ප්‍රජාතන්ත්‍රවාදී රටක විසම්මුතියේ අයිතිය අතිශය වැදගත් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

84

මම කිසිදු අවස්ථාවක දේශපාලන පක්ෂයක් නියෝජනය කර නැහැ

මැතිවරණ කොමිසම වෙනුවෙන් මම පෙනී ඉන්න පළමු අවස්ථාව මෙය නෙමෙයි

පළාත් පාලන මැතිවරණය වළක්වන මෙන් විශ්‍රාමික කර්නල්වරයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති රීට් පෙත්සමට එරෙහිව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාය. එකී පෙනී සිටීම බොහෝ දෙනකු ප්‍රශ්න කරන අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී චෝදනාත්මකව අදහස් පළකළේය. ඒ සම්බන්ධයෙන් සහ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විමසා බැලීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා සම්බන්ධ කර ගත්තෙමු. ඔහු නඩු කටයුත්ත වෙනුවෙන් පෙනීසිටින බැවින් ඇතැම් ප්‍රශ්නයන් පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරන ලදි.

ප්‍රශ්නය – පළාත් පාලන මැතිවරණය නිසි ලෙස නිසි ක්‍රමවේදයට ප්‍රකාශයට පත්කර තිබෙනවාද යන්න පළමුව ඔබෙන් විමසන්න කැමැතියි.

පිළිතුර – පළාත් පාලන ඡන්දය නිසි ලෙස ප්‍රකාශයට පත්කර නැහැ කියල කිසිම නඩුවක අභියෝග කරල නෑ. මැතිවරණයට අභියෝග ලක්කරල දාපු පෙත්සමේ මැතිවරණය නිසි ප්‍රකාශයට පත්කළා කියන කරුණු කියල නෑ. එවැනි අභියෝගයක් කරල නෑ.

ප්‍රශ්නය – ජනාධිපතිතුමා පසුගියදා 23 වැනිදා පාර්ලිමේන්තුවෙදි සඳහන් කළේ ඡන්දය කල් දමා නැති බවත් කල් දැමීමට ජන්දයක් ප්‍රකාශයට පත්කර නැති බවත් ය. එතකොට රටේ ජනතාව කල්පනා වෙන්න පුළුවන් ඇත්තටම නිසි ලෙස ඡන්දයක් ප්‍රකාශයට පත්කරල නැද්ද කියල.

ප්‍රශ්නය – මැතිවරණය කොමිසමේ සාමාජිකයන් ගත්ත තීරණ එකඟත්වයකින් තමයි අරන් තියෙන්නෙ.

ප්‍රශ්නය – ජනාධිපතිවරයගෙ ප්‍රකාශයෙදි කියැවුණා මැතිවරණ කොමිසම බෙදුනු තීන්දුවක් තමයි අරන් තියෙන්නෙ කියල.

ප්‍රශ්නය – එයට අදාළ නිලවරණය අභියෝග කළ නඩුවෙ එහෙම කාරණයක් කියල නෑ.

ප්‍රශ්නය – කොහොම වුණත් ඔබතුමා මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටීම වැරැදි බව චෝදනා එල්ලවී තියෙනව. ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී චෝදනාත්මකව අදහස් පළකළා.

පිළිතුර – මැතිවරණ කොමිසම වෙනුවෙන් මම පෙනී ඉන්න පළමු අවස්ථාව මෙය නෙමෙයි. 2020 මහින්ද දේශප්‍රිය මහත්තය මැතිවරණ කොමිසමේ සභාපති විදිහට කටයුතු කරද්දිත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් පවරපු නඩුවලට නීතිපතිවරයා පෙනී ඉන්නෙ නෑ කියනකොට, මැතිවරණ කොමිසම මගේ සේවය ලබාගත්ත. මේ අවස්ථාවෙදිත් නීතිපතිවරයා පෙනී ඉන්න නෑ කියද්දි මැතිවරණ කොමිසම මගේ සේවය ලබාගන්නව. ඕනම කොමිෂන් සභාවක් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී ඉන්නෙ නැත්නම් ඒ ආයතනයට අයිතියක් තියෙනව තමන් කැමැති නීතිඥවරයෙක්ගෙ සේවය ලබාගන්න. ඒක සේවාදායකයා විසින් ගන්න තීරණයක්.

ප්‍රශ්නය – හැබැයි ඔබතුමාට එල්ලවන චෝදනාව තමයි ඔබතුමා දේශපාලනිකයි, යම් දේශපාලන පක්ෂයක් නියෝජනය කරනවා කියන කාරණය. ඒ නිසා මේ පෙනී සිටීම සදාචාරසම්පන්න නෑ කියල ඇතැමුන් අදහස් පළ කරනවා.

පිළිතුර – මම කිසිම අවස්ථාවක, කිසිමදාක දේශපාලන පක්ෂයක් නියෝජනය කරල නෑ. මම කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකත්වය දරල නෑ. ඒ නිසා කවුරු හරි කියනව නම් මම දේශපාලන නීතිඥවරයෙක් කියල, ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.

ප්‍රශ්නය – පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙන් කිසිම බාධාවක් නෑ. නමුත් රජය විසින් නිකුත් කරන චක්‍රලේඛ සහ ව්‍යවස්ථාව අතරත් රාජ්‍ය නිලධාරීන් අතරමං වී ඇති බව පෙනෙන්න තිබෙන කාරණයක්. ඇත්තටම දැන් රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක කළ යුත්තේ ව්‍යවස්ථාවෙ තියෙන දේද? නැත්නම් චක්‍රලේඛ මගින් ලබාදෙන නියෝග ද?

පිළිතුර – ඇත්ත වශයෙන්ම මම පවතින නඩු ගැන කතාකරන්න කැමැති නැහැ. නමුත් පොදුවේ කිව්වොත් ඕනම රටක ඡන්ද බලය කියන එක ඉතාමත් වැදගත් අයිතියක්. ඒ ඡන්ද බලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ගණනාවක තියෙනව රටේ ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් කියල. පරමාධිපත්‍යයේ වැදගත් අංගයක්. මේ රටේ ජනතාව සාමූහිකව තමන්ගෙ පරාමාධිපත්‍යය ක්‍රියාත්මක කරන ආකාර දෙක තමයි මූලික අයිතිවාසිකම් භුක්ති විඳීම සහ තමන්ගෙ ඡන්ද බලය. ඒවගේම ඊට අමතරව විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලයත් ජනතාවගේ පරාමාධිපත්‍යයේ අංගයක්. මම කියවල තියෙන නඩු තීන්දු හැම එකකම තියෙන්නෙ ඡන්ද බලය අතිශයින්ම රටට වැදගත් කියල. 2017 හිටපු අග්‍රවිනිශ්චයකාරතුමා දුන්න නඩු තීන්දුවක එතුමා කියල තියෙනව පළාත් පාලන ආයතනවල වැදගත්කම සහ පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීමේ වැදගත්කම ගැන. රටක මැතිවරණයක් පවත්වන්න සියලුම බලධාරීන් මැතිවරණ කොමිසමට සහය දෙන්නත් බැඳිල ඉන්නව. මොනව හරි චක්‍ර ලේඛනයක් පිටුපස්සෙ ගිහින් මැතිවරණ කොමිසමට සහය නොදීම මම හිතන්නෙ නෑ යුක්තිසහගතයි කියල.

ප්‍රශ්නය – පසුගිය සමයේ සිදුවූ ඇතැම් දේ නිසා ජනතාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට බරපතළ චෝදනා නැගෙනවා. මේ තත්ත්වය ඔබතුමා දකින්නෙ කොහොම ද ?

පිළිතුර – මම හිතන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී රටක විසම්මුතියේ අයිතිය අතිශයින්ම වැදගත්. විසම්මුතියේ අයිතිය කියන්නෙ කෙනෙක්ට අදහස් දැරීමේ අයිතිය. ඒක තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වගේම සාමකාමීව රැස්වීමේ නිදහසත් තියෙනව. සාමකාමී රැස්වීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවතින රජයකට නුරුස්සන්න පුළුවන්. එහෙම වුණත් විසම්මුතියේ අයිතිය රටක ආරක්ෂා කළ යුතුමයි. ඒකට හේතුව රජයක් දැඩි ලෙස විවේචනය කරන්න පුරවැසියෙක්ට අයිතියක් තියෙනව. ඒකට බාධා කරනව නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට කරන ලොකු හානියක්. පසුගිය කාලයෙ අපි දැක්ක සාමකාමී උද්ඝෝෂණයන්ට පහර දෙනවා. අපි දැක්ක එක වෙලාවක කාන්තාවන් දෙන්නෙක් බෝඩ් එකක් අරගෙන ගමන් කරද්දි ඒ කාන්තාවන් පසුපස පොලිස් නිලධාරීන් දුසිම් ගණනාවක් ලුහු බඳින සිදුවීම්. එහිදී ඔවුන්ට බාධා කරල ඒ අයව අත්අඩංගුවට ගන්නව. ඒ ආකාරයෙන් අපි දැක්ක ඇතැම් පොලිස් නිලධාරීන් ඉතා ලැජ්ජාසහගත ආකාරයට කටයුතු කරනව. මම දකින්නෙ ශ්‍රී ලංකා පොලිසියේ බරපතළ ප්‍රශ්නයක් විදිහට. පොලිසිය කටයුතු කරන ආකාරය. විසම්මුතියේ අයිතියේ වැදගත්කම අපි කවුරුත් තේරුම්ගන්න ඕන. මොකද ඒ අයිතිය ඉවසන්නෙ නැත්නම් තමුන්ට වඩා වෙනස් මතයක් දැරීමට තියෙන අයිතිය පිළිගන්නෙ නැත්නම්, ඒක ප්‍රජාතන්ත්‍රවාදයට කරන ලොකු තර්ජනයක්.

ප්‍රශ්නය – ඔබ ඇතුළු නීතිඥ සංගමය පසුගිය සමයෙ අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටිය. ඒ නිසා ඔබතුමන්ලට නැගෙන චෝදනාවක් තමයි අරගලකරුවන් ප්‍රචණ්ඩ වෙන්න ඒක හේතුවුණා කියල.

පිළිතුර – නිදහස් අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය ආරක්ෂා කරන්න, විසම්මුතිය ආරක්ෂා කරන්න අපි හැම වෙලාවෙම පෙනී ඉන්නව. කවුරුහරි චෝදනා කරනවා නම් විසම්මුතියේ අයිතිය ආරක්ෂා කරන්න අපි කටයුතු කළා කියල ඒක අපි කනගාටුවට පත්වෙන කාරණයක් නෙමෙයි. අපි ඒ ගැන ආඩම්බර වෙනව. පසුගිය සමයෙ ජනතාවගෙ කටයුතු වෙනුවෙන් අපි පෙනී සිටියා කියන එක ගැන අපි අතිශයින් සතුටට පත්වෙනව. මේ රටේ වෘත්තිකයන් හැටියට හැම වෘත්තිකයෙක්ගෙම වගකීමක් තමයි අපේ පටු බලාපොරොත්තුවලින් එහා ගිය රටේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම. නීතිඥ සංගමය හැටියටත් නීතිඥයන් හැටියටත් රටේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම ගැන අපි කම්පාවෙන්නෙ නෑ. අපි ඉදිරියටත් ඒ මිනිසුන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නව.

ප්‍රශ්නය – පොලිසිය උපරිම බලය යොදල තමයි ඉතා පුංචි විරෝධතා මැඬපවත්වන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වීමත් එක්ක ඒවට ප්‍රමුඛතාවක් දී තියෙන බවටත් ජනතාව චෝදනා කරනව. මෙවැනි රාජ්‍ය මැඬපැවැත්වීම් හමුවේ ජනතා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ජනතාවට ක්‍රියාකළ හැක්කේ කෙලෙසින් ද?

පිළිතුර – වැදගත්ම දේ තමයි ජනතාව පොදුවේ තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නව නම් රාජ්‍ය මර්දනයන් සාර්ථක වෙන්නෙ නෑ, මර්දනයන් අසාර්ථක වෙන්නෙ ජනතාව බෙදිල හිටියොත් විතරයි. තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබිල තියෙන බලතල වෙනුවෙන් ජනතාව පොදුවේ සාමූහිකව පෙනී ඉන්නව නම් ජනතාව මැඬපවත්වන්න ලැබෙන්නෙ නෑ. ජාත්‍යන්තර වශයෙනුත් අපි විවිධ සම්මුතීන්ට අත්සන් කරල තියෙන්නෙ. මානව හිමිකම් කවුන්සිලයට ලංකාව සහභාගි වෙනව. ඒ වගේ ජාත්‍යන්තර සම්මුතීන් ලංකා රජය අත්සන් කරල තියෙනව. ඒ නිසා ලංකා ආණ්ඩුවට පැවරෙන ජාත්‍යන්තර වගකීමකුත් තියෙනව ලංකාවේ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. කිනම් හෝ ආණ්ඩුවක් ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කරනව නම් එවැනි ආණ්ඩුවලට ඒ ගැන යම් වගකීමක් දරන්න වෙයි.

අනෙක රාජ්‍යයක් අසාර්ථක වෙන්නෙ ඒ රාජ්‍යයන් තුළ ආයතන දුර්වල වුණාම. මේ රටේ තියෙන ප්‍රබල ආයතන ශක්තිමත් වෙන්න ඕන. ඒ වගේම තමන්ගෙ කාර්යයන් ගැන වගකියන ආයතන වෙන්න ඕන. ඒ ප්‍රධාන ආයතන බාරව ඉන්න පුද්ගලයන් ඒවායේ කටයුතු කරන පුද්ගලයන් ජනතාවගේ අභිලාෂයන් ගැන තේරුම් අරන් කටයුතු කරන්න ඕන. එහෙම ජනතා අභිලාෂයන් තේරුම් ගන්නෙ නැතිව පටු අභිමථාර්ථ මත කටයුතු කරන්න යනකොට තමයි ඒ ආයතන අසාර්ථ වෙලා ඒ තුළින් රාජ්‍යයක් අසාර්ථක වෙන්නෙ. ඕනෑම රාජ්‍යයක් සාර්ථක වෙන්නෙ ඒ රටේ ආයතන පොදුවේ ජනතාව ගැන හිතනව නම් විතරයි. ආර්ථිකය පවා සුළු පිරිසක් වාසිය බෙදෙන්නෙ නැතිව පුළුල් විදිහට ආර්ථික අයිතිවාසිකම් ප්‍රභූ ජනතාව අතර බෙදී යනව නම් තමයි රටක් සාර්ථක වෙන්නෙ. මේ රටේ සියලු ආයතන ශක්තිමත්වෙන්න ඕන සහ ඉතාමත් වැදගත් වෙන්නෙ රටේ ස්වාධීන ආයතනවල ආණ්ඩුව සහ ආණ්ඩුවේ ප්‍රධානීන් ස්වාධීනව කටයුතු කිරීම තුළ. අපි දැක්ක පසුගිය කාලයෙ සමහර වෙලාවට ස්වාධීන ආයතනවලට විවිධ තැන්වලින් පහරදෙනව. ඒවායේ සාමාජිකයන්ව අධෛර්යට පත්කරන්න හදනව. ඒ ආකාරයෙන් කටයුතු කරද්දි ඒ ආයතන දුර්වල වෙනව. අනෙක විධායකය තේරුම්ගන්න ඕන විධායකයෙ සීමාවන්. විධායකය නායකත්වය දැරුවට ස්වාධීන ආයතනවලට පහරදෙන්න කිසිම අයිතියක් නෑ.

ප්‍රශ්නය – වසර තිහක යුද්ධයක් පැවැති රටක අපේ ආරක්ෂක හමුදාවටත් මානව හිමිකම් උල්ලංඝනය කළා කියන චෝදනාව එල්ල වුණා. වර්තමානයේ අරගලකරුවන්ට පහරදීම්, සාමකාමී උද්ඝෝෂණවලට පහරදීම්වලටත් මැදිහත්වෙන්නෙ ඒ ආරක්ෂක හමුදාව. යුද සමයේ එල්ලවුණු ඇතැම් චෝදනාවන් බොරු වුණත් අද සිදුවන තත්ත්වයන් ඒ චෝදනාවන්ට කරන බලපෑම මොනවගේ වෙයිද?

පිළිතුර – පසුගිය අවුරුද්දෙ ජුලි මාසයෙ සිදුවූ පහරදීම්වලදි චේන්, පොලු අරන් ගිහින් ආරක්ෂක හමුදාව ගාලු මුවදොර උද්ඝෝෂකයන්ට පහරදෙනව අපි දැක්ක. එවැනි ක්‍රියාවන් අපේ රටේ ආරක්ෂක අංශවලට හොඳ නෑ. ඒ ආයතනවල ප්‍රතිරූපයට හොඳ නෑ. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට සිදුවෙන වධහිංසාවන් පහරදීම්, නිසා වෙන්නෙ අපේ පොලිසියේ ප්‍රතිරූපයට හානියක් වීම. එහෙම වෙද්දි විදේශ රටවල් අපේ රට වෙත ඇඟිල්ල දික්කරන පිරිස්වලට උත්තේජනයක් වෙනව ඒ සිදුවීම්. ඒ නිසා එවැනි දේ නොවන්න අපේ රටේ දේශීය ආයතන ශක්තිමත් වෙන්න ඕන. දේශීය ආයතන ශක්තිමත් වුණේ නැත්නම් තමයි විදෙස් බලවේග ශක්තිමත් වෙන්නෙ.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment