ප්‍රජාතන්ත්‍රවාදී වස්ත්‍රය උදුරා ගැනීමට ගෙන එන ආණ්ඩුවේ ප්‍රතිත්‍රස්ත පනත!

196

සමාජ දේශපාලන මෙන්ම මාධ්‍ය ක්‍ෂෙත්‍රයෙහිද දැඩි අවධානයට මෙන්ම සංවාදයටද ලක්ව තිබෙන සිදුවීම් කීපයක්ම තිබේ. ඒවා අතර වඩාත් සංවාදයට ලක්ව තිබෙන ප්‍රතිත්‍රස්ත පනත, උත්තර පත්‍ර සමීක්‍ෂණය, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ සිද්ධිය මෙන්ම ජාතික ආණ්ඩුවක් සඳහා කෙරෙන ආරාධනාව අතිශය වැදගත් සිදුවීම් ලෙස හැඳින්වීම නිවැරදිය. එසේම මෙම සතියේදී පාර්ලිමේන්තුවේදී විවාදයට ලක්වන රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇතිකරගන්නා ලද එකඟතා හා රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධ ක්‍රියාවලියද සුවිශේෂ සිදුවීමකි. එසේම පසුගියදා ගාලුමුවදොර විරෝධතාවට පහර දීමේ සිදුවීමට එරෙහිව රජයේ ප්‍රබලයන් කීප දෙනෙකුට මෙන්ම නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා පිළිබඳවද ජනමාධ්‍යවල සඳහන් වී තිබුණි. මේ සියල්ල පෙළ ගස්වා බලන විට පැහැදිලි වන්නේ අපේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන කැළඹීම විනා වෙනත් දෙයක් නොවේ. ආණ්ඩුව මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් නොතකමින් අධිපතිවාදී මානසිකත්වයකින් ක්‍රියා කරන බවටද දැඩි චෝදනාවක් එල්ල වී තිබේ. ගාලුමුවදොර විරෝධතාව මර්දනය කළ ආකාරය මෙන්ම එයින් ජනතාව අපේක්‍ෂා කළ දේශපාලන වෙනස හෙවත් සිස්ටම් චේන්ජ්එකට සංවේදී නොවූ පාලකයන්ගේ දරදඬු ස්වරූපයද බොහෝ ප්‍රබුද්ධ පුරවැසියන්ගේ අප්‍රසාදයටද ලක්ව තිබේ.

මේ අසංවේදී හා ඇතැම් දේශපාලනඥයන් විසින්ම භාවිත කරන ලබන “නොසණ්ඩාල ආණ්ඩුව” සම්බන්ධයෙන් අප කිසිවකුට සතුටු විය නොහැක. ඇත්ත වශයෙන්ම අද ඇරැඹී තිබෙන දේශපාලන අර්බුදය ජනතාවට හා රටට යහපත් වන ආකාරයකට සමනය වනු ඇද්ද? යන සැකය බොහෝ පුරවැසියන් තුළ ද තිබෙන්නකි. ගාලුමුවදොර අරගලය ප්‍රචණ්ඩ හා සාහසික සිදුවීම් සමග අවසන් වූ ආකාරය අමතක කරන ආණ්ඩුව උත්සාහ කරන්නේ අරගලය මැඬපැවැත්වූ ආකාරයටම මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය මැඬලීමටද යන ප්‍රශ්නය ඕනෑම යුක්තිගරුක පුරවැසියකු තුළ ඇතිවීමද ස්වභාවිකය. ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් මේ වනවිට නීතිමය පියවරක් ගැනීමට ආණ්ඩුව සූදානම් වීමෙන්ම ජනතාව තුළ වූ සැකය පදනම් විරහිත නොවන බවද පෙනී යයි. එදා අරලියගහ මැඳුරේදී සිදුවූ ක්‍රියාවලියට ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් දීමට සමහරු උත්සාහ කළහ. දැන් චෝදනාවට ලක්ව තිබෙන කුප්‍රකට චරිතයක් පවසා සිටියේ තමන් සංදේශයක් භාරදීමට විරෝධතා භූමිය පෙදෙසේ සිට පැමිණි බවය. නිසැකයෙන්ම අවිහිංසාවාදී අරගලයට ප්‍රචණ්ඩත්වයක් එක් කිරීම වළක්වා ගැනීමට හිටපු ජනාධිපතිවරයකුද වන මහින්දට ඉඩ නොතිබණිද? ඔහු ඒ සඳහා අවංකව උත්සාහ කළේද? යන්න අපට කිව නොහැක.

ගෝඨාභය රට හැර පලායෑම අගමැති මහින්ද ඇතුළු කැබිනට් මණ්ඩලයට අස්වීමට සිදුවීම එදා නැගුණු මහජන විරෝධතාවයෙහි නියත ප්‍රතිඵල වේ. එලෙස අරාජික වූ රට යළි යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වූයේ රනිල් ජනාධිපති ලෙස පත්වීම නිසාමය. ඔහු රාජපක්‍ෂ පාලනයේ ආකෘතිය බිඳ දමමින් පත් කරගත් තරුණ කැබිනට් මණ්ඩලය සමග රට ස්ථාවර කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීය. රාජපක්‍ෂවරුන් පාලනය අතහැර ගිය බව බැලූ බැල්මට පෙනුනත් ඔවුන්ගේ බලය ජනාධිපති රනිල්ගේ ක්‍රියාන්විතයට අනිවාර්ය විය. පාර්ලිමේන්තුවේ එකම අසුනක් නීත්‍යානුකූලව හිමිව තිබූ එ. ජා.ප. යට රටේ විධායක බලය හිමිවීමද ජනවරමකින් තොරව සිදු වූවකි. ජනාධිපති රනිල් ජාතික ආණ්ඩුවක් ගැන යෝනා කළේ ඒ පසුබිම තුළය. ඔහු යළිත් එය යෝජනා කරයි.

අරගලකරුවන් මෙන්ම වෙනත් වෘත්තීය හා සිවිල් සංවිධාන යෝජනා කළ අන්තර්වාර පාලනය පිළිබඳ අදහස දිය වී ගිය ආකාරයද රහසක් නොවේ. පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පොහොට්ටුවේ ශක්තිය වෙනස් කිරීම සඳහා එබඳු පාලනයක් හෝ ජාතික ආණ්ඩුවක් ගොඩනගා ගත යුතු බව ජනාධිපති රනිල් නිවැරදිව වටහා ගෙන තිබුණි. එහෙත් ඔහුගේ ඒ අදහස ක්‍රියාවට නංවා ගත නොහැකි විය. එසේම ජනතා අප්‍රසාදයට ලක්ව තිබෙන ව්‍යවස්ථාදායකය සඳහා අලුත් ජනවරමකින් නියෝජිතයන් පත් කළ යුතුය යන අදහස ද ඉබේම දියවී ගොස් ඇත. එසේම රාජපක්‍ෂ කඳවුරට හිමිවූ හැට නව ලක්ෂයේ ජනවරම තුළ තිබුණු ජනප්‍රසාදයෙන් අද වනවිට ඉතිරිව ඇත්තේ ඉතා අවම ප්‍රතිශතයකි. එනිසා කවර ආකාරයකින් වුවද පොහොට්ටුවේ ජනතා විවේචනයට ලක්ව සිටින චරිත යළිත් කැබිනට්ටුවට එකතු කර ගැනීම මේ දේශපාලන අවුල් ලිහිල් කරන්නක් නොව තවත් උත්සන්න කරන්නක් බව ජනාධිපති රනිල්ට පෙන්වා දිය යුතු නැත. ඔහු ජාතික ආණ්ඩු යෝජනාව යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අරමුණ ඒ අනුව නම් ප්‍රශ්නකාරීවේ.

ජාතික ආණ්ඩුවක් සඳහා මූලික මෙන්ම ප්‍රබලම සාධකය ස. ජ. බ. මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමය. එය දේශපාලන ප්‍රතිපත්ති අතින්ද ජනාධිපති රනිල්ට වඩාත් සමීපවේ. පොහොට්ටුව හා එජාපය අතර ප්‍රතිපත්තිමය අතින් තිබෙන සමානකම් රහසක් නොවේ. මේ වනවිට පොහොට්ටු ලේකම් වරින් වර ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග පවා විවේචනය කිරීමට ඉදිරිපත්ව සිටියි. එහෙත් ඒ සමගම පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමැතිධුර ලබා දිය යුතු බවද ප්‍රකාශ කරයි. ජාතික ආණ්ඩු යෝජනාව සමග ඉදිරිපත් වන අයි. එම්. එෆ්. එකඟතා සම්බන්ධ කරුණුවලට පාර්ලිමේන්තු අනුමැතිය අත්‍යවශ්‍ය වේ. එයින් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව යම් ප්‍රසාදයක්ද ඇතිවේ.

ප්‍රජාතන්ත්‍රවාදී වස්ත්‍රය උදුරා ගැනීමට ගෙන එන ආණ්ඩුවේ ප්‍රතිත්‍රස්ත පනත!

ජාතික ආණ්ඩුව කුමක් සඳහාද? එය රටේ ආර්ථික හා සංවර්ධන ක්‍රියාදාමය වෙනුවෙන්ද යන ප්‍රශ්නය දැන් මතුවී තිබේ. ව්‍යවස්ථානුකූලව තිබෙන ඇමැති මණ්ඩලය පුළුල් කර ගැනීමට තිබෙන එකම මඟ ජාතික ආණ්ඩුවකි. ඇත්තටම රටේ යහපත උදෙසා ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ අනුමත කර ගැනීමට ජාතික ආණ්ඩු අවශ්‍ය නොවේ. රටේ ආර්ථිකය යම් ස්ථාවරයකට පත් කෙරෙන සාධනීය වැඩපිළිවෙළකට විපක්‍ෂයට විරුද්ධ විය නොහැක. මේ පවතින අසීරු ආර්ථික වාතාවරණය තුළ රාජ්‍ය වියදම් අඩුකර ගත යුතුමය. ඇමැතිවරුන් වැඩි කිරීම රටට මහා බරක් බවට දැඩි විවේචනයක්ද ඇත. මේ වනවිට පොහොට්ටුවේ මුල් පෙළට මෙන්ම සජබෙ සමහරුන්ටද ඇත්තේ ඇමැති දොළදුකකි. ආණ්ඩුවේ නිල බල ජනතා මුදල් කාබාසිනියා කිරීම සම්බන්ධයෙන් ගර්හාවට ලක්ව සිටින චරිත යළි ඇමැතිවරුන් ලෙස බලගැන්වීමේ අරුත කුමක්ද?

ජනාධිපති රනිල් නොවන්නට තවමත් පොහොට්ටුව කලඑළියට නොඒමටද ඉඩ තිබුණි. ඔවුන් කළ යුත්තේ තම වැරදි හා කිළිටි දේශපාලනයට එල්ල වී තිබෙන මහජන විරෝධය බුද්ධිමත්ව වටහා ගෙන නිවැරදිවීමය. අද සිටින බොහෝ ඇමැතිවරු රටේ ප්‍රශ්න විසඳීමට අසමත් වූවෝය. ගොවියන්ගේ විරෝධතා මෙන්ම වෘත්තිකයන් හා සිවිල් සංවිධානවල විරෝධතාවලද අඩුවක් නැත. කලකට පෙර ඉදිරිපත්වු එක් ප්‍රබුද්ධ යෝජනාවක් වූයේ විiාත්මක පදනමකින් කුඩා කැබිනට් මණ්ඩලයක් පත්කර ගෙන පාර්ලිමේන්තුවම උත්තර සභාවක් ලෙස ක්‍රියා කර රට ගොඩනැගිය යුතු බවය. එහෙත් රටේ ප්‍රශ්න කුමක් වුවත් තමන්ගේ අභිමතාර්ථ, සාදා ගැනීම එකම අපේක්‍ෂාව කරගත් වසල දේශපාලන ක්‍රමයක් තුළ අප ප්‍රාර්ථනා කරන ශ්‍රී ලංකාව තවත් දුරස් වන බව නම් නිසැකය.

මහින්ද යළිත් අගමැති කළ යුතු යැයි කටකතාවක් ලෙස පැතිරෙන පුවත බොරු බව ආණ්ඩුවේ සමහරු කියති. එහෙත් ඒ බොරුව දැන් යළි යළිත් පැතිර යන්නේ එය පොහොට්ටුවේ සැබෑ වුවමනාව නිසා නොවේද? මහලු දේශපාලන චරිත යළිත් ඇමැතිකම්වලින් තිරිහන් කිරීමට හැකිද? දේශපාලන විඥානයකින් තොර එහෙත් ඇමැතිකම්වලටම වයසට ගිය අය දැන් විශ්‍රාම යායුතු යැයි ජනතාවද කියති. එහෙත් දිස්ත්‍රික්කයේ වැඩිම මනාපය පෙන්වා ඇමැතිකමක් ඉල්ලීම තරම් නිවටකමක් තවත් තිබේද? පුද්ගලයකුගේ කාර්ය සාධනය විනා අන් කිසිවක් අපට වැදගත් නැත. ජනාධිපති රනිල්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ තිබෙන නරක මකා දමා ඒ මත පදනම්ව රටට උචිත ආර්ථික සැලසුමක් සකසා ගැනීමට සියලු දේශාපලන පක්‍ෂ අතර එකඟතාවක් ගොඩනැගේ නම් ජනතාවද එයට ආශිර්වාද කරනු ඇත. එසේ නොමැතිව යළිත් රාජපක්‍ෂ කඳවුර ගොඩනැගීමට හෝ ඔවුන්ගේ බල ව්‍යාපෘතිය දිනවීමට හෝ ජනතාවට අවශ්‍ය නැති බව අද තිබෙන දේශපාලන යථාර්ථයයි.

දැන් අපි ආණ්ඩුව මොනම හේතුවක් නිසාවත් අත්හැර දැමීමට සූදානම් වන බවක් නොපෙනෙන ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධව උද්ගතව තිබෙන තත්ත්වය විමසා බලමු. ආණ්ඩුව මේ සතියේ එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් දේශීය හා විදේශීය වසයෙන් මෙන්ම ආගමික නායකයන් ගෙන්ද එල්ලවී තිබෙන විරෝධතා ඉල්ලීම් තඹයකට මායිම් නොකරන මුග්ධ විලාසයකින් බව පෙනේ. ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයාට ලිපියක් මගින් දන්වා තිබුණේ විශේෂඥ මණ්ඩලයක උපදෙස් ලබාගෙන එම ප්‍රතිත්‍රස්ත පනතේ ජනපීඩක රෙගුලාසි, නිදහසට එල්ලවේ යැයි පැවසෙන බාධාවන් සියල්ල විමසා බලා එය පිරිපහදු කර සම්මත කළ යුතු බවය. එහෙත් ආණ්ඩුව එයට දක්වා තිබෙන ප්‍රතිචාරය මහනාහිමිවරු වටහාගත යුතු වෙති. තමන් වහන්සේලා ඉදිරිපිට දණගසා බුහුමන් කරන බව හඟවන දේශපාලන හැසිරීම් පිළිබඳව ප්‍රබුද්ධ ලෙස පසක් කර ගැනීමට අපේ නාහිමිවරු දැඩිව අවධානය යොමු කළ යුතු වෙතැයි ගෞරවයෙන් ලියා තැබීම හැර අපට කළ යුතු වෙනත් දෙයක් නැත. මේ බෞද්ධ රට බෞද්ධ සංස්කෘතියෙන් පිබිදුනු රට විනාස කිරීමට ඉඩ නොදෙන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝද පවසති.

බුදුන් වහන්සේ විසින් අවධාරණය කරන ලද නිදහස් චින්තනය කෙබඳු දැයි කාලාම සූත්‍රය කියවූ අය මෙන්ම ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණ හා පැහැදිලි කිරීම්වලින් දැනුවත් වූවෝද ඉඳුරා දනිති. යමක් සැක කිරීම, විමතියෙන් බැලීම බුදුහු අනුදැන වදාළහ. යමක් ජනහිත පිණිස යහපත් චේතනාවෙන් කරන්නේ නම් එය විමසා බලා පිළිගැනීම බුදුහු අනුමත කළහ. තීරණ ගැනීමේ හා නිදහස අරක්ෂා කිරීම පිළිබඳ උච්ඡතර අවස්ථාව එම කාලාම සූත්‍රය පෙන්වා දී තිබේ. එනිසා මේ පාලකයන්ගේ කටයුතු අවිචාරයෙන්, සැකයෙන් අනුමත කිරීම නුසුදුසු බව මහානාහිමිවරු සිය ලිපියෙන් පෙන්වා දුන්හ. එහෙත් ආණ්ඩුව එයට උඩින් පැන යෑමට සැරසෙන්නේද? මෙම පනත් කෙටුම්පත ඇමෙරිකාව, බි්‍රතාන්‍ය ඇතුළු යුරෝපයේ රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ අධ්‍යයනයකින් පසුව සකසා තිබේ නම් ඒ රටවල් මෙයට එරෙහි වන්නේ ඇයිද යන්නත් ආණ්ඩුව පැවසිය යුතුය.

මහජන ආරක්‍ෂාව ජාතික සුරක්ෂණය යනු අනිවාර්ය මෙන්ම කිසිවෙකුට ප්‍රතික්‍ෂේප කළ නොහැකි කොන්දේසියකි. එහෙත් ආණ්ඩුව මේ පනත රැගෙන එන්නේ සිය අධිපතිවාදී දේශපාලන ව්‍යාපෘතියට රැකවරණයක් ලෙස බවට විවේචනයක් ඇත. එය ප්‍රජාතන්ත්‍රවාදය මතුරමින් ඒකාධිපතිවාදයකට යන ගමනකට සවියක් බවද විවේචකයෝ කියති. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අනුගාමිකයන්ට හා ගර්හිත ප්‍රභූ දේශපාලනයට ආ වඩන වහළුන්ට කිසිදු විවේචනයක් නැතිවීම අපට තේරුම් ගත හැකිය. එහෙත් ප්‍රතිත්‍රස්ත පනත යට තිබෙන විෂ හා දුෂ්ට අරමුණු ජාතික ආරක්‍ෂාවට නොව ඒකාධිපති ගමනකට ලබාදෙන සවියක් බව බහුතර ජනතාවගේ පිළිගැනීමය. ජනප්‍රසාදයක් නැති ආණ්ඩුවක් නිතරම මහජන මතයට බිය වීම ස්වභාවිකය. තමන්ට එරෙහිව නැගෙන විරෝධතා මර්දනය ඔවුන්ගේ දේශපාලනයේ උපාය මාර්ගයද වේ. පොලිසිය හා හමුදාව කෙරෙහි ඔව්හු දැඩිව විශ්වාසය තබති. මෙම පනත් කෙටුම්පත පොලිසියට දෙන බලය ගැනද විවේචන තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ සිවිල් සමාජ එකමුතුව නිවේදනයක් නිකුත් කර පවසා තිබෙන්නේ මෙයින් විරෝධතා විවේචන කරන අයට සිරගත වීමටද සිදුවිය හැකි බවය. ත්‍රස්තවාදය නිර්වචනය කර ඇත්තේ එබඳු ප්‍රතිචාරයක් අරමුණු කර ගනිමින් බවය. එසේම හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මෙම පනත සම්මත වුවහොත් අධිකරණයට හිමිවිය යුතු බලය පොලිසියට යෑමේ අනතුර පිළිබඳව උදාහරණ සහිතව විග්‍රහ කර තිබුණි. ඔහු අවධාරණය කර තිබුණේ මෙම පනත සම්මත කිරීමට ඉඩ නොදිය යුතු බවය. මේ අතර විපක්‍ෂනායක සජිත් ප්‍රමුඛ විපක්‍ෂයේ කිසියම් සංවිධානාත්මක ප්‍රතිචාරයක් මගින් ප්‍රතිත්‍රස්ත පනත පරාජය කිරීමේ පෙළ ගැස්මක් පවා දැකගත හැකිය. මෙය හොඳ ප්‍රවණතාවකි. ඇත්තටම ආණ්ඩුවේ ශක්තිය වැඩෙන්නේ විපක්‍ෂයේ බෙදීම් නිසාය. මේ රටේ අවස්ථාවාදී දේශපාලනය නැවැත්වීමට දැන්වත් පක්‍ෂ නායකයෝ සිතා බැලිය යුතු වෙති. ඇමැතිකමට, මුදලට ආත්මය විකිණෙන තෙක් රට අනතුරේය. ජනාධිපති රනිල් තීරණ ගත යුත්තේ රාජපක්‍ෂ කඳවුර වෙනුවෙන් නොව රටේ අභිවෘද්ධිය උදෙසාය. ඒ බව ජනතාවට තහවුරු වුවහොත් මේ දේශපාලන සෙල්ලමට ඉඩක්ද නැත.

මෙම ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ සැකය විරෝධය පදනම් සහිත එකකි. මෙරටේ බලය වෙනුවෙන් රටේ ව්‍යවස්ථාව පවා වෙනස් වු ආකාරය අද ජනතාව දනිති. ජාතික ආරක්‍ෂාව ගැන කියන දේශපාලන බයිලා ජනතාව තඹයකට මායිම් නොකරන බව මහජනයා අතර සිටින අය දනිති. අද ආණ්ඩුවට අරගලයේ ජවය සිඳ බිඳ ඇතැයි සතුටු විය හැකිය. ඒ අරගල භූමිය තහනම් කිරීමද ඒ මර්දනයේම ප්‍රතිඵලයකි. අද ගාලුමුවදොර සම්බන්ධ තහනම සද්චේතනාවෙන් කළ එකක් නොවන බව දන්නා අයද සිටිති. මෙහිදී සංගීත සංදර්ශන ආදී වෙනත් ක්‍රියාකාරකම්ද තහනම් කරමින් ජනතාවට අඟවන්නේ ගාලුමුවදොර මහජනයාට විවේකීව ගත කිරීමට සුදුසු නිසසල පරිසරයක් ලෙස සංවර්ධනය කරන බවය. ගාලුමුවදොර පිටියට විශාල මහජන ගඟක් ඒකරාශී වීම යනු නිසැකයෙන්ම දේශපාලන ප්‍රතිචාරයකි. මේ අනුව ආණ්ඩුවට එරෙහිව කොළඹට සෙනග කැඳවීම නිෂ්ක්‍රීය කිරීමේ උපායක් ආණ්ඩුව සාදාගෙන ඇත. ජවිපෙ වසන්ත සමරසිංහ සෘජුවම පවසා සිටියේ මේ තහනම බියගුළු ක්‍රියාවක් බවය. ඇත්ත වසයෙන්ම ගාලුමුවදොර මෙරටේ දේශපාලන ඉතිහාසයේ සදානුස්මරණීය අරගල භූමියකි. ආණ්ඩුව ඒ සැමරුම් නිහඬ කරන්නේ තම ප්‍රතිවාදීන්ට තිබෙන හැම ඉඩක්ම හකුළා දමමින් නොවේද?

මේ වනවිටත් ආණ්ඩුවට එල්ල වී තිබෙන ප්‍රබල චෝදනාවක් වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එහි සාධනීය ලක්‍ෂණයක් වන මැතිවරණ පැවැත්වීමද කල්දමා තිබෙන බවය. 2024 තෙක් රටේ මැතිවරණ නැති බව සමහරු පවසති. පළාත් සභා කවදා පවත්වනු ලැබේද පළාත් පාලන මැතිවරණයත් අහෝසි වේද? යන්න අද උත්තර නැති ප්‍රශ්න බවට පත්ව තිබේ. ජනාධිපතිවරණයක් පිළිබඳ මාධ්‍යවල සඳහන් වුවත් එයට තිබෙන නීතිමය ගැටලු ගැනද අදහස් දැක්වේ. එසේම ජනාධිපති රනිල්ට ජනාධිවති වරමක් ලබාදිය යුතු බව පොහොට්ටුවේ තරුණ ඇමැතිවරුම කියති. කුමක් වුවත් අනුප්‍රාප්තික ජනාධිපති ලෙස කටයුතු කිරීම වෙනුවට අද සිදුවන දේශපාලන ප්‍රතිචාර විමසුමට ලක්කරන සමහරුන් පවසන්නේ රටේ යළිත් දේශපාලන ව්‍යාකූලත්වයක් ඇති විය හැකි බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර රටේ පළමු මැතිවරණය ලෙස ජනාධිපතිවරණයක් කැඳවීමට ආණ්ඩුවට අවශ්‍ය වී තිබේද යන ප්‍රශ්නයත් සමහරු නගති.

මේ හැම ක්‍රියාවකදීම නැගෙන ජනතා විරෝධතාවන් මර්දනය කිරීම සඳහා ප්‍රතිත්‍රස්ත පනත සම්මත කර ගැනීමට ආණ්ඩුවට අවශ්‍යව තිබෙන බවක්ද පෙනී යයි. ඇත්තටම රටේ මැතිවරණ පැවැත්වෙන්නේද යන්න අද නිශ්චිතව කිව හැක්කේද ජනාධිපති රනිල්ටම පමණි. අද ජනාධිපති ධුරයට පත්ව සිටින රනිල් එදා පෙනී සිටියේ ජනාධිපති බලය කප්පාදු කිරීම වෙනුවෙන් වුවද අද ඒ කතා බහ නිහඬය.

ඇත්තටම ඔහුගේ ගමන එදා ජේ. ආර්. ජයවර්ධනගේ දේශපාලන ක්‍රියාන්විතය සිහියට නගන්නක් නොවේද? එහෙත් ප්‍රශ්නය වන්නේ රාජපක්‍ෂවරුන්ට කෙබඳු රැකවරණයක් ජනාධිපති රනිල්ගෙන් හිමි වුවත් ඔහු වෙනුවෙන් තම පවුලේ බල අරමුණ අත්හැර දැමීමට රාජපක්‍ෂලා එකඟ වෙත්ද? යන්නයි.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment