ප‍්‍රතිජීවක ඖෂධ ගැනීමේදී මේ ගැනත් හිතන්න

536

සාමාන්‍යයෙන් අප ඖෂධයක් භාවිත කරන්නේ අසනීපයකදී ය. එහිදී මතුව ඇති රෝගය පාලනය කිරීම සඳහා ඖෂධවල සහාය  ලබාගනී. වේදනා නාශක ඖෂධ භාවිත කරන්නේ යම් රෝගයක් නිසා හටගෙන ඇති වේදනාව පාලනය සඳහාය. එම ඖෂධ වේදනාව පාලනය වූවිට භාවිතය නතර කරයි. නමුත් සෑම ඖෂධයක්ම එලෙස භාවිත කළ නොහැකිය. මෙලෙස පවසන්නේ වර්තමානයේ අප බොහෝ දෙනා ඇතැම් ඖෂධ භාවිත කරන්නේ වේදනා නාශක ඖෂධ භාවිත කරන ආකාරයට බැවිණි. වෛද්‍යවරයා නියම කරන දින  ගණනට එම ඖෂධ භාවිත කරන්නේ නැත. ඖෂධය වරක් හෝ දෙවරක ගන්නා විට හෝ දිනක් හෝ දෙකක් ගන්නාවිට රෝගය පාලනය වන්නට පටන් ගත්පසු දැන් මගේ රෝගය සුවපත්වී ඇතැයි සිතමින් ඖෂධ භාවිතය නතර කරයි.

 මෙය වැරදි ඖෂධ භාවිතයකි. සාමාන්‍ය උණක් හිසදරයක් හෝ ඇෙඟ් පතේ වේදනාවක් ඇතිවූ විට වේදනා නාශක ඖෂධයක් ලබාගෙන එය පාලනය කරගන්නා අයුරින් ඇතැම් ඖෂධ භාවිත නොකළ යුතුය.

 විශේෂයෙන් ප‍්‍රතිජීවක ඖෂධ භාවිතයේ දී වෛද්‍ය උපදෙස් අනුව නිසි ලෙස එම ඖෂධ භාවිතය සිදු නොකළ හොත් මතුව ඇති රෝගය සුවපත්වීම සම්පූර්ණයෙන් සිදු නොවනු පමණක් නොව, එම ප‍්‍රතිජීවක ඖෂධවල ඇති රෝග සුව කිරීමේ හැකියාවට ද බලපෑම් ඇතිවේ.

 ප‍්‍රතිජීවක ඖෂධ භාවිතය

 ප‍්‍රතිජීවක ඖෂධ (Antibiotics) භාවිත කරන්නේ බැක්ටීරියා ආසාදන නිසා මතුව ඇති රෝග සුවපත් කිරීමටය. මෙලෙස බැක්ටීරියා ආසාදන නිසා බහුලව ඇතිවන රෝග ලෙස නිවුමෝනියාව, මුත‍්‍රා ආසාදන, බැක්ටීරියා ආසාදන, තුවාල, සෙම්ගෙඩි, ප‍්‍රදාහය ආදිය දැක්විය හැකිය. ඒනිසා මෙවැනි රෝගවලදී පවතින බැක්ටීරියා ක‍්‍රියාකාරීත්වය විනාශ කිරීමට ප‍්‍රතිජීවක ඖෂධ ලබාදේ.

 සාමාන්‍යයෙන් ප‍්‍රතිජීවක ඖෂධයක් සතියක පමණ කාලයක්වත් භාවිතය සඳහා නිර්දේශ කරනු ලබයි. එය වේදනා නාශක ඖෂධ මෙන් එක් වාරයක් හෝ දෙකක් ගැනීමෙන් පසු නතර කළ නොහැකිය. මතුව ඇති බැක්ටීරියා ආසාදනය සම්පූර්ණයෙන් පාලනය වනතුරු එය භාවිත කළ යුතුය.

 නමුත් වර්තමානයේ බොහෝ දෙනා මෙම ප‍්‍රතිජීවක ඖෂධ භාවිත කරන්නේ වැරදි ආකාරයටය. එය වරක් හෝ දෙවරක් ගන්නාවිට රෝගය සුවපත් වීම ආරම්භ වූවිට භාවිත කිරීම නතර කරයි. එනම් ඇතැම් දෙනා සතියකට නිර්දේශ කරන ඖෂධ දිනකින් දෙකකින් භාවිතය අත්හිටුවයි. දැන් මගේ රෝගය හොඳයි තවත් දින ගණනක් ඖෂධය ගැනීමෙන් ඇති තේරුමක් නැහැ. ඩොක්ටර් මට වැඩි පුර දින ගණනකටත් බෙහෙත් දීලා යැයි සිතයි.

 මෙලෙස නිසි ලෙස ප‍්‍රතිජීවක ඖෂධ භාවිත නොකිරීම නිසා රෝගය ඇතිවීම සඳහා හේතුවූ බැක්ටීරියාව සම්පූර්ණයෙන් විනාශ නොවේ. ඒනිසා එම බැක්ටීරියාව ප‍්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ක‍්‍රියා කිරීමට හෙවත් ප‍්‍රතිරෝධයක් දැක්වීමට කටයුතු කරයි. ප‍්‍රතිරෝධය දැක්වීම බැක්ටිරියාවල ඇති සාමාන්‍ය ගුණාංගයකි. නිසි ලෙස ප‍්‍රතිජීවක ඖෂධ නොගැනීම නිසා මෙම ප‍්‍රතිරෝධය ඇතිවීම තවත් පහසු කරවයි.

 බැක්ටීරියාවක් ප‍්‍රතිජීවක ඖෂධ සඳහා ප‍්‍රතිරෝධයක් දැක්වූ විට එම ඖෂධයෙන් රෝගය පාලනය කළ නො හැකිවේ. එවිට එම රෝගය යළි ඇතිවූ විට වෙනත් ප‍්‍රතිජීවක වර්ගයක් ලබාදීමට සිදුවේ.

 ඒනිසා ප‍්‍රතිජීවක ඖෂධයක් ගැනීමේද එය සම්පූර්ණයෙන් රෝගය පාලනය වනතුරු ගැනීමට අවධානය යොමු කළ යුතුය.

 ප‍්‍රතිජීවක ඖෂධ නිසි වෛද්‍ය උපදෙස්වලින් තොරව නොගත යුත්තේ වෛද්‍යවරයෙක් එම ඖෂධ නියම කරන්නේ රෝගියාගේ වයස, සිරුරේ බර අනුව රෝගියාට පවතින රෝග තත්ත්වය අනුව ආදිය සලකා බලාය. ඇතැම්විට රෝගියාට වකුගඩු රෝගයක් පවතීනම් ප‍්‍රතිජීවක ඖෂධය ලබාදෙන මාත‍්‍රාව ද ගතයුතු පැය ගණන ද ආදිය වෙනත් අයෙකුට වඩා වෙනස් වේ.

 ප‍්‍රතිජීවක ඖෂධ දිනකට ගතයුතු වාර ගණන පැය 06කට වරක් හෝ 08කට වරක් හෝ ලෙසින් ආදී කාල සීමාවක දී ගැනීමට නිර්දේශ කර ඇත්නම් එම නිසි කාලසීමාවේදී ගතයුතුය. එම කාලසීමාවට පෙර ලබාගත හොත් ඖෂධ සාන්ද්‍රණය සිරුර තුළ වැඩිවීමක් සිදුවේ. ඖෂධ විෂවීමක් සිදු වූවා යැයි පවසන්නේ මෙවැනි අවස්ථාවලදී ය. එසේම නිසි පැය ගණන ඉක්මවා ගිය පසු ගත් විට ද බැක්ටීරියාවට දක්වන ක‍්‍රියාකාරීත්වය අඩපණ වේ. එවිට රෝගය නිසි ලෙස පාලනය සිදුවීමට බාධා ඇතිවේ.

 මේ අනුව ප‍්‍රතිජීවක ඖෂධ භාවිතය මගින් නිසි ප‍්‍රතිඵල ලබාගැනීමට නම් නිවැරදිව එය භාවිත කළ යුතුය.

ප‍්‍රතිජීවක ඖෂධ ගැනීමේදී මේ ගැනත් හිතන්න

advertistmentadvertistment
advertistmentadvertistment