවන පරම සැපතක් බව ද බුද්ධ වචනය විය. දුකින් විදීමේ මග දාර්ශනික හා ගාම්භීර එකක් බව ද උන්වහන්සේගේ අවධාරණය විය.

විනය පිටකයේ මහාවග්ගයෙහි දැක්වෙන්නේ දුක් දොම්නස් සයුරක කිමිදෙමින් පාවෙමින් සිටි ජනතාව හා ඒ අසරණ ඉරණමෙන් ඔවුන් මුදා ගැනීමට උචිත අමරණීය මාවත පිළිබඳ ගාම්භීර නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සඳහා යෑමට පෙර උන්වහන්සේ බෝරුක මුල සත් දිනක්ම ඒ පරම විමුක්ති සුවය විඳිමින් වැඩ සිටි බවය. ධම්මචක්ක පවත්තන සූත්‍රය ඒ පරම පිවිතුරු සිංහනාදය ලොවට මුදාහල ප්‍රථම අවස්ථාව ලෙස හැඳින්විය හැකිය. මේ එයින් උපුටා ගත්තකි.

“මහණෙනි, මට මේ දුක නමැති ආර්ය සත්‍යය යැයි පෙර සිට පැවත අවුත් නොඇසූ විරූ දහම්හි නුවණැස පහළ වූයේය. විද්‍යාව පහළ වූයේය. ඥානය පහළ වූයේය. ප්‍රඥාව පහළ වූයේය. ආලෝකය පහළ වූයේය.”

මෙයින් සුපැහැදිලිව පෙන්වා දෙන්නේ දුක නමැති පීඩනය සපුරා නැති කළ හැකි මාර්ගයයි. දුක ජය ගැනීමේ නියත මඟ පෙන්වා දුන් බුදුහු එයට අදාළ ධර්ම කරුණු හා දාර්ශනික විග්‍රහයන් ජනතාවට සරලව වටහා දීමේ ධර්ම සන්නිවේදන මාර්ගය තෝරා ගත්හ. බුදුන්ට සමකාලීනව සිටි දර්ශනවාදීන්, ශාස්තෲවරුන් ආදී සියලු ආකාරයේ විමුක්තිදායකයන් ලෙස පෙනී සිටි අයට වඩා බුදුන් වදාළ මඟ ජනතා විශ්වාසයට, ගෞරවයට පාත්‍ර වූ බව පෙනේ. ඇතැම් විචාරකයන්ට අනුව ඉන්දියාවේ ප්‍රචලිතව තිබුණු බ්‍රාහ්මණවාදයට හෝ උපනිෂද් ඥාන සම්භාරයට වඩා බුද්ධ ධර්මය ඉදිරි පියවරක් විය.

බුදුන් වහන්සේගේ සමාජ, ආර්ථික හා දේශපාලන දැක්ම සම්බන්ධයෙන් අදත් වාද විවාද ඇසෙයි. බුද්ධකාලීන සමාජය තුළ තිබුණු විවිධ ගැටුම්, අර්බුද මෙන්ම පුද්ගල ජීවිතවල ඉරණම පිළිබඳව බුදුන් වහන්සේගේ විශ්ලේෂණය තුළින් අපට සමාජ ආර්ථික හා දේශපාලන කරුණු සම්බන්ධ බෞද්ධ ආකල්ප වටහා ගැනීම අසීරු නැත. ඉන්දියාවේ එකල තිබුණු පාලනය මෙන්ම ඒවායේ විනාශකාරී පීඩනය පෙන්වා දීමට බුදුහු අභීත වූහ. සරල සදාචාර මූලධර්ම නොතකන සමාජයක අනතුර දුටු උන්වහන්සේ සුළුතරය විසින් බහුතරය යටපත් කිරීම හෙළා දුටු සේක. හොරකම, ස්ත්‍රී දූෂණය, වංචාව, ඝාතනය මෙන්ම යුක්තිය පසිඳලීමේ දුබලතා උන්වහන්සේ පෙන්වා දුන්හ. උනුන් පරයා අනිසි ලෙස නැගෙන සමාජ ක්‍රමය විපතක් බව බුදුහු වදාළහ. බුදුන් වහන්සේ සංඝ සමාජය ආරම්භ කළේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත පදනම්වය. එය අති ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත පදනම් වූ ව්‍යවස්ථාවක් ලෙස පිළිගනු ලැබේ. විනය සම්මත වූයේ බහුතර ඡන්දයෙනි. ඡන්ද බලය ඉතා ප්‍රබල සාධකය බවට පත්විය. සියලු දේ පොදුව පරිහරණය කිරීම උචිත ක්‍රමය ලෙස බුදුන් වහන්සේ දුටහ. පරමාදර්ශී සංඝ සමාජයක් සඳහා විනය නීති පැනවීමට අමතරව ගිහිමඟ සකස් විය යුතු ආකාරය ද පෙන්වා දී තිබේ. රජු නැතහොත් පාලකයා සත්‍යවාදියකු විය යුතු බවත්, රජු දැහැමි පුද්ගලයකු වීම අත්‍යාවශ්‍ය බවත් බුද්ධ වචන විය. සතුට හා සහජීවනය වැඩෙන්නේ සමානාත්මතාව හා යුක්තිය ඉටුවන සමාජයක බව ද බුදුහු වදාළහ. රාජධානි පාලනය කරන ධනයෙන්, භව භෝග සම්පත්තියෙන් ආඪ්‍ය වූ රජවරු අතෘප්තිකර ලෙස තම ආශාවන්ට වහල් වෙත් නම් දුසිරිත් වඩත් නම් මිහිමත කිසිවකුට සැනසිල්ලේ වාසය කළ නොහැකි වෙතැයි බුදුහු වදාළහ.

බුදුන් වහන්සේ ධර්මිෂ්ට සමාජයක් හා චක්‍රවර්තී රජුන් පිළිබඳව දක්වන ලද අදහස් නූතන පාලකයන්ගේ චර්යාවන් සම්බන්ධයෙන් ද අතිශය වැදගත් ය. එය කිසිසේත් බෞද්ධ රාජ්‍යයක් ලෙස හැඳින්වීමට ඉක්මන් විය යුතු නැත. එහිදී උන්වහන්සේ අවධාරණය කළේ සමාජයක විපරීත බව, දූෂණය නීතියේ ආධිපත්‍ය බිඳවැටීම වැනි කරුණු බව නිසැකය. රුදුරු ලෙස ගසාකෑම්වලට ලක්වූවන්ට යුක්තිය ඉටු නොවීම සමාජ අර්බුද, ගැටුම් උත්සන්න කරන්නකි. පාලකයන්ගේ නිර්දය භාවය බුදුන්ට පෙනුණි. එදා තිබුණු යුක්තිය පසිඳලීමේ ක්‍රමය ද අන්ත දූෂිත එකකි. කහවණු සියයක් සොරා ගැනීම මෙන්ම එක් කහවණුවක් සොරකම් කිරීම ද බරපතළ සිර දඬුවම් ලැබෙන වරදක් විය. එහෙත් ධන බල හිමි අයකුට ඒ වරදට දඬුවම් නොලබා නිදහස් විය හැකි විය. එසේම එළුවකු හෝ ගවයකු සොරකම් කළ දුප්පතකුට ඒවා හිමිකරුවෝ රිසි ලෙස තැලූහ. එහෙත් ඒ වරදම සිදු කරන බලවතකුගෙන් තම එළුවා හෝ ගවයා ලබා ගැනීමට දුප්පතාට ඔහු අබියස බැගෑපත් වීමට සිදුවෙයි. පල්හොරුන්ට, අපරාධකාරයන්ට තම වැරදිවලින් නිදහස් වීමට ඇමැතිවරුන්ට අල්ලස් ලබාදීමෙන් ඉඩ ලැබුණි.

මේ තත්ත්වය අදත් නොතිබේද? දේශපාලන බලවත්හු දූෂණය, හොරකම් සහ අපරාධ පසුපස නොසිටිත් ද?. දුගියන්ට දෙන සහනාධාර ගසා නොකත් ද? මේ රට වසල අධම නීච තත්ත්වයට ඇදදැමීමේ අපරාධයට දේශපාලන අනුබල අනුග්‍රහ ලැබී නැද්ද? එහෙත් සුදු අඳින බුදුන් වඳින පන්සලට පමණක් නොව පල්ලිය, කෝවිල, දෙවොල හා විවිධ පුදබිම්වල සරමින් දුසිරිත් ආකාර බඳු ඇතැම් දේශපාලනඥයෝ අදත් සමාජ මතු මහලෙහි වැජඹෙති. බුදුන් වදාළ විවිධ සූත්‍රවල සදාචාරාත්මක සමාජයක අවශ්‍යතාව පෙන්වා දී තිබේ. චක්කවත්ති සිහනාද, කූටදන්ත වැනි සූත්‍ර ඒවා අතර ප්‍රකටය. බෞද්ධ ආර්ථික දර්ශනය හා දේශපාලනය සම්බන්ධ ප්‍රබල ආලෝක ධාරාවන් පමණක් නොව නිශ්චිත සාරධර්ම පද්ධතියක් ද ඒවායේ අඩංගු වේ. ස්වභාවික සම්පත්වලට හා පරිසරයට සිදුවන හානිය මානව ශිෂ්ටාචාරයේ විනාශයට හේතු වන ආකාරය විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමට ද බුදුහු පියවර ගත්හ. ඇඩම් ස්මිත්ගේ ධනවාදය හා කාල්මාක්ස්ගේ සමාජවාදය පිළිබඳ අදහස්වලට වසර සිය ගණනකට පෙර බුදුන් වහන්සේ ඒ සමාජ බලවේග අතැඹුලක් ලෙස විග්‍රහ කර තිබුණි. ප්‍රායෝගිකව ආර්ථික වර්ධනයක් සඳහා ඉවහල් වන මඟ පෙන්වීම් බුදුන්ගේ අවධානයට යොමු වූ බව නූතනවාදීහු පවා පිළිගනිති.

බුදුන් වහන්සේ අනිත්‍ය ගැන කළ විවරණ සමාජයෙන් පලා යෑමට කරන ලද ඒවා නොව විද්‍යානුකූලව පරිසරය, මහපොළොව ආදී වස්තූන් හි ස්වභාවය පසක් කර ගත් දැනුමේ පලයකි. මහා සුදස්සන, සත්ත සූරියග්ගමන වැනි සූත්‍ර එයට නිදසුන් ය. භෞතික ලෝකයේ විනාශයට නියත බව බුදුහු දුටහ. භෞතික හා ආධ්‍යාත්මික යන දෙආකාරයෙන්ම සාර්ථකත්වය සංවර්ධනය බව බුදුන්ගේ අවධාරණයයි. අනේපිඬු සිටුවරයාට දේශනා කළ අනණ සූත්‍රය කාමභෝගී ගිහියන්ට අදාළ වූවකි. එබඳු සූත්‍ර රැසකි.

මෙයින් තහවුරු වන්නේ බුදුන්ගේ සමාජ – දේශපාලන විග්‍රහ නොතකා හැරිය නොහැකි බවය. මහාචාර්ය ඩබ්ලිව්. ඇස්. කරුණාරත්න සූරීන් පවසන්නේ නිදහසේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ අගය මත පදනම්ව පිහිට වු භික්‍ෂු සමාජයට අදාළව වූ මූලධර්ම අනුගමනය කරමින් ගිහියන්ට මෙන්ම ආර්ථික හා දේශපාලනයට ද ආලෝකයක් ලබාගත හැකි බවය. පුද්ගල අභිවාදනය හා නායකත්වයක කිරුළ තමන් වහන්සේට නොරිසි, නොපහත් දේවල් ලෙස බුදුහු ආනන්ද තෙරුන් අමතා ප්‍රකාශ කළහ. ආඥාදායකත්වය වෙනුවට සංවාදශීලී ගුරුවරයකු ලෙස උන්වහන්සේ ක්‍රියා කළහ. සමාජයක ප්‍රගතියට වඩා අගතියට හේතු වන මූල්‍ය තෘෂ්ණාවෙන් වැඩුණු පුද්ගලයන් ගොදුරුව සිටින ධනකාමය බව බුදුහු වදාළහ. පෞද්ගලික දේපොළ ක්‍රමය එයට හේතු වන බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

දිනක් බුදුන් වහන්සේ ආනන්ද හිමියන් සමඟ වඩින විට අතරමඟ වැටී තිබුණු කාසිපොදියක් දැක “ආනන්ද සර්පයෙක් දුටුවෙහිදැයි” ප්‍රශ්න කළ බව සඳහන් ප්‍රකට සිදුවීමක් බෞද්ධයෝ දනිති. එයට පිළිතුරු දුන් අනඳ හිමියන් පවසා ඇත්තේ “එසේය ස්වාමීනි, විෂඝෝර සර්ප රාජයෙක් දිටිමි” යනුවෙනි. තමන්ට අයිති නොවන ඒ කාසි පොදිය ගත් පුද්ගලයාට සොරකු ලෙස දඬුවම් විඳීමට ද සිදුව ඇත. මෙයින් තහවුරු වන්නේ ධනය ලුහුබැඳ යෑමේ විපත මෙන්ම එහි විපාක අනිවාර්ය බවය. එහෙත් පුදුමයකට මෙන් වසර සිය දහස් ගණනකට පෙර සිදුවූ සොරකම්, මං පැහැරීම්, අනීති ලෙස ධනය රැස් කිරීම් අදත් සිදුවීමය. ලාංකික සමාජය හෘදය සාක්‍ෂියක් නැත්තන්ගේ සමාජයක් බවට පත්ව තිබේ.

අපගේ මෙම කුඩා විග්‍රහය තුළින් වුවද අප අවධාරණය කළේ නූතන සමාජ වටිනාකම් ලෙස ඇගැයීමට ලක් වූ බොහෝ දේ බුදුසමය තුළ අන්තර්ගත බවය. ප්‍රජාතන්ත්‍රවාදය හා ආහාර සුරක්‍ෂිතතාව, සමානාත්මතාව මනුෂ්‍යත්වයෙහි අගය ඇතුළු බොහෝ දේවල් එදා බුදුන් වහන්සේගේ ලෞකික සමාජ විග්‍රහයන්ට ඇතුළත් වූ ඒවාමය. රාජාණ්ඩු ක්‍රමයේ සිට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් දක්වා පැමිණි ලංකාවේ සිදු වූ වෙනස්කම් ද බොහෝය. එය දීර්ඝ ආවර්ජනයකින් කළ යුක්තකි. එහෙත් නිදහසින් පසු ගෙවී ගිය 75 වසරක ආර්ථික දේශපාලන ශේෂ පත්‍රය ගැන අපට ආඩම්බර විය නොහැකි බව පමණක් කියා තබමු.

කෙසේ හෝ ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් විය යුතුය යන අන්තවාදයට අපට එකඟ විය නොහැකි වුවද, නූතන සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයට බුදු සමයෙන් ප්‍රබල ආලෝකයක් ලද හැකි බව පැවසීමට අපි බිය නොවෙමු. 1970 න් පසු වර්තමානය තෙක් සිදු වූ බොහෝ දේශපාලන ක්‍රියාකාරකම් රටට සාධනීය වෙනසක් සිදු නොකළ බව ද කිව යුතුය. 1978 ධර්මිෂ්ඨ රජයක් නමැති ව්‍යාජ කඩතුරාවට මුවාවී සිදුකළ සියලු විනාශය තවත් සිව් දසකයකටත් වැඩි කලක් ගත වුවද නැවැත්වීමට අපේ පාලකයන්ට නොහැකි විය. ජාතික සංස්කෘතික හැඳුනුම්පතක් නැති සිංහලයන් මෙන්ම සුළු ජාතීන් ද සිටින බව රහසක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය මියැදෙමින් ඇතැයි චෝදනාවක් ද තිබේ. නිදහස වනසන ප්‍රතිත්‍රස්ත පනත ආපසු ගියත් එය වෙනත් ආවරණයකින් දේශපාලන වෙළෙඳපොළට එනු ඇත. මාධ්‍ය නියාමන පනතේ අගය තවම ප්‍රබලව නොඇසෙයි. අපේ රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියූ පරිදිම “බුදුබණ ඇසුවත් නිරන්තරේ – ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේය”

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment