ප්‍රජා මුළුතැන්ගෙයින් හිස් කුස් පුරවන උස් මිනිසුන් වෙමු

203

ඉහළින්ම කෙරෙන ආගන්තුක සත්කාරය අපිට අමුතුවෙන් ඉගැන්විය යුතු යහපත් සිරිතක් නොවේ. එය අපේ දෛනික ජීවිතය හැඩ කළ ජානගත පුරුද්දකි. කන්නට ඇති දෙයක් බෙදාහදා ගැනීමත් එහෙමය. නිවසට පැමිණි අමුත්තෙකුට බත් වේලක් බැරි නම් කහට කෝප්පයක්, ඒත් නැති නම් බුලත් විටක්, වෙනුවෙන් කෙරෙන ආමන්ත්‍රණය අපේ ගෙවල්වලට නුහුරු නොවේ. ගෙදරට ආ අයකු කුසගින්නේ ගියොත් අප එය සලකන්නේ මදිපුංචිකමක්, ලැජ්ජාවක් ලෙසය. ඩොයිලිලා, වුල්ෆ්ලා විදේශිකයන් වුවත් ලෝබ නැතුව ඒවා ලෝකයට කිව්වේ එතරම් අසිරිමත් බෙදාහදා ගැනීමේ ආහාර සංස්කෘතියක් අපිට තිබූ නිසාය.

රට තුළ මතුව තිබෙන ආර්ථික අර්බුදය හමුවේ අද ජනතාවගේ ජීවිත පීඩාවට ලක්ව තිබේ. කොරෝනා වසංගතය ඇතුළු තත්ත්වයන් හමුවේ රැකියා අවස්ථා සහ දෛනික ආදායම් මාර්ග අහිමිවීම හේතුවෙන් ජනතාවගේ ආදායම අඩුවී තිබෙන අතර ඉහළ ගිය ජීවන වියදම ඔවුන් වඩාත් අසරණ කර ඇත.

විශේෂයෙන්ම ආර්ථික දුෂ්කරතාවෙන් පෙළෙන ස්ථීර ආදායම් මාර්ග නොමැති ප්‍රජාව මේ හමුවේ පීඩාවට පත්ව ඇති බව රහසක් නොවේ. එසේම සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබන කොටස් ද මේ අතර වෙයි. ඔවුන් බහුතරයක් මේ මොහොතේ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීම කෙසේ වෙතත් ප්‍රධාන ආහාර වේලකට යමක් සපයා ගැනීමේ දුෂ්කරතාවක පසුවෙති. බහුතරයකට සුළු හෝ ආදායම් මාර්ග තිබුණ ද මත්ද්‍රව්‍යවලට පෙළඹීම වැනි කාරණා හේතුවෙන් ආහාර වේලට දෙවැනි තැන ලබාදී ඇති තත්ත්වයක් මතුව තිබේ.

තරාතිරම කුමක් වුවත් මේ අපේ රටේ ජනතාවය. කුසගින්න, පිපාසය කාටත් එක සමානය. අනෙක් අතට දුෂ්කර ආර්ථික පසුබිම හේතුවෙන් රජයට පමණක් මේ ප්‍රජාව නඩත්තු කළ නොහැකිය. එය ලෝකයේ කිසිම රටක සිදු නොවන්නකි. එහෙත් එසේ වූවා කියා ආර්ථික පීඩනයේ දුෂ්කරම තත්ත්වයෙන් පසුවන මේ ජනතාව අත්හැර දැමිය නොහැකිය. එය ශිෂ්ට සම්පන්න සමාජයකට කොහොත්ම නොගැළපෙන්නකි. ඒ නිසාම මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා රජය ගෙන යන සුබසාධන වැඩසටහන්වලට අමතරව මනුෂ්‍යත්වයේ යුතුකම ද ඉටුවිය යුතු කාලයක් එළැඹ තිබේ.

මෙම අභියෝගාත්මක අවස්ථාවේ මේ ජනතාවගේ ආහාර රටාව යහපත් කිරීම සඳහා මිනිසුන් වශයෙන් අපගේ යුතුකම ඉටු කිරීමට අවස්ථාව ලැබී ඇත. දැනටත් ඒ වෙනුවෙන් රාජ්‍ය මෙන්ම සමාජ සුබසාධක ආයතන, දානපතීන්, සමාජ සේවකයන්, ස්වේච්ඡා ප්‍රජා මූලික සංවිධාන, විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ.

දුෂ්කරතාවට පත්වූ ජනතාවට මුදල් හෝ වියළි සලාක බෙදාදීම, වීදි ජනතාවට පිසූ ආහාර පාර්සලයක් ලබාදීම වැනි සම්ප්‍රදායික සත්කාර සමග මේවන විට (Food Bank) ආහාර බැංකු, ප්‍රජා මුළුතැන්ගෙය (Community Kitchen) වැනි සංකල්ප ක්‍රියාවට නැංවෙමින් තිබෙන්නේ ඒ අනුවය. මෙහිදී ප්‍රජා මුළුතැන්ගෙය සංකල්පය කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අවස්ථා කිහිපයකදීම මෙහි වැදගත්කම අවධාරණය කර ඇති අතර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ද උපදෙස් දී ඇත.

● ප්‍රජා මුළුතැන්ගෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

ප්‍රජා මුළුතැන්ගෙයින් හිස් කුස් පුරවන උස් මිනිසුන් වෙමු

ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟයකට මුහුණ දීම සඳහා සූදානම් වීම මෙන්ම, සමූහයක් වශයෙන් පෝෂ්‍යදායි ආහාර වේලක් සකසා ගැනීම හා ආහාර සපයා ගැනීමේ අසීරුතාවෙන් පෙළන අයට ඒ සඳහා පිටිවහලක් වීම ප්‍රජා මුළුතැන්ගෙය සංකල්පයේ මූලික අරමුණ වේ.

ප්‍රජා මුළුතැන්ගෙය සාමූහික කටයුත්තකි. ඉන් අදහස් වන්නේ කණ්ඩායමක් වශයෙන් යම්කිසි ස්ථානයකට, බොහෝ විට පොදු ස්ථානයකට, එකතු වී ආහාර පිසීම යි. ඔවුන් ස්වේච්ඡාවෙන් ඊට එක්වේ. ඒ සඳහා වුවමනා අමුද්‍රව්‍ය සපයා ගැනීම ද එම පිරිසගේ මූල්‍ය හා ද්‍රව්‍යමය දායකත්වයෙන් සිදු කෙරේ. මෙලෙස පිසූ ආහාර ප්‍රදේශවාසීන් වෙත බෙදා දීම සිදු කෙරෙන අතර ඉන් ලැබෙන ආහාරවලින් දිනකට එක්වේලක් හෝ කුසගින්න නිවා ගන්නා පිරිස් දුලබ නොවේ. පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ආහාර වේලක් සපයා ගැනීමේ ගැටලුවට වඩාත් මුහුණදී සිටින්නේ නාගරික ජනතාවයි. බෝගයක් වගා කර ගැනීමට ස්ථානයක් ඔවුන්ට නොමැත. වත්තේ පිටියේ කියා දෙයක් ආහාරය පිණිස එකතු කර ගැනීමට හැකියාවක් ඔවුන්ට නැත. ඒ නිසාම මෙම ජනතාව ඉලක්ක කර ගනිමින් නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන බහුලව ක්‍රියාත්මක වන අතර ඒ සඳහා යම් ප්‍රමාණයක් ආයතන සහ සංවිධාන මේ වන විට අත්වැල් බැඳගෙන සිටිති. එහෙත් එය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව පවතී.

ඒ පෙර සඳහන් කළ පරිදිම ඇති දෙයක් බෙදාහදාගෙන අනුභව කිරීමේ අපේ ජානගත පුරුද්ද වර්ධනය කරගතහොත් රටේ කිසිවකුටත් ආහාර නොමැතිව පීඩාවට පත්වීමට සිදු නොවන බවට වන විශ්වාසයෙනි.

● ජනාධිපති මාධ්‍ය අංශයෙන් ආදර්ශයක්

රාජගිරිය ප්‍රජා සේවා මධ්‍යස්ථානයක පවත්වාගෙන යන ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන සමඟ පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශය ද එක් වූයේ එම විශ්වාසය පෙරදැරිවය. කාර්ය මණ්ඩලය එක්ව පිසූ ආහාර එහිදී බෙදාදෙනු ලැබූ අතර 400කට අධික පිරිසක් එදින ප්‍රජා මුළුතැන්ගෙයින් දිවා ආහාරය ලබා ගත්හ.

ජනාධිපති මාධ්‍ය අංශයේ සුබසාධක සංගමය මගින් මේ සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනීම සිදු කෙරුණු අතර ඇතැම් නිලධාරීන් ස්වේච්ඡාවෙන් එළවළු, මාළු ඇතුළු අමුද්‍රව්‍ය සපයාදීමට ඉදිරිපත් විය. ඉහළ නිලධාරියාගේ සිට සියලු කාර්ය මණ්ඩලයේ ශ්‍රම දායකත්වය මීට හිමිව තිබූ අතර තනතුරු තරාතිරම් පසෙකලා සියලු දෙනා එකමුතුව ආහාර පිසීමට එක්ව සිටින අයුරු දක්නට ලැබිණි.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුධීර නිලංග විතාන යන මහත්වරුන්ගේ පූර්ණ සහයෝගය ඊට හිමි වූ අතර ඡායාරූප අධ්‍යක්ෂ මීෂා ගුණවර්ධන මහතා එම කටයුතු සම්බන්ධීකරණය කළේය. කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ පියසේන දිසානායක, අධ්‍යක්ෂ (පහසුකම්) එම්. එම්. පුෂ්පකුමාර, ජනාධිපති මාධ්‍ය අංශයේ සුබසාධක සහ ක්‍රීඩා සංගමයේ සභාපතිනි නියෝජ්‍ය අධ්‍යක්ෂ දීප්ති ප්‍රමිතා අධිකාරි යන මහත්ම මහත්මීහු ඇතුළු සියලු අධ්‍යක්ෂවරුන්ගේ මඟපෙන්වීම ඊට හිමි වූහ.

එදින ප්‍රජා මුළුතැන්ගෙයින් කුසගින්න නිවාගත් බොහෝ පිරිසක් සිය නොමඳ ස්තුතිය පළ කර සිටි අතර ඔවුන්ගේ ප්‍රතිචාරය හමුවේ රාජකාරියෙන් එහා ගිය මනුෂ්‍යත්වයේ නාමයෙන් සාමුහික මැදිහත්වීමක අසීමිත ආශ්වාදය විඳ ගැනීමට කාර්ය මණ්ඩලයට හැකි විය.

ඔවුන්ට ආහාර වේලක් ලබාදීම පමණක් නොව ඔවුන් සමග කතා බස් කරමින් තොරතුරු විමසීමට ද කාර්ය මණ්ඩල සමාජිකයන් අමතක නොකළහ. රාජ්‍ය සහ පෞද්ගලික ආයතනික මට්ටමින් ද ප්‍රජා මුළුතැන්ගෙය සංකල්පය ව්‍යාප්ත කිරීමට පූර්වාදර්ශයක් සැපයීම මෙම වැඩසටහන සංවිධානය කිරීමේ මූලික අරමුණ විය.

● ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය සංකල්පයක්

ලෝකය පුරා බොහෝ රටවල “ප්‍රජා මුළුතැන්ගෙය” ඉතාමත්ම ජනප්‍රිය සංකල්පයකි. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල්වල අදටත් පවත්වාගෙන යන සහයෝගිතා මුළුතැන්ගෙය දිගුකාලීන ඉතිහාසයක් තියෙන සමාජ සත්කාරයකි. ලෝකයේ ධනවත් හා දියුණු රටවල් ලෙස සැලකෙන ඇමෙරිකාවේ හා කැනඩාවේ පවා කලෙක සිට මෙම ක්‍රමවේදය පවත්වාගෙන යන අතර එක් එක් රටවල මේ සංකල්පය විවිධ ආකාරවලට ක්‍රියාත්මක කරේ. පිසින ලද ආහාර, සුප් වර්ග, වියළි ආහාර ද්‍රව්‍ය, එළවළු පළතුරු බෙදා දීම ඒ අතරින් කැපී පෙනේ. ඒ ඒ රටවල ජනතාවට ආහාරපාන සපයා ගන්නට නොහැකි අවස්ථාවලදී එනම් ස්වභාවික විපත්, යුදමය වාතාවරණවලදී, ආර්ථික අවපාත අවස්ථාවලදී මේ සහයෝගිතා මුළුතැන්ගෙය ක්‍රියාත්මක කෙරෙන අතර මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ මිනිසුන් විසින් මිනිසුන්ටම උදව් උපකාර කර ගැනීමයි.

සුසන්ති ප්‍රදීපිකා

advertistmentadvertistment
advertistmentadvertistment