ප්‍රතිපත්තියට මුල්තැන දිය යුතු වෙසක් තෙමඟුල

864

වෙසක් නිමිත්තෙනි

අනුරාධපුර ලංකාරාමාධිකාරී”
උතුරු මධ්‍යම දිශාවේ
ප්‍රධාන අධිකරණ සංඝනායක
රැළපනාවේ
ධම්මජෝති නාහිමි

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා සචිත්ත පරියොදපනං
එතං බුද්ධානසාසනං

සෑම බුදුවරයෙක්ගේම දේශනාව වන්නේ සියලු පාපයන්ගෙන් මිදී සිත පිරිසිදු කරගෙන කුසල් රැස්කර ගැනීම ය. එහිදී අප මුල්තැන දිය යුත්තේ ආමිස පූජාවන්ටද නැතහොත් ප්‍රතිපත්ති පූජාවන්ට ද යන්න විමසා බැලිය යුතුව තිබේ. වර්තමානයේ අපට වැඩි වශයෙන් දක්නට ඇත්තේ ආමිස පූජාවන් ය. ශාරීරික චෛත්‍ය” පාරිභෝගික චෛත්‍ය සහ උද්දේසික චෛත්‍ය යන ත්‍රිවිධ චෛත්‍යයන් උදෙසා සැදැහැවතුන් තම ශක්ති ප්‍රමාණයෙන් පුද පූජාවන් සිදුකරනු පෙනේ. බුදුන් උදෙසා ආහාර පාන” මල්පහන්” සුවඳ දුම්” ගිලන්පස ආදී පූජාකරන දේ අපමණ ය. ඒ සියල්ල ආමිස පූජාවන් ගනයට වැටේ.

අසූහාර දහසේ පහන් පූජා” මල්” පහන්” සුවඳ දුම්” ඖෂධ පූජා” සිවුරු පිරිකර පූජා” තූර්ය නාද පූජා” ධජ පතාක පූජා ඇතුළු පංචේන්ද්‍රියන්ට හසුවන සියලු පූජා” තොරණ පැවැත්වීම්” පහන් කූඩු සැකසීම්” පෙරහැර පැවැත්වීම්” ප්‍රතිමාකරණයන්” චෛත්‍ය ගොඩනැඟීම්” දන්සල් පැවැත්වීම් ආදී සියල්ල ගැනෙන්නේ ආමිස ගණයට ය. ධාර්මිකව හරිහම්බ කිරීමේ මාර්ග අමතක කර කෙසේ හෝ මුදල් උපයා කරන විවිධ පිංකම් මෙන්ම බෞද්ධ උත්සව මුල් කරගෙන සිදුකරන විකාරී සැණකෙළි ආදිය පවා ආමිෂ ගොඩට එකතු කරන්නෝ ද සමාජයේ වෙති.

ධාර්මිකව කරන මේ ආමිස පූජා පැවැත්වීමෙන් ශ්‍රද්ධාව වැඩේ” තෘෂ්ණාව ක්ෂය වේ” කාය” වාග් සහ මනෝ සුචරිතය ඇති වේ. එය භාවනාමය සිතිවිලි පුහුණු කරන ක්‍රියාවලියකි. එහෙත් සසරින් එතෙරවීමට වහ වහා ප්‍රතිපත්ති පූජාවට යොමුවිය යුතු බව බුදුන්ගේ දේශනාව විය. මුල්තැන දිය යුත්තේ ප්‍රතිපත්ති පූජාවට බව බුදුන් අවස්ථා ගණනාවක දීම වදාරා තිබේ.

බුදුන් වහන්සේ සියලු බුද්ධ කෘත්‍යයන් නිමවා මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේ දී පිරිනිවන් පෑමට සූදානම් වූ මොහොතෙහි දෙවියෝ සහ බ්‍රහ්මයෝ අතුරු සිදුරු නැතිව පිරිවරමින් දිව්‍ය මල් සුවඳින්” දිව්‍ය තූර්ය නාදවලින් පූජා පැවැත්වීමට පටන්ගත් හ. මේ අවස්ථාවෙහි ආනන්ද තෙරුන් වහන්සේ අමතා බුදුන් වහන්සේ මෙසේ වදාළහ. “ආනන්දයනි” මල්” සුගන්ධය” තූර්ය නාදය ආදියෙන් තථාගතයන් වහන්සේට සත්කාර කළේ හෝ ගරු කළේ හෝ පූජා කළේ හෝ නො වෙයි. යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසක උපාසිකාවක් හෝ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි” සම්‍යක් ප්‍රතිපත්තියෙහි හැසිරෙයි ද” එය තථාගතයන් වහන්සේට කරන උසස් ම සත්කාරයත්” ගරු කිරීමත්” පූජා කිරීමත් වෙයි.” යනුවෙනි. දීඝ නිකායට අයත් මහාපරිනිබ්බාන සූත්‍රයේ එලෙස දැක්වේ.

“යො පන තිසු සරණෙසු පඤ්චසු සීලෙසු දසසු සීලෙසු පරිපූරකාරි හොති මාසස්ස අට්ඨ උපොසථෙ කරොති” දානං දෙති” ගන්ධ පූජං මාලා පූජං කරොති” මාතරං උපට්ඨාති” පිතරං උපට්ඨාති” ධම්මිකෙ සමණබ්‍රාහ්මණෙ උපට්ඨාති” අයං ධම්මානුධම්ම පටිපන්නො නාම හොති.”

ලෙස පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා ඇති එහි තේරුම “යමෙක් තිසරණය පඤ්චශීලය දශශීලය සම්පූර්ණ කෙරේ ද” මාසයෙහි පොහෝ දින අටෙහි පෙහෙවස් වෙසේ ද” දන් දෙයි ද” සුවඳ පූජා කෙරේ ද” මල් පූජා කෙරේ ද” මවට උපස්ථාන කෙරේ ද” පියාට උපස්ථාන කෙරේ ද” ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කෙරේ ද” ඒ තැනැත්තා ධර්මය අනුව පිළිපන්නේ නම් වන්නේ ය” යනුයි. මේ අටුවා පාඨයට අනුව දන් දීම සුවඳ මල් පිදීම මව්පියන්ට ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කිරීම යන මේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති බව ය. ප්‍රතිපත්තිය සම්‍යක් ප්‍රතිපත්ති” මිථ්‍යා ප්‍රතිපත්ති වශයෙන් දෙයාකාර වේ. මේ ප්‍රතිපත්ති පූජා කථාවෙහි අදහස් කරන්නේ සම්‍යක් ප්‍රතිපත්තිය ය. එනම් බුදුරදුන් විසින් නො කළ යුතු යැයි වදාළ දේවල් වලින් වැළකීමත් කළ යුතු යැයි වදාළ දේවල් කිරීමත්ය. යමෙක් බුදුරදුන් විසින් කළ යුතු යයි වදාරා ඇති දානාදී පින්කම් වලින් කුමක් හෝ කෙරේ නම් එය ප්‍රතිපත්ති පූජාව බව දත යුතුය.

වක්කලී හිමියන්ගේ කතා පුවත ද මෙයට හොඳම නිදසුනකි. වක්කලී හිමියන් බුදු රජාණන් වහන්සේගේ රූපශ්‍රීය දැකීමෙන් ආශ්වාදය ලැබී ය. උන්වහන්සේ එයින් පමණක් සෑහීමට පත්වූ අතර පිළිවෙත් පිරීමට ඉදිරිපත් වුණේම නැත. පසුව උන්වහන්සේට සිදුවන්නට ගිය විපත දුටු බුදුන්වහන්සේ මෙසේ වදාළ සේක.

“කිං තේ වක්කලි ඉමිනාපුතිකායේන දිට්ඨෙන” යෝ ඛෝ වක්කලි ධම්මං පස්සති – සෝ මං පස්සති යෝමං පස්සති සෝ ධම්මං පස්සති” ධම්මංහි වක්කලි පස්සන්තො මං පස්සති”

“වක්කලි මේ කුණු ශරීරය දෙස බලා සිටීමෙන් ඔබට ඇති ඵලය කුමක්ද? යමෙක් ධර්මය දකීනම් ඔහු මා දකින්නේය. යමෙක් මා දකින්නේ නම් ඔහු ධර්මය දකින්නේය. වක්කලී ධර්මය දකින කෙනා තමයි මා දකින්නේය.” යන්න බුද්ධ අවවාදය විය.

වත් පිරීමත් පැවිද්දන්ගේ ශීලයේ කොටසකි. ආචාර්යෝපාධ්‍යාය සද්ධිවිහාරික අන්තේවාසික සෑම දෙනා විසින් ම පිරිය යුතු වත් ඇත්තේ ය. මහ තෙරුන් වහන්සේගේ පටන් එදින ම පැවිද්ද ලත් සාමණේර නම දක්වා ඇති සෑම දෙනා විසින් තම තමන් අයත් වත් සම්පූර්ණ කළයුතු ය.

“වත්තං න පරිපූරෙන්තෝ න සීලං පරිපූරති” අසුද්ධසීලෝ දුප්පඤ්ඤෝ චිත්තේකග්ගං න වින්දති. වික්ඛිත්තචිත්තෝ නේකග්ගෝ සද්ධම්මං න ච පස්සති අපස්සමානෝ සද්ධම්මං දුක්ඛා න පරිමුඤ්චති.” (විනය විනිච්ඡය වත්තක්ඛන්ධක)

“වත් සම්පූර්ණ නො කරන තැනැත්තේ ශීලය සම්පූර්ණ නො කෙරේ. ශීල ශුද්ධිය නැති නුවණ නැති තැනැත්තේ සිතේ එකඟ බවක් නො ලබයි. වික්ෂිප්ත වූ එකඟ නො වූ සිත් ඇත්තේ ධර්මය

නො දකී. ධර්මය නො දක්නේ දුකෙන් නො මිදේ” වත් නො කිරීමෙන් සාමණේරයෝ දඬුවම් ලැබිය යුත්තෝ වෙති. භික්ෂූන්ට දුකුළා ඇවැත් වේ. චූලවග්ග පාළියේ වත්තක්ඛන්ධකයේ වත් තුදුසක් වදාරා තිබේ. ඒවා විනය විනිශ්චයෙහි ගාථා දෙකකින් මෙසේ දක්වා තිබේ.

”නහි මය්හං මාලා ගන්ධාදීහි පූජං කරොන්තා මම පුජං කරොන්තිනාම ධම්මානුධම්මං පටිපජ්ජන්තා ඒවා පන මං පූජෙන්තී නාම”

මල් සුවඳ ආදියෙන් මට පුද පූජා පවත්වන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ නොවෙත්. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ වෙත් (ධම්මපදට්ඨ කථා ධම්මාරාම වත්ථු)

මූලික බෞද්ධ ඉගැන්වීමවලට අනුව ජීවිතය සකස්කර ගැනීම ප්‍රතිපත්ති රැකීම ය. එනම් ශීලයන්ගේ පිහිටා කටයුතු කිරීම ය. ගිහියන් මූලිකවම පංචශීලය රැකීම ප්‍රතිපත්තිය විය යුතුය. පන්සිල් සුරකින සමාජයක නොසංසිඳෙන අවුල් වියවුල් ඇති නොවේ. ඇතිවන ගැටලු විසඳීම පහසු ය. ජනතාවට මෙන්ම පාලකයන්ට ද අනවශ්‍ය පීඩනයන් එල්ල නොවේ. වර්තමාන සාමාජය මේ තරම් සාහසික තත්ත්වයකට පත්ව අත්තේ පස්පව් වලින් වැළකීමේ ප්‍රතිපත්තිය නොරැකීම නිසා ය. අෂ්ඨාංග ශීලය” දස ශීලය ආදී උපෝසථ ශීලයන් මෙන්ම පැවිදි පාර්ශ්වය සුරැකිය යුතු සාමනේර ශීලය හා උපසම්පදා ශීලය ආදි පිළිවෙත් ප්‍රතිපත්ති පූජාවන්ය. ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දීමෙන් ආමිස පූජාව අත්හල යුතු යැයි කිසිසේත් අදහස් නොකෙරේ. මේ දෙක හරියට එක මඟ ඇති රේල් පීලි දෙකක් තරමට එකකට එකක් සමාන්තරව යායුතු ප්‍රතිපත්ති දෙකකි. ආමිස පූජාවලින් තොරව ප්‍රතිපත්ති පූජාව පිරීම ඉතා දුෂ්කර ය. ප්‍රතිපත්ති පූජාව යනු බුදුන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගයේ ගමන් කිරීමයි. වහා කෙලෙස් නැසීමට ක්‍රියා කිරීමයි. නිවන් මාර්ගය වළකන ලෝභ” ද්වේෂ” මෝහ විනාශ කිරීමයි. ශ්‍රද්ධාව පදනම් ව කටයුතු කිරීමයි. බුදු ගුණ හඳුනා ගනිමින් තම මනස තුළ ප්‍රඥාව දියුණු කිරීම ප්‍රතිපත්ති පූජාව නම් වෙයි. ඊට අවශ්‍ය යහපත් කායික මානසික පරිසරය උදාකරන්නේ ආමිස පූජාවෙන් ය. එනිසාම වර්තමානයේ රටත් ලෝකයත් පත්ව ඇති අර්බුද හමුවේ ආමිසයට වඩා ප්‍රතිපත්ති පිරීම මේ වෛශාක්‍ය මංගල්‍ය සමයේ කාලෝචිත බව අප අමතක කළයුතු නොවේ.”

advertistmentadvertistment
advertistmentadvertistment