ප්‍රතිජීවක ඖෂධ භාවිතයේ හොඳ – නරක

848

වර්තමානයේ ලෝකයේ ප්‍රතිජීවක ඖෂධ අනිසි ලෙස භාවිත කිරීම නිසා විශාල ගැටලු ප්‍රමාණයක් උද්ගත වෙමින් පවතී. ප්‍රතිජීවක ඖෂධ සම්බන්ධව නොදැනුවත්භාවය, නොසැලකිල්ල එයට ප්‍රධාන වශයෙන් දැක්විය හැක. ප්‍රතිජීවක ඖෂධ අනිසි ලෙස භාවිත කිරීමේ අනතුරුදායක බව සහ අවධානයට ගත යුතු කරුණු මොනවාද යන්න සම්බන්ධයෙන් අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහරෝහලේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය එච්. ඩී. ඒ. සංජීවනී මහත්මිය සමග සිදු කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි.

ප්‍රතිජීවක ඖෂධ භාවිතයේ හොඳ - නරක

ප්‍රතිජීවක ඖෂධයක් යනු මිනිසුන්ට හා සතුන්ට වැළඳිය හැකි බැක්ටීරියා ආසාදනවලට එරෙහිව සටන් වදින රසායනික සංයෝගයක් ලෙස හඳුන්වා දිය හැක. එමඟින් බැක්ටීරියා මරා දැමීමක් හෝ ඒවායේ වර්ධනයේ අඩාල කිරීමක් සිදුවේ. බැක්ටීරියා ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහාත්, බැක්ටීරියා ආසාදන වළක්වා ගැනීම සඳහාත් ප්‍රතිජීවක ඖෂධ භාවිත කෙරේ. උදාහරණයක් ලෙස මුත්‍රා ආසාදන, නිව්මෝනියාව, උදරය ආශ්‍රිත ආසාදන හා ආසාදනයට ලක් වූ තුවාල සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිත කරයි.

නිතර වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෛරස් ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම සුදුසු නැත. සෙම්ප්‍රතිශ්‍යාව යනු වෛරස් ආසාදන තත්ත්වයක් වන බැවින් හා වෛරස් විෂබීජවලට එරෙහිව කිසිදු ක්‍රියාකාරීත්වයක් ප්‍රතිජීවක ඖෂධවල නොතිබීම මීට හේතුවයි. නිතර වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව මෙන්ම උගුර ආසාදන තත්ත්වයන්, ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්ව හා ස්වසන නාල ආශ්‍රිත රෝගී තත්ත්ව බොහෝ විට වෛරස් විෂබීජ මඟින් වැළඳේ. මෙවැනි වෛරස් ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ මඟින් කිසිදු බලපෑමක් සිදු නොකරයි. එම නිසා සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනත් වෛරස මඟින් ඇතිකරන ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිත නොකළ යුතුය. අත්‍යවශ්‍ය අවස්ථාවන්හි දී පමණක් වෛරස් ආසාදන මැඬලීම සඳහා භාවිත වන ඖෂධ (Antivirus) රෝගීන් සඳහා වෛද්‍යවරු නිර්දේශ කරයි.

වෛද්‍යවරයෙකු බෙහෙත් වට්ටෝරුවක් රෝගියෙකුට නිර්දේශ කරනු ලබන්නේ බොහොමයක් කරුණු සැලකිල්ලට ගනු ලැබීමෙන් පසුවය. උදාහරණයක් ලෙස රෝග ලක්ෂණ, රෝගී තත්ත්වයේ ස්වභාවය, රෝග ඉතිහාසය, රසායනාගාර ප්‍රතිඵල මෙන්ම රෝගියා භාවිත කරන අනෙකුත් ඖෂධ වර්ග හා ඖෂධ වර්ගවලට දක්වන ආසාත්මිකතා ද සැලකිල්ලට ගැනීමෙන් පසුවය. එමෙන්ම සමහර අවස්ථාවල දී අක්මාවේ ක්‍රියාකාරීත්වය හා වකුගඩුවල ක්‍රියාකාරිත්වය ද සැලකිල්ලට ගනිමින් පරීක්ෂණ සිදු කර බලා බෙහෙත් වට්ටෝරු නිර්ණය කරන අවස්ථා ඇත.

බොහෝ අවස්ථාවල යම් රෝගී තත්ත්වයක් සඳහා වෛද්‍යවරයෙක් ලබා දෙන බෙහෙත් වට්ටෝරුවක ඖෂධ වර්ග කිහිපයක් මෙන්ම ප්‍රතිජීවක ඖෂධ ද අන්තර්ගත විය හැකිය. එම නිසා එක් රෝගියෙකුට නිර්දේශ කළ බෙහෙත් වට්ටෝරුවක්, තවත් කෙනෙකුට කිසිසේත්ම නොගැළපෙන අතර එසේ වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ භාවිත කිරීම අතිශය අවදානම් සහිතය. උදාහරණයක් ලෙස, ඖෂධ ආසාත්මිකතා (Drug allergies) හඳුන්වා දිය හැකිය. යම් පුද්ගලයකුට කිසිදු අසාත්මිකතාවක් සිදු නොකරන ඖෂධයක් තවත් කෙනෙකුට මාරාන්තික අසාත්මිකතාවයක් සිදු කළ හැක. ඖෂධ මාත්‍රාව ද කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස් වෙයි. විශේෂයෙන්ම, කුඩා දරුවන්ට ඖෂධ මාත්‍රාව නිර්ණය කරනු ලබන්නේ බර අනුවයි. මේ අනුව යම් රෝගියකු නිර්දේශිත ඖෂධ මාත්‍රාවට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් ලබා ගැනීම අන්තරාදායක ය. ඖෂධ මාත්‍රාව වැඩි වුවහොත් (Drug overdose) ශරීරයේ අනෙකුත් අවයවවලට (විශේෂයෙන්ම වකුගඩු හා අක්මාව) හානි සිදුවිය හැකි වන අතර, අඩු මාත්‍රා භාවිත කිරීමෙන්, තම රෝගී තත්ත්වය නියමිත ලෙස පාලනය නොවීමෙන් ගැටලු ඇති විය හැකිය.

ඔබ වෙනත් කෙනෙකු සඳහා නිර්දේශ වූ ඖෂධ වට්ටෝරුවක් භාවිත කිරීමෙන්, ඔබ ඔබේ වෛද්‍යවරයාව මඟ හරිනු (Bypass) ලබයි. මෙවැනි අවස්ථාවන්හිදී, වෛද්‍යවරයකු මගින් සිදුකරන රෝග පරීක්ෂාව ද ඔබට මග හැරී යනු ඇත. ඒ හේතුවෙන් වෛද්‍යවරයා විසින් අවස්ථානෝචිත ගනු ලබන තීරණය ද මඟ හැරෙනු ඇත. උදාහරණ ලෙස සමහර අවස්ථාවලදී වෛද්‍යවරයා විසින් ඔබට මූලික ප්‍රතිකාර පමණක් ලබා දී වැඩිදුර ප්‍රතිකාර හා පරීක්ෂණ සඳහා රෝහල්ගත වන ලෙස උපදෙස් ලබා දෙනු ලැබේ. මෙම තීරණය ඔබගේ ජීවිතයේ ඉතාමත් වැදගත් තීරණයක් වනු ඇත. මෙවැනි අවස්ථාවක ඔබ වෙනත් අයෙකුට නිර්දේශ වූ ඖෂධ වට්ටෝරුවක් මත යැපුණ හොත් ජීවිත අවදානමකට පවා ලක් විය හැකියි.

සාමාන්‍යයෙන් ඖෂධ වර්ග දෙකක් අතර අන්තර් ක්‍රියා (Drug Interactions) ඇතිවිය හැකිය. මේ හේතුවෙන් ශරීර අභ්‍යන්තරයේ දී ඖෂධ ක්‍රියාකාරීත්වය වෙනස් වීම් සිදු වී, සමහර ඖෂධවල ක්‍රියාකාරීත්වය පමණට වඩා වැඩි වීමත්, සමහර ඒවායේ ක්‍රියාකාරීත්වය පමණට වඩා අඩු වීමත් සිදුවේ. මේවායේ අහිතකර ප්‍රතිඵල ලෙස විවිධ අතුරු ආබාධ තත්ත්ව මෙන්ම යම් රෝගී තත්ත්වයක් සඳහා ඖෂධවලින් බලාපොරොත්තු වන ප්‍රතිලාභ නොලැබීමත් සිදුවිය හැක. එමනිසා වෙනත් රෝගී තත්ත්වයන් සඳහා ඖෂධ ලබා ගන්නේ නම්, වෛද්‍ය නිර්දේශයකින් තොරව අමතර ඖෂධ ලබා ගැනීම සිදු නොකළ යුතුය. එමෙන්ම ඇතැම් ඖෂධ ඇතැම් රෝගීන් සඳහා නිර්දේශ කරනු නොලැබේ. උදාහරණ ලෙස හදවත් රෝගීන්, වකුගඩු රෝගීන්, දියවැඩියාව රෝගීන් හා ඇදුම රෝගීන් සඳහන් කළ හැක. එම නිසා මෙවැනි රෝග තත්ත්වයන් සහිත පුද්ගලයන් වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ භාවිත කිරීම අතිශය අවදානම් සහිතයි. ප්‍රතිජීවක ඖෂධ වර්ග ගණනාවක් පවතින අතර, ඒවා විවිධ ප්‍රභේදයන්ට අයත් ඒවා වේ. එකම බැක්ටීරියා ආසාදන තත්ත්වයක් සඳහා වුවද, නිර්දේශ වන ප්‍රතිජීවක ඖෂධය කෙනකුගෙන් තවත් කෙනකුට වෙනස් වන්නේ කරුණු රාශියක් සැලකිල්ලට ගැනීමෙන් පසුවය. එම නිසා වෙනත් කෙනෙකු නිර්දේශ කළ බෙහෙත් වට්ටෝරුව පවතින ප්‍රතිජීවක ඖෂධය, තවත් කෙනෙකුට කිසිසේත් ම නොගැළපෙන අතර, එය ජීවිත අවදානමකට අතවැනීමක් ද විය හැක.

සියලුම ආසාදන සඳහා ප්‍රතිජීවක අත්‍යවශ්‍ය වන්නේ නැත. බැක්ටීරියා ආසාදන සඳහා පමණක් ප්‍රතිජීවක ඖෂධ භාවිත කෙරේ. ඒ අතරින් සියලුම බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ අත්‍යවශ්‍ය නොවේ. ඒ හේතුවෙන් ප්‍රතිජීවක ඖෂධ අත්‍යවශ්‍ය වන බැක්ටීරියා ආසාදන හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍යවරයකුගේ සහාය අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ආසාත්මිකතා සඳහා (Allergies) කිසිසේත්ම ප්‍රතිජීවක ඖෂධ භාවිත නොකෙරේ.

මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන බැක්ටීරියා රාශියක් ශරීරය මත හා අභ්‍යන්තරයේ වාසය කරයි. මේ නිසා ප්‍රමිතියෙන් තොර හා තමන්ගේ අභිමතාර්ථය පරිදි ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීමෙන් මිනිස් සිරුරේ හිතකර බැක්ටීරියා විනාශ විය හැකිය. හිතකර බැක්ටීරියා විනාශ වීමේ දී අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ එක් කොටසක් ද දුර්වල වීම සිදුවේ. මේ හේතුවෙන් බාහිරින් පැමිණෙන අහිතකර බැක්ටීරියා හා අහිතකර විෂබීජවලට දක්වන ප්‍රතිරෝධය අඩු වී, ශරීරයේ වෙනත් ආසාදන ඇතිවීමේ සම්භාවිතාවය ද වැඩි වේ. සෑම ඖෂධයක්ම අඩු හෝ වැඩි වශයෙන් අතුරු ආබාධ සහිතයි. එම නිසා ඒවා රෝගීන්ට ලබා දීමේදී නිවැරදි මාත්‍රාව හා නිවැරදි කාලයේ අඩංගු වෛද්‍ය නිර්දේශය තුළින් ඒවායේ ප්‍රතිලාභ ශරීරයට ලැබීම වගේම අතුරු ආබාධ අවම කර ගැනීමට ද හැකියාව ඇත. නමුත් අත්තනෝමතික ලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම විවිධාකාරයෙන් අතුරු ආබාධ ඇති වීමට හේතුවක් වේ. මෙම අතුරු ආබාධ ඉතාමත් සුළු ආසාත්මිකතාව සිට ඉතාමත් දරුණු මාරාන්තික අතුරු ආබාධ දක්වා විවිධාකාරයෙන් වර්ධනය විය හැකිය. ඒ අතරින් පූර්ණ කාලීන හෝ අර්ධකාලීන ආබාධිත තත්ත්වයන් (Permenent/ semi permanent dissabilties) ප්‍රධාන වේ. උදාහරණ වශයෙන් ඇස් පෙනීමේ දුර්වලතා, කන් ඇසීමේ දුර්වලතා, අක්මාව හා වකුගඩු අක්‍රිය වීම, විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්ගේ හා කිරිදෙන මව්වරුන් ප්‍රතිජීවක ඖෂධ මෙසේ අත්තනෝමතික ලෙස භාවිත කිරීමෙන් තමන්ගේ මෙන්ම, දරුවාගේ ජීවිතය අවදානමකට ලක් කරනු ලබයි. ඇතැම් පුද්ගලයන් ප්‍රතිජීවක ඖෂධ මුල් මාත්‍රා කිහිපය පමණක් ලබාගැනීමෙන් පසු, ඉතිරි මාත්‍රා ගැනීම මඟහරිනු ලබයි. පසුකාලීනව මෙවැනිම ආසාදන තත්ත්වයක් ඇති ඇතිවුවහොත් පෙර අවස්ථාවක දී ලබා ගත් ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය උපදෙස් නොමැතිව ලබා ගැනීම හෝ වෙනත් පුද්ගලයකු සඳහා ලබා දීම සිදු කරයි. මෙසේ බැක්ටීරියා වර්ග ප්‍රතිජීවක ඖෂධවලට අනිසි ලෙස නිරාවරණය වීමෙන් ඒවායේ ජානමය විකෘතිතා (Mutations) ඇති විය හැක.

මෙහි ප්‍රතිඵල ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධය දක්වන බැක්ටීරියා නිර්මාණය වන අතර, එහෙයින් එම ප්‍රතිජීවක ඖෂධ තවදුරටත් එවැනි බැක්ටීරියා සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගත නොහැකි තත්ත්වයට පත්වේ. මෙම තත්ත්වය සමස්ත සමාජයටම විශාල බලපෑමක් එල්ල කිරීමට හේතුවක් වී ඇත. ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවල් හා දිළිඳු රටවල් මේ ආකාරයේ ප්‍රතිරෝධී බැක්ටීරියා ආසාදනවලින් විශාල වශයෙන් බැට කමින් සිටින අතර, සෞඛ්‍ය පද්ධතිය සඳහා වෙන් කරනු ලබන මුදල්වලින් ඉතා විශාල ප්‍රමාණයක් විදේශ විනිමය ලෙස ඉතාමත් මිල අධික ප්‍රතිජීවක ඖෂධ (Highend Antibiotics) සඳහා වැය කිරීමට සිදු වී ඇති අතර, මෙවැනි රෝගීන් සඳහා රෝහල්වලට විශාල පිරිවැයක් දැරීමට ද සිදු වී ඇත. සමස්තයක් ලෙස ගත් කල ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමේදී සුදුසුකමලත් වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය නිර්දේශ මත පමණක් ඖෂධ ලබා ගැනීමෙන් හා ඔබත්, ඔබගේ පවුලේ අය හා අනෙක් අයත් ඒ සඳහා යොමු කිරීමෙන් මුළු සමාජයටත් රටටත් එය මහත් පිටිවහලක් වනු ඇත.

ශෂී ගමගේ
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment