ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න…! ජාත්‍යන්තරයෙන් ආණ්ඩුවට බලපෑම්…

311

ආණ්ඩුවේ ඉහළ පෙළේ දේශපාලනඥයන්ට අද පුංචි ඡන්දය යනු විහිළුවක් තරමට නොවටිනා කාරණයක් වී තිබේ. ආණ්ඩුවේ රට කරවන මැතිඋතුමෝ සිතන්නේ මේ වෙලාවේ රටේ මහජන මතය පිළිබිඹු වන ලෙස ඡන්දයක් පැවැත්වීම රට අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළට මහත් බාධාවක් කියාය.

ආණ්ඩුවේ එම මතයට සාපේක්ෂව වගකිවයුතු රාජ්‍ය අංශ කීපයක් ද ඡන්දය පැවැත්වීමට මේ වෙලාවේ තිබෙන දුෂ්කරතා ඉස්මතු කරමින් බරපතළ ප්‍රකාශයන් කිහිපයක් ද නිකුත් කොට තිබේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙයින් එක් අංශයක් නියෝජනය කරයි. රාජ්‍ය මුද්‍රණාලයේ අධිපතිනිය ද තවත් වැදගත් අංශයක් නියෝජනය කරයි. ඡන්දය සඳහා දෙන්නට මුදල් නැති බව එක් අයෙක් කියා ඇති අතර මුදල් නොමැති නම් ඡන්ද කාඩ් අච්චු ගැසීම වැනි කටයුතු කිසිවක් “දෙන්නම් කාසියට” කළ නොහැකි බව මුද්‍රණාලයාධිපතිනිය ද පවසා අවසන්ය.

අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද වෙනම චෝදනා පත්‍රයක් එල්ල වී ඇති බව පැහැදිලිය. අද වන විට මෙකී කාරණා මේ රටේ අධිකරණය ඉදිරියේ විභාග වන මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ප්‍රශ්න කෙරෙන නඩු කටයුතු බව පැහැදිලිය.

මේ වෙලාවේ නිසැකයෙන්ම රජය සිටින්නේ ලොකු උභතෝකෝටිකයක ය. එක් පැත්තකින් රට ගොඩ ගැනීමේ අභියෝගය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සතු වගකීමක් ය. ඒ හා සමානවම රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමද රජය සතු වගකීමක් ය. එහෙත් ජනාධිපතිවරයාගේ වැඩි අවධානය යොමුව ඇත්තේ දෙවන කාරණාවට වඩා පළමුවන කාරණාව කෙරෙහිය. පළමු කාරණාවත් දෙවන කාරණාවත් ප්‍රතිලෝම සම්බන්ධයක් ඇති කාරණා දෙකකැයි ඔහු සිතනවා ඇත.

ජනාධිපතිවරයා සහ රජය කෙසේ සිතුවත් රටේ පොදු විපක්ෂය නම් සිටින්නේ ඊට වඩා වෙනස් ආස්ථානයක ය. විපක්ෂයේ සියලුම පක්ෂ පළාත් පාලන මැතිවරණයකට සූදානම්ය. විශේෂයෙන්ම විපක්ෂයේ සිටින ප්‍රබලම බලවේගය වන සමගි ජන බලවේගය මෙන්ම විපක්ෂයේ සිටින දෙවන බලවේගය වන ජාතික ජන බලවේගය අන් කවරදාකවත් නොතිබූ උනන්දුවකින් පළාත් පාලන මැතිවරණයට සූදානම් ව සිටිති. ඒ සඳහා දෙගොල්ලන් අතර වන කා කොටා ගැනිල්ල හැරුණවිට මැතිවරණය සඳහා වන සූදානම ප්‍රබලය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස් ජාතික පෙරමුණ සෙසු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ගණනාවක්ම මේ වන විට පුංචි ඡන්දය සඳහා සූදානමින් සිටියහ.

● විපක්ෂය එක්කරන්න
ඩලස්ලා මෙහෙයුමක

විපක්ෂයේ මේ පක්ෂ ඡන්දය ජයග්‍රහණය සඳහා වෙන වෙනම තම තමන්ගේ ප්‍රචාරක සටන් ගෙන ගිය ද ආණ්ඩුවට එරෙහිව ඡන්දය ලබා ගැනීමේ සටනේ දී එකට එකතු වී කටයුතු කළ යුතු බව කණ්ඩායමක් ද මේ අතර සිටියහ. ඒ වූ කලී නිදහස් ජාතික සන්ධානයේ ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසයි. ඔවුන් පසුගිය සතියේ මේ සඳහා අපූරු උපායක් කල්පනා කළහ.

“ඡන්දයක් ඉල්ලලා අපි කොච්චර වෙන වෙනම එළියේ කෑගැහුවත් වැඩක් නෑ. රටට දැනෙන්නේ නෑ. පක්ෂ හැටියට ඉන්න අපි ඔක්කොම එකට එකතු වෙලා මැතිවරණය වෙනුවෙන් හඬක් නඟන කොට තමයි ඒක ජනතාව අතරට යන්නේ… අමාරු වුණත් අපි ඒක තමයි මුලින්ම කරන්න ඕන.”

ඒ අනුව නිදහස් ජාතික පෙරමුණ පසුගියදා මහාචාර්ය ජී එල් පීරිස් හා ඩලස් අලහප්පෙරුමගේ අත්සනින් යුතුව විපක්ෂයේ පක්ෂ 28කට ලියමනක් යවනු ලැබූහ. ප්‍රජාතන්ත්‍රවාදය සුරකින මෙන් ආණ්ඩුවට බල කරමින් පුංචි ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් මේ එකමුතුව සිදු කළ යුතු බව යෝජනා කර තිබිණි.

ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටුගාමී පක්ෂය සහ අනෙකුත් ලොකු කුඩා දෙමළ මුස්ලිම් පක්ෂවල සහයෝගය ද මේ සඳහා නොඅඩුව ලැබෙන බව පසුගිය සතියේ ලැබුණු ප්‍රතිචාරවලින් තහවුරු විය.

ඒ වැඩපිළිවෙළේ තවත් ප්‍රතිඵලයක් ලෙස පසුගිය අඟහරුවාදා විපක්ෂයේ මේ සියලුම පක්ෂවල නියෝජිතයෝ කථානායක මහින්ද යාපා අබේවර්ධන හමුවීමට පාර්ලිමේන්තුවට ගියහ.

කෙසේ වෙතත් මේ හමුවට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයකු හෝ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයකු පැමිණ සිටියේ නැත. සමගි ජන බලවේගය වෙනුවෙන් එහි නායකයා සහ ලක්ෂ්මන් කිරිඇල්ල ද පැමිණ සිටියහ.

“පළාත් පාලන මැතිවරණය පවත්වන්න මුදල් නෑ කියන එක වැරදියි. මොකද අපි පහුගිය අයවැයේ දී පාර්ලිමේන්තුවෙන් පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කළා. අපි කියන්නේ ඒ වෙන් කළ මුදල කොහෙද ගියේ. පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන් කරලා තියෙද්දී මැතිවරණෙට මුදල් නෑ කියලා බොරුව කියන්න බෑ… කථානායකතුමාට වගකීමක් තියෙනවා මේ උත්තරීතර ආයතනයෙන් වෙන් කරලා දීපු මුදලට මොකද වුණේ කියලා හොයලා බලන්න…” විපක්ෂයේ නියෝජිතයෝ තර්ක කරන්නට වූහ. කථානායකවරයා එහිදී විපිළිසර විය.

“ඔබතුමාට පුළුවන් මේ වෙලාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්ව පාර්ලිමේන්තුවට ගෙනල්ලා ප්‍රශ්න කරන්න. කෝ අයවැයෙන් වෙන්කරපු මුදල් කියලා අහන්න. කරුණාකර එතුමාව ගෙන්වන්න.”

“අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් එහෙම ගෙන්නලා ප්‍රශ්න කරන්න මට බලයක් නෑ.”

“බලයක් නෑ කියන එක වැරදියි. අපි තමයි ආණ්ඩුවට මුදල් වෙන් කරන්නේ. ඒ මුදල්වලට මොනවද වුණේ කියලා අහන්න පාර්ලිමේන්තුවට අයිතියක් තියෙනවා”.

“කථානායකවරයා වැඩ කරන්නේ පක්ෂ නායක කමිටුවෙන් ගන්න තීන්දු තීරණවලට අනුව…”

“එහෙම නම් වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවලා මේ ගැන යෝජනාවක් ගෙනත් තීන්දුවක් ගන්න.”

ඒ අනුව කථානායකවරයා කිව්වේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා මේ පිළිබඳව තීන්දුවක් ගැනීමට තමන් කටයුතු කරන බවකි.

මේ පැවැති රැස්වීම පිළිබඳ ආරංචිය රටේ පැතිර යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු මේ පිළිබඳ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගගෙන් විමසන්නට වූහ..

මේ කතාව ගැන ප්‍රසන්න කථානායකගෙන් විමසන විට ඔහු සිදු වූ සිද්ධිය ප්‍රසන්නට විස්තර කළේය..

“මේ ගැන අපටත් අදහස් දක්වන්න ඕන..” ප්‍රසන්න කීවේය. අනතුරුව ඇමැති ප්‍රසන්න අගමැති දිනේෂ් ගුණවර්ධන ඇමතුවේ කථානායකවරයාගේ ඉල්ලීම අනුවය.

“ඔව්… අපිත් කථානායකතුමා හම්බවෙලා මේ ගැන කතා කරමු.” අගමැතිවරයාද එකඟ විය.

ඒ අනුව ඇමැති ප්‍රසන්න ආණ්ඩුවේ සියලුම පක්ෂ නායකයන්ට පුද්ගලිකවම කතා කරමින් අදාළ සාකච්ඡාව පිළිබඳව දැනුම් දුන්නේය.

පසුදා (01) දහවල් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලුම පක්ෂ නායකයෝ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණ ගැසී විපක්ෂයේ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කළහ.

එහිදී අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ පක්ෂ නායකයෝ කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මෙවර අයවැයෙන් වෙන්වූ මුදල් පළාත් පාලන මැතිවරණයට ලබාදෙන ලෙසට විපක්ෂය කළ ඉල්ලීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කටයුතු කරන ලෙසයි.

මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්දා, මහින්ද අමරවීර, කංචන විජේසේකර, ටිරාන් අලස්, නසීර් අහමඩ්, රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, වජිර අබේවර්ධන, එස්.එම්.එම්. මුෂාරෆ්, අලි සබ්රි රහීම්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, සී.බී. රත්නායක, ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

“මැතිවරණ කොමිසමෙන් මට ලියුමක් එවල තිබුණා. මැතිවරණයට මුදල් දෙන්න කියල පාර්ලිමේන්තුවට බලකරන්න මට බැහැ. හැබැයි ඉල්ලීමක් කරන්න පුළුවන් කියල” කථානායකවරයා කීය.

“අපි මෙතනදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කටයුතු කරමු” ඇමැති නිමල් සිරිපාල ද සිල්වා කටහඬ අවදි කළේය.

“පාර්ලිමේන්තුව කැඳවන්න කියල විපක්ෂය ඔබතුමාගෙන් ඉල්ලීමක් කරල තිබුණා?” වජිර ඇසීය.

“ඔව්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා පාර්ලිමේන්තුවට කැඳවන්න කිව්වා. පාර්ලිමේන්තුව කැඳවන්න කියලත් මගෙන් ඉල්ලීමක් කළා. ඒ දෙකම කරන්න මට බලයක් නැහැනේ.” කථානායකවරයා පිළිතුරු දුන්නේය.

“ඔබතුමාට පුළුවන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් මේ ගැන උපදෙස් ගන්න.. ඔය වගේ දේවල් ගැන මොකද කරන්නේ කියලා විමසන්න පුළුවන් හොඳම තැනයි ඒක..” ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්හ.

මෙහිදී මුදල් කමිටු සභාපති ධුරයෙන් මයන්ත දිසානායක ඉල්ලා අස්වීම ගැනද පක්ෂ නායකයෝ අදහස් දැක්වූහ.

“මයන්ත ඉල්ලා අස්වෙලා තියෙන්නේ තර්ජන නිසා. මේක මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කිරීමක්. මේවට ඉඩ දෙන්න බැහැ. දැන් හර්ෂ පත්වෙලා එයත් අයින් වුණොත් මොකද කරන්නෙ.” මහින්ද අමරවීර ප්‍රශ්න කළේය.

“ඔව් අපේ අයත් ඒක දැකල තිබුණා” මෙතෙක් වෙලා නිහඬව සිටි ඇමැති ප්‍රසන්න හඬ අවදි කළේය.

“ඒක මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් නම් කථානායකතුමාට පැමිණිල්ලක් කරමු. ඊට පස්සේ ඒ ගැන කථානායකතුමාට හොයල බලන්න පුළුවන්. ඇමැති නිමල් සිරිපාල ද සිල්වා කීය.

“මේක අපිට අයිති තනතුරක් කියල විපක්ෂය පාර්ලිමේන්තුවේදී ඩෙඟා නටාවි” ඒ මහින්ද අමරවීරය.

“පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව කියන්නේ ඉතාම වැදගත් තනතුරක්. ඒ නිසා සෙල්ලම් කරන්න දෙන්න බැහැ.” ඇමැති ප්‍රසන්න රණතුංග කීවේ තිර හඬිනි.

● කාරක සභාවට ආ
පිටස්තරයෝ කවුද..?

කෙසේ වෙතත් ඇති වී තිබෙන තත්ත්වයට පිළියම් සෙවීමට කථානායකවරයාට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වහාම රැස් කරන්නට සිදුවිය. මෙම කාරක සභාවට ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයෙත් පත්කරන ලද මන්ත්‍රීවරු අයත් වූහ. විපක්ෂ නායකවරයාද එහි නිල සභිකයකු විය. මේ අවස්ථාවේ කමිටු සාමාජිකයන් නොවන දෙදෙනකු මෙම රැස්වීමට පැමිණ සිටීම ගැන පොඩි කසුකුසුවක් ඇති විය.

ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයෝ මේ පිළිබඳ කථානායකවරයාට පැමිණිලි කරන්නට වූහ. කමිටු සාමාජිකයන් නොවන දෙදෙනා වූයේ මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් ය.

“මේ කමිටුවේ සාමාජිකත්වය දරන්නේ අනුර කුමාර දිසානායක මැතිතුමා. එතුමාට අද ඉන්න විදියක් නෑ. එතුමා නියෝජනය කරන්න තමයි මම ආවේ….” විජිත පැහැදිලි කළේය.

“විපක්ෂය නියෝජනය කරන්න අපි තලතා මන්ත්‍රීතුමිය තමයි දාලා තිබුණේ. එතුමියගේ නම ඉවත් කරලා මම ජී. එල්. පීරිස් මැතිතුමාගේ නම යෝජනා කළා…. සජිත් ජී. එල්. ගේ පැමිණීම ගැන හේතු කියන්නට විය. එහෙත් ඊට කරුණු පැහැදිලි කරමින් සාගර කාරියවසම් නීතිමය තත්ත්වය ගැන මෙසේ කීවේය.

“කථානායකතුමනි… මේ නම් දෙක ඔබතුමා පාර්ලිමේන්තුවට දන්වා අනුමැතිය අරං නෑ…. එහෙම නම් නීති විරෝධීයි. මේ තත්ත්වය පූර්වාදර්ශයට අරගෙන අනිත් කමිටුවලටත් මේ විදියට නියෝජිතයෝ එන්න පටන් ගනියි…

“මේ කමිටුවට හිලව්වට නියෝජිතයෝ එවන්න බෑ” ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රශ්න කරන්නට වූහ.

කවුරුවත් මේක පූර්වාදර්ශයක් කර කරගන්න එපා. අදට එතුමන්ලාට සහභාගි වන්න ඉඩ දෙමු…” කථානායක කීවේය.

“ප්‍රශ්නය ඒ තරම් දුරදිග ගෙනයන්න ඕනෙ නැහැ… අපි කියන්නේ මෙච්චරයි. 2023 වසරේ පළාත් පාලන මැතිවරණය සඳහා නිශ්චිත මුදලක් අපි පහුගිය අයවැයේදී පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන් කළා. කරුණාකර එම මුදල මැතිවරණ කොමිසමට ලබාදෙන්න. මෙහෙම ලබාදෙන්න බැරිකමක් කවුරු හරි නිලධාරියකුට තියෙනවා නම් ඒ නිලධාරියා බැහැ කියන්නේ ඇයි කියල පාර්ලිමේන්තුවට කැඳවලා විමසන්න…. එච්චරයිනේ අපි කියන්නේ” සජිත් පැහැදිලි කළේය.

මේ වෙලාවේ රෝහිත අබේගුණවර්ධන ප්‍රශ්නයක් මතු කළේය.

“ අයවැයෙන් මැතිවරණයට මුදල් අනුමත කළා කියලා ඔබතුමා කොහොමද කියන්නේ… ඔබතුමාලා අනුමත කළේ නෑ. විපක්ෂය හැටියට ඔබ ඔබතුමාලා අයවැයට විරුද්ධව ඡන්දය දීපු අය.” රෝහිත හිටි හැටියේම මතුකළ තර්කයට විපක්ෂ නායක ද අන්දමන්ද වී මොහොතක් ඔහු දෙස බලා සිටියේය.

ගරු කථානායකතුමනි…. මේ අනුව පළාත් පාලන ඡන්දය කල් දාලා තියෙනවා. ඒක වැරදියි. අපට මේ ඡන්දය පවත්වන්න අවශ්‍යයි. එහෙම නම් මේ ගැන කතා කරන්න අපිට විවාදයක් දෙන්න….” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේය.

“අපිටත් ඕන මේ ඡන්දය තියන්න. අපිත් එකඟයි ඒ වෙනුවෙන් විවාදයක් කරන්න….” ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු ද ඊට කැමැත්ත පළ කළේය. ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා හා සිකුරාදා දවස් දෙක ඡන්දය කල් දැමීම වෙනුවෙන් විවාදයක් පවත්වන්නට සියල්ලෝම එකඟත්වය තුළට පැමිණියහ.

“විපක්ෂ නායකතුමා මේ ආණ්ඩුව ඡන්ද කල් දැම්මා කියනවා… ඒ වුණාට එතුමාට මතක නෑ එතුමාගේ ආණ්ඩුව තමයි ඡන්ද කල් දාන්නේ… එයාලා එදා අත උස්සලා පළාත් සභා ඡන්දෙ කල් දැම්මා. අදටත් පළාත් සභා ඡන්දය අතුරුදන්…

“නෑ නෑ.. එදා පළාත් සභා කල් දැමීම නීත්‍යානුකූලවයි කළේ..” මහාචාර්ය ජී. එල්. පීරිස් කීවේය.

ජී. එල්. ගේ එම උත්තරය නිසා බොහෝ දෙනකුට හිනා ගියහ….. ඉස්සර එතුමා ඔය ගැන කිව්වේ එක කතාවක්… දැන් අද වෙන කතාවක් කියනවා.. කලින් කලට පලින් පලේ කියන්නේ ඕවට තමයි” කියමින් මන්ත්‍රීවරු සිනහවෙන්නට පටන් ගත්හ.

● වර්ජන ජරමර අස්සේ
ආර්ථිකයේ වෙනසක්…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට පසුගිය සතිය තීරණාත්මක සතියක් විය. පසුගිය සඳුදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගත්තේ මේ රටේ ආර්ථිකය සම්බන්ධවයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් අවශ්‍ය වුවත් ඒ සඳහා ඇති තරම් ප්‍රතිපාදන වෙන්කිරීමට තිබෙන නොහැකියාව ගැන රනිල් නිතරම කතා කළේය. ඒත් ඔහුගේ උත්තරය පිළිගන්නට මේ රටේ විපක්ෂයේ දේශපාලනඥයෝ හා විවිධ වෘත්තීයවේදීන් අකැමැති වූයේ මේ ආණ්ඩුවේ ම වෙනත් විවිධ වියදම් නිසාය…

පසුගිය දිනක රූපවාහිනී නාලිකාවක සංවාදයකට සහභාගි වූ ඩලස් අලහප්පෙරුම රනිල්ගේ මෙවන් අමතර වියදම් ගැන කතා රැසක් කීවේය.

“මුදල් නැත්තං කොහොමද ලොකු මුදලක් වියදම් කරල දළදා පෙරහැර පවත්වනව වගේ ජනරජ පෙරහැර කියලා එකක් පැවැත්වුවේ. එතකොට නිදහස් උත්සවය පැවැත්වුණේ…” එවැනි උදාහරණ රැසක් ඔහු සිය කතාවට ගත්තේය.

නිසි කලට වේලාවට මේ ඡන්දය පවත්වන්නේ නැතත් ඡන්දය කල් දමා අත් බැඳ බලා සිටින්නට දැන් ජනාධිපතිවරයාට නොහැකි බව ජාත්‍යන්තරව සිදු වෙන යම් යම් ගනුදෙනු වලදී හා අදහස් දැක්වීම් වලදී පැහැදිලි වී හමාරය. ඇමරිකාව පමණක් නොව, ජාත්‍යන්තරයෙන් ලංකාවට උදව් පදව් ලබා දීමට මැදිහත් වී සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා දැන් මේ වන විට අපේ ආණ්ඩුවට අනතුරු අඟවා ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙසයි. ඒ අනුව ආණ්ඩුවට හිතුමතේ ඡන්දය කල් දමන්නට බැරි බව විපක්ෂය පෙන්වාදෙයි….

● දයාසිරිව යවන්න
මෛත්‍රීට යෝජනාවක්…

මේ අතර පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබූ අර්බුද තව තවත් දරුණු වන තත්ත්වයක් උදාවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන් දරන ලද තනතුරු වලින් ඉවත් කළේ යැයි කියමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අධිකරණයේ ගොනු කර තිබූ නඩුවට මේ සතියේ තීන්දුවක් ලැබිණි. ඔහුගේ ඉවත් කිරීම් ද්වේශ සහගත බවත් වැරදි බවත් තීන්දු කළ අධිකරණය ඔහුට ඒවා යළි ලබා දෙන මෙන් ආඥාවක් නිකුත් කළේය…

අනිත් තීන්දුව ලැබූ දිනයේ රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු අටදෙනෙක් මහින්ද අමරවීරගේ නිවසට එක් රැස්වී නිමල් සිරිපාල ද සිල්වා සමඟ සව්දිය පුරන්න ට වූහ.

“අපරාදේ… නිමල් අයියත් එක්ක අපිත් නඩු දමන්නයි තිබුණේ. එහෙම නම් ඉතින් අපිටත් ඒ තීන්දුව ම එනවා…”

“දැනටමත් ඕගොල්ල පරක්කු නෑ. දැන් වුණත් ඔයාලට පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිතුවක්කාරීව ගනිපු ඒ තීන්දුවට එරෙහිව උසාවි යන්න. නිමල් සිරිපාලට දීපු තීන්දුව පූර්වාදර්ශයක් හැටියට තියන නිසා ඔව් ගොල්ලන්ටත් ඒ තීන්දුව ම ලැබෙනවා…” එතැන සිටි නීතිය පිළිබඳ දැන උගත් ජ්‍යෙෂ්ඨයෙක් විස්තරයක් කළේය.

මෙම සාකච්ඡාවෙන් පසුව ඉතිරි මන්ත්‍රීවරු නම දෙනා ඉතා රහසිගතව තීන්දුවක් ගත්හ. ඒ තීන්දුවට අනුව පසුවදා උදේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවන්නට විශේෂ නියෝජිතයන් කිහිප දෙනෙක් පැමිණ සිටියහ.

“නිමල් සිරිපාල ඇමැතිතුමාට දීපු තීන්දුව ප්‍රකාරව ගත්තාම අපි නම දෙනාටත් ඒ වගේම තීන්දුවක් ගන්න දැන් ඉඩකඩ තියෙනවා. හැබැයි අපි නඩු දාන්නෙ නෑ. අපට නැවත අපි හිටපු පක්ෂයට එන්න පුළුවන්. අපිට අපේ තිබුණු තනතුරු ඕන. ඒ විතරක් නෙවෙයි අපිව අයින් කරන්න කියලා යෝජනාවක් ඔබතුමාට ගෙනල්ලා ඔබතුමාව අමාරුවෙ දැම්මෙ දයාසිරි ජයසේකර. දයාසිරිව ඉවත් කරන්නත් ඕන….”

මෙම යෝජනාව හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කරකියාගත හැකි දෙයක් නොවීය. ඔහු නිහඬව කල්පනා කරමින් සිටියේය.

මේ හිතුවක්කාර අදහසෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරයේ වෙනසක් සිදුවෙතැයි කියා ආරංචියක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල පැතිර යන්නට විය. සමාජ මාධ්‍ය වලින් කිව්වේ එම ලේකම්කම මහාචාර්යවරයකුට ලැබෙන බවයි.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මැති ඇමැතිවරු පිරිසක් හා පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ වූ සාකච්ඡා තවදුරටත් ඇදී ගියේය. එම සාකච්ඡාවලට අනුව තවත් කරුණක් හෙළිදරව් විය.

මේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර විදෙස්ගතවී සිටියේය. එබැවින් ඔහුට විරුද්ධව පක්ෂය තුළ වුවත් ක්‍රියාකාරකම් බහුලව තිබුණි. මෛත්‍රිපාල සිරිසේන සමග මන්ත්‍රීවරු පැවැත්වූ අවසන් සාකච්ඡාවට අනුව දයාසිරිගෙන් ඉවත් කළත් ඒ තනතුර මෛත්‍රීට කැමති කෙනකුට දෙන්නට නොහැකි විය. මන්ත්‍රීවරුන්ගේ යෝජනාව අනුව එම තනතුර දිය හැක්කේ මන්ත්‍රීවරුන් විසින් යෝජනා කරන පුද්ගලයෙකුට ය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වීමේ සිහිනය නැවත වතාවක් මහාචාර්යවරයා වෙතින් ගිලිහී ගිය බව වාර්තා විය. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තිලංග සුමතිපාල අතර ඇති සුහදතාව ද පලුදු ව තිබිණි. තිලංග සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩ කටයුතුවලට ද සම්බන්ධ නොවන තත්ත්වයක ය.

● බෙල්ල බේරගත් හැටි
මහින්දට මතක් වෙලා…

පසුගිය බ්‍රහස්පතින්දාට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ උපන්දිනය යෙදී තිබිණි. එදින ඔහු උදෙන්ම විහාරස්ථාන කීපයකට ගියේය. ඒ අතර එක් තැනක් වූයේ ඇල්ලේ ගුණවංශ හිමියන් වැඩ වාසය කරන බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයයි.

මේ අතරතුර හිටපු ජනාධිපති හා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් පසුගිය සතියේ විශේෂ උත්සවයක් සඳහා මහනුවර මල්වතු විහාරය බලා පිටත්ව ගොස් සිටියේය. උත්සවය පැවැත්වුණේ පුහුණු දොළොස්දහස් රටේ ප්‍රධාන සංඝනායක පදවිය පල්ලේගම වංගිස හිමිපාණන්ට ප්‍රදානය කිරීම නිමිත්තෙනි. ඊට පෙර උන්වහන්සේ දකුණු පළාත් පිරිවෙන් අධ්‍යාපනයේ ද ලොකු තනතුරක් හොබවමින් දකුණු පළාතට ලොකු සේවාවක් කරමින් සිටියහ.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ සුමංගල හිමියන්ගේ සහ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මැතිතුමා සහභාගි වූහ…

උත්සව සභාව සඳහා ප්‍රධාන අමුත්තන් දෙදෙනාගෙන් කෙනෙක් කතාවක් කළයුතු විය.

“මම ඉතින් මේවයි ඕන තරම් කතා කරලා තියෙනවා… අජිත් කතා කරන එක තමයි හොඳ…” මහින්ද නිහතමානීව යෝජනා කළේය… ඒ අනුව නියෝජ්‍ය කථානායකවරයා කරනු ලැබූ කතාවේදී ඉතා අපූරු මතකයක් අවදි කරමින් මෙසේ කීවේය…

“දෙදහ වසරේ දී මල්වතු විහාරය මගින් පිරිනමන ශ්‍රී රෝහණ ජනරංජන සම්මානය අපේ රුහුණු මාගම්පත්තුවේ නායකයෙකු වන මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබාගන්න යෝජනාවක් අරගෙන මගේ තාත්තා එස්. රාජපක්ෂ මැතිතුමා ආපු හැටි මට මතක් වෙනවා. එතුමයි ගාමිණී සෝමචන්ද්‍ර මහත්තයයි ඒ යෝජනාව ගෙනල්ලා බාර දුන්නේ වත්මන් අනුනායක ධුරන්දර නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේට. උන්වහන්සේ එදා මේ උත්තරීතර සංඝ සභාවේ ලේඛකාධිකාරී තනතුරු හෙබවූවා…

එදා ඒ යෝජනාව භාර දෙනකොට අපි අනුනායක හාමුදුරුවෝ එදා අපූරු කතාවක් කියලා තියෙනවා.

“කොහොමද ධීවර අමාත්‍යවරයෙකුට මේ වගේ තනතුරක් දෙන්නෙ…”

උත්සව සභාව අවසානයේ නියංගොඩ විජිතසිරි හිමියන් මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග කතාබහ කරමින් මෙසේ කීහ…

“අපි බැලුවේ චන්ද්‍රිකා මැතිනියගෙන් මේ තනතුර හින්දාවත් ධීවර ඇමැතිකමට වඩා ඉහළ යමක් ලබා ගන්න පුළුවන්ද කියලා…”

“එයාගෙන් ධීවර ඇමැතිකම නෙවෙයි අපේ හාමුදුරුවනේ… එදා මෙතුමා බෙල්ල බේරාගෙන හිටපු එකක් ලොකු දෙයක්… අජිත්, මහින්ද මහත්මා වෙනුවෙන් එසේ කියන විට එතන සිටි හැමෝටම අතීතය මතක් වී සිනහව නවතා ගන්නට නොහැකි වූහ…

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment