ප්‍රතිකාර ලබමින් සිටි සැමියා බැලීමට පැමිණි කාන්තාවට අතවර කළ රෝහල් සේවකයාට ඇප

790

රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තම සැමියා බැලීමට පැමිණි කාන්තාවකට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඊ.සී.ජී පරීක්ෂණාගාරය තුළදී බලහත්කාරයෙන් අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි කන්තු රේඛන ශිල්පියෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී හඳුනා ගැනීමට අදාළ කාන්තාවට හැකි වූවාය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෙම සැකකාර සෞඛ්‍ය සේවකයා අනුරාධපුර වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රසාද් ධර්මසේන මහතා ඉදිරියේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙසේ හඳුනා ගනු ලැබීය.

මෙම සැකකාර සේවකයා මීට පෙර අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් රුද්රිකාද සිල්වා හේවාවසම් මහත්මියගේ නියෝගයකට අනුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු අතර, පසුව සැකකරු හඳුනා ගැනීමේ පෙරටුවේදී පැමිණිලිකාර කාන්තාව විසින් හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය.

ඒ අනුව සැකකරුට ලබන මැයි මස 5වන දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.

මෙසේ ඇපමත මුදා හැරියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන කන්තු රේඛන ශිල්පියෙකු වන, කැකිරාව හිරිපිටියාගම වැව පාර, ලිපිනයේ පදිංචි විවාහකයෙකි.

රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි, සැමියා බැලීමට පැමිණ ඇති ගිරිබාව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි විවාහක කාන්තාවක් හට ඉකුත් ජනවාරි මස 18 දින රාත්‍රියේ මෙම පරීක්ෂණාගාර ශිල්පියා විසින් මෙම අතවරය සිදුකර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා කාන්තා කාර්යංශයේ උප පොලිස් පරීක්ෂක දයානන්ද මහතා පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් නීතිඥ චින්තක ගුණතිලක මහතා පෙනී සිටියේය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment