ප්‍රථම ප්‍රේමය කඳුළින් සිතුවම් කළ රසවතකු සමඟ

546

‘චන්ද්‍රසිරි දොඩංගොඩ’ ඒ පුවත්පත් කලාව මතුනොව සමස්ත
ලේඛන, කලාව තුළ රටේ කිසිවෙකුටත් අමතක නොවන, වත්මනෙහි
පවා කිසිවකුත් අමතක නොකළ විශිෂ්ට චරිතයකි. ලේඛන කලාවෙහි
චන්දු තරම් පෙළහර පෑ පුවත්පත් කලාවේදියකුවේ දැයි සිතේ. මේ එවන්
විශිෂ්ටයෙකු “කරුණාරත්න ජයලත්” ශූරීහු ගැන කලකට ඉහතදී දිවයින
පුවත්පතට සැපයූ ලිපියකි. විශිෂ්ටයකු අතින් විශිෂ්ටයකු ගැන කෙරුණු
සාර්ථකම ලියැවිල්ල මෙය බව අපි විශ්වාස කරමු. එහෙයින් මේ ලිපිය එකී
ලේඛකයන් දෙදෙනාටම උපහාරයක් වනු ඇති බවට සැකයක් නැත. මේ
ලිපිය සම්පාදනය වන්නේ කරුණාරත්න ජයලත්ගේ ජනවාරි 10 වැනිදාට
යෙදී ඇති උපන් දිනය සමරනු පිණිසය.

මේ ලිපිය කියවන ඔබ කවර වයස් කාණ්ඩයක සිටිත් දැයි මම නොදනිමි. එහෙත් එයින් බොහෝ දෙනකුට ගොළු හදවතෙහි සුගත් වීරසේකර මෙන්ම දමයන්තී ද මතක ඇතැයි මම සිතමි.

ගොළු හදවත පළ වූයේ මෙයින් දෙතිස් වසරකට පෙරදී ය. අද සිය ජීවිතයේ 40 වන විය පසුකර සිටින කවර පාඨකයකු වුවද මෙයින් වසර දෙතිසකට පෙර ගොළු හදවත කියවා ඇතැයි මම සිතමි.

ළමා විය පියමං කොට යෞවනයේ දොරටුව අබියසට පා තැබූ සුගත් ගේ මුළු හදවතම දමයන්ති වෙනුවෙන් මුසපත් වී ගියේය. එහෙත් යෞවනයේ ප්‍රේමය නමැති නුහුරු මිහිරෙන් කිතිකැවුණු නමුදු සුගත් වෙනුවෙන් සදා කැපවීමට දමයන්තිගේ දෛවයෙහි ජීවන රේඛා ලියැවී තිබුණේ නැත.

ප්‍රථම ප්‍රේමය කඳුළින් සිතුවම් කළ රසවතකු සමඟ

“මම ඔයාට අයිති වෙන්නේ නෑ සුගත්. ඔයා දකින්නත් කලින් ඉඳලා මං වෙන කෙනකුට ආලය කරනවා”

පුරා වසර දෙකක් අවසානයෙහි මුහුදු වෙරළ අසබඩ දී දමයන්තී දුන් පිළිතුරෙන් සුගත් වීරසේකරගේ මුළු ආත්මයම සිය ප්‍රථම ප්‍රේමය අහිමි වී යෑමේ සාතිශය වේදනාවෙන් විකෘති වී ගියේය.

එදා එලෙස අනුවේදනීය ලෙස වෙන්ව ගිය සුගත් සහ දම්මි දෙදෙනා දශක තුනක් ගෙවී ගිය නමුදු තවමත් බොහෝ දෙනකුගේ මතකයෙහි රැඳී පවතින්නේ එබැවිනි.

එදා අප හොරණ පාරේ පොකුණුවිටට ළඟා වන විට දහවල් දහය පසු වී තිබිණි. පොකුණුවිට හන්දියට මදක් මෙහායින් දකුණට හැරෙන ගුරු පාර ඔහුගේ නිවසට මඟ පෙන්වයි.

තවමත් නොමැකුණු ගැමි සුන්දරත්වය ලකුණු කරන දලු සහ මලින් පිරි ගහකොළ ගුරු පාර දෙපස සරුවට වැඩී තිබිණි.

ඔහුගේ නිවසට හැරෙන විසල් මිදුලට පිවිසෙත් ම සුගත් වීරසේකර හිනැහෙමින් ආලින්දයට පැමිණ අප පිළිගත්තේය.

අර සොඳුරු විචිත්‍ර යෞවනය ඉක්ම ගොස් තිබිණි. ඔහුගේ හිසෙහි කෙස් සියල්ලම සුදු පැහැ ගැනී තිබිණි.

සුගත් වීරසේකරගේ මුණුබුරන් ගෙතුළ සාලයෙහි සෙල්ලම් කරන හඬ ඇසිණ.

දමයන්ති වෙනුවට කරුණාවන්ත මුහුණකින් හෙබි තැන්පත් වියේ කාන්තාවක් පෙරට පැමිණ අප සමඟ සිනාසුණාය.

දැන් ඉතින් මෙතැන් සිට අප ඔහු කරුණාසේන ජයලත් නමින් හඳුන්වමු. 1952 දී පළ කළ සිය ප්‍රථම නවකතාව වූ ගොළු හදවතට සාහිත්‍ය මණ්ඩලයේ සම්මානය හිමිකර ගත් ජයලත් මේ වන විට නවකතා 14 ක් පළකොට ඇත.

මුව දඩයම, ලස්සන ඇස්, බඹා කෙටූ හැටි, ගැහැනු ළමයි, පිරුණු හදක්, යහළු යෙහෙළි, මව සහ දුව, ඇවැස්ස නෑයෝ, හතුරු හිතක්, රිදී නිම්නය, සකීගේ කතාව, කුල කුමරිය, මානවිකාවක් සහ පෙම් පුවතක් යන නවකතා දාහතර ඔහුටම විශේෂ වූ අනන්‍යතාවක් පළ කළේය.

සමස්තයක් ලෙස ඔහුගේ සියලු නවකතා ගත් කල ප්‍රේමය, යෞවනත්වය, ජීවිතයෙහි චමත්කාරය පමණක් නොව සමාජ අසාධාරණය තුළ අසරණ වුණු තරුණ ජීවිත පිළිබඳව ද ඉතා දිගු සැබෑ කතන්දරයක් අප වෙත ගෙන එයි.

මේ සා දීර්ඝ චින්තාවලියක යෙදෙන මිනිසකුගේ සිත පුබුදු කරවන චමත්කාරයක් බිහි කළ බලවේග මොනවා දැයි දැන ගන්නට කෙනකු තුළ ස්වභාවික කුතුහලයක් උපදී.

අප ජයලත් සමඟ පිළිසඳර ආරම්භ කළේ ඔහුගේ ළමා විය ඇරඹුණු පඩි පෙළේ සිටය.

මම ඉපදුණේ රයිගම් කෝරළේ කුඹුක කියන ගමේ. ඒ ගම හරිම සුන්දරයි. මගේ සිතට මුලින් ම බලපෑවේ මගේ උපන් ගමේ සොබාසිරියයි. සොබා දහමින් ලබන තෘප්තිය වෙන කිසිම දේකින් ලබන්න බෑ. හැමදාම අලුත් වෙවී හැදෙන ගහකොළ අපේ හිතේ ජීවනයක් ඇති කරනවා. ඉර බැහැ ගෙන යන හැන්දෑව දවසින් දවසට වෙනස්. අද ඉර බැහැගෙන යන හැන්දෑවේ අහසේ පාට ඊයේට වඩා වෙනස්. සොබා දහමේ චමත්කාරය ඒකයි. ඒ වගේම එවැනි විචිත්‍ර සොබාදහමක් ඉතිරි වෙලා තියෙන්නේ ගමේ විතරයි.

ප්‍රථම ප්‍රේමය කඳුළින් සිතුවම් කළ රසවතකු සමඟ
කරුණාසේන ජයලත් සිය පවුල සමග

මගේ මුළු ළමා කාලය ම ගෙවී ගියේ මේ සොඳුරු ගමේ සුන්දර සොබාදහම තුළයි.

මම කුඩා කාලෙ පැය ගණන් ගත කරපු වෙල් යායවල්, ගලා යන හඬ අහගෙන ඉඳපු ඇළ දොළවල් මේ කිසිවක් ගැන පසු කාලෙ මං ලියපු පොත්වල කිසිම තැනක සඳහන් වෙන්නෙ නෑ. ළමා වියේ ගමේ සොබාදහමෙන් මගේ සිත ආවේශයක් ලැබුවා. මතකයේ රැඳුණු ඒ චමත්කාරය ලිවීමෙහිලා මා පොළඹවනු ලැබුවා පමණයි.

පරිසරය පමණක් නොවෙයි. ගමෙහි ජීවිතයත් මට බලපෑවා. ගමේ තැනින් තැන ගෙදරක හැන්දෑවට වෙස්සන්තර ජාතකය කියවන හඬ ඇහුණා. ඒ අසා සිටීම සිතට හරිම සාංකාවක් ගෙන ආවා.

ඒ විතරක් නෙමෙයි. ගමේ කෝපි මල් පිපෙන්නේ එක කාලෙකටයි. ඒ වාරෙ කෝපි මල් පිපුණහම පෝයක් ඇතත් නැතත් ඒ මල් නෙළාගෙන අපි පංසල් ගියා. ගමේ තරුණියන් කැලේ දරට ගියහම කොබෝලීල මල් පොකුරක් දැක්කොත් ඒක කඩාගෙන එනවා. එදාට පෝය නැතත් ඒ මල් අරගෙන අපි පංසල් ගියා.

මේ ජීවිතය තුළ එක්තරා විදියක චමත්කාරයක් තිබුණා. මගේ හැඟීම් පිබිදුණේ ඒ ජීවිතය තුළයි. නමුත් කෝපි මල් අරං පංසල් ගිය විදිය කවදාවත් මගේ නවකතාවක ලියැවිලා නෑ. ඒ චමත්කාරය මා වින්දා පමණයි. ඒ වින්ද චමත්කාරය තුළ ලේඛකයෙක් බිහිවුණා වෙන්න පුළුවන්. මම ඔබට තේරුම් කරලා දිය යුත්තේ ඒකයි.

එපමණක් නොවෙයි. මගේ අම්මා හුඟාක් පොත් කියෙව්වා. ඒකත් මට බලපෑවා. කුඩා කාලයේ පොත් කියවීමට මම හුඟාක් කාලය වැය කළා. මාමා ගෙදරට ගේන පොත් ඔක්කොම මම කියෙව්වා. මගේ පොත් කියවීම ගැන මාමා ප්‍රසාදය පළ කළේ නෑ. ඒ කාලේ නවකතා කියවීම බාලයන්ට නුසුදුසු දෙයක් කියලයි සැලකුණේ.

නමුත් මම දිගටම කියෙව්වා. එන්. ඒ. විමලනාත් කියන ලේඛකයාගේ නවකතාවක් තිබුණා, ශ්‍රීමතී හෙවත් අනාථ තරුණිය කියලා. ඒක හරිම දුක්බර කතාවක්. ඒ පොත විසිපස් වතාවක් විතර මම කියෙව්වා. එතකොට මගේ වයස අවුරුදු දහයයි.

ඒ කාලේ අද වගේ සියලුම පාසල්වලට පොදු සම්මත පොත් පෙළක් තිබුණේ නෑ. පාසලෙන් පාසලට පොත් වෙනස්. අපි නෑදෑ ගෙදරකට ගියාම ඒ ගෙදර තියෙන්නේ වෙනත් පොත්. මම මුලින්ම වික්‍රමසිංහගේ රෝහිණී පොත කියෙව්වේ නෑදෑ ගෙදරකදී.

ගමේ ඉස්කෝලෙන් හොරණ තක්‍ෂිලාවට මාරුවීම මගේ ජීවිතේ කඩඉමක්. ඒ පාසලේ හොඳ පුස්තකාලයක් තිබුණා. බොහොම සුහද ගුරුවරු හිටියා.

මගේ ලේඛන ජීවිතයේ ආරම්භය හොරණ තක්‍ෂිලාව. ඒ කාලෙ මාසෙකට වතාවක් විතර ඉස්කෝලෙ කවි මඩුවක් පැවැත්වූවා. කවි කියන්න පුළුවන් ළමයි හුඟක් හිටියා. එක කවි මඩුවකදී ගෑනු ළමයෙන් මට ආරාධනා කළා කවියක් කියන්න. නමුත් කොයි තරම් උත්සාහ කළත් මට කවියක් කියාගන්න බැරිවුණා. එදා ඉඳල මම කවි ලියන්න පටන් ගත්තා. නමුත් ලියපු කවි පත්තරවලට යැව්වේ නෑ.

පාසල් වියේදී ජයලත් බලාපොරොත්තු වූයේ ගුරුවරයකු වන්නටය. එහෙත් ඊට පෙර ඔහුගේ දෛවය වෙනස් කරන තවත් බොහෝ දේ සිදුවිය.

හැම විටම ජයලත්ගේ අදහස්වලට විරුද්ධව අදහස් පළ කරන මිතුරෙක් සිටියේය. ඔහුත් ජයලතුත් ගමේ වෙල් යාය හරහා මිතුරකුගේ නිවසට යමින් සිටියහ. එදින සඳ පහන් රැයකි. වෙළ මැද්දෙන් ඔවුහු පිට්ටනියකට ගොඩවැදුණහ. සඳකැන් පිනි දියරින් තෙමා වැටෙන තණ නිල්ලේ චමත්කාරයෙන් ජයලත්ගේ සිත මුසපත්ව ගියේය.

අපි මෙතන ටිකක් වෙලා ඉඳලා යමු. ජයලත් මිතුරාට කීයේය.

ඇයි මොකටද නවතින්නේ මෙතන හරි ලස්සනයි. හඳ එළිය වැටිල හැම තැනම.

තමුසෙට පිස්සු.. මෙතන තියෙන ලස්සන මොකක්ද මේක පිට්ටනියක් විතරයි අයිසෙ.

මිතුරා ජයේ රැගෙන ඉදිරියට ගියේය. ජයලත්ගේ සිත රිදිණි. මිතුරාගේ නිවසට ගොස් ආපසු එන ගමනේ දී මිතුරා මොහොතකට අතරමඟ නතර විය.

ජයේ උඹ ලියන්න පටන් ගනින්. උඹට අමුතු හැඟීම් තියෙනවා. උඹ හැඟීම්බර මිනිහෙක්. මේ හඳපානෙ ලස්සන ගැන උඹට සිතන්න පුළුවන්. ඒක අමුතු දෙයක්. මං ඉස්සෙල්ල කඩාපැන්නෙ බොරුවට. උඹ ලියන්න පටන් ගනිං.

ජයලත් මුල්වරට සැඟවුණු සිය ප්‍රතිභාව ගැන හැඟීමක් ඇති කර ගත්තේ එදාය. ඉන් පසු ජයලත් පොකුණුවිට ගෙදර කාමරයට වැදී ලියන්නට පටන් ගත්තේ ය.

ඒ දවස්වල මම ලියපු දේවල් කිසිම එල්ලයක් තිබුණේ නෑ. ඇහැට පෙනෙන අහස, ගහකාළ, ගුරුපාර මේ වගේ දේ ගැන හිතට එන දේවල් ලිව්වා. මගේ මේ පිස්සු ගතියට අම්මා උදව් කළා මිසක් හරස් කැපුවෙ නෑ. පුතා ඇක්සයිස් පොත් ඉල්ලුවොත් ඕන තරම් දෙන්න කියල අම්මා සමුපකාරෙ මැනේජර්ට කියල තිබුණා. මම ඒ දවස්වල ලිව්වේ ඇක්සයිස් පොත්වල.

තක්‍ෂිලාවෙන් පිට වූ ජයලත් එතැනින් කොල්ලුපිටිය පෙම්රොක් ආයතනයට ගොස් තවදුරටත් ඉගෙන ගත්තේය. එහෙත් විශ්වවිද්‍යාලයට යෑමේ අවස්ථාව ඔහුට අහිමි වී ගියේය.

පාසල හමාර කළ ජයලත්ට ඕනෑ වූයේ කැපී පෙනෙන රස්සාවක් කරන්නට ය.

ඒ අනුව ජයලත් ‘සිංහල ජාතිය’ පත්‍රයේ වැඩට ගියේය. මාසික පඩිය රු. 25 කි.

නමුත් ජයලත්ගේ පත්තර ජීවිතයට නියම පදනම වැටුණේ ‘සිංහල ජාතිය’ පත්‍රයෙන් නොව ‘සරසවි සඳරැස’ පත්‍රයෙනි.

‘සරසවි සඳරැස’ මට විශ්වවිiාලයක් වුණා. ඒ දවස්වල පත්තරේ කාන්තා පිටුවට ළමා පිටුවට ලියුම් ලැබුණේ නෑ. මම කාන්තා පිටුවට කාන්තාවන්ගේ නමිනුත්, ළමා පිටුවට ළමයින්ගේ නමිනුත් ලිපි ලිව්වා. එක දවසක් තුළ රචනා විලාස කිහිපයකින් මට ලිපි ලියන්න සිද්ධ වුණා. ඒක මට හොඳ පුහුණුවක් ලැබුණු අවස්ථාවක්.

“සරසවි සඳරැස’ ජීවිතය හමාර කොට ජයලත් ලංකාදීපයට ගියේ ඉතාම අසීරු අමාරු කඩුළු කිහිපයක් පසු කරමිනි. ඩී. බී. ධනපාල සෙවණේ, චන්‍ද්‍රරත්න මානවසිංහ ඇසුරේ ලංකාදීප පත්තර ජීවිතය ගෙවූ ජයලත් සිය මුල්ම නවකතාව වූ ගොළු හදවත ලීවේ රාත්‍රී සේවයේ විවේක කාලය තුළදී ය.

ඒ දවස්වල රස්සාවක් නැතිව හිටපු අමරනාත් ජයතිලක නැවතිල හිටියෙ අපේ ගෙදර. මේ කතාවෙ මුල් පිටු කිහිපය කියවල මේක ලස්සන කතාවක්. දිගටම ලියන්න කියල මාව උනන්දු කළේ අමරනාත්. මං ලියන ලියන පිටු ලස්සන අත් අකුරින් පිටපත් කළේ අමරනාත්.

නමුත් මේ කතාව ගුණසේන සාප්පුවෙන් ප්‍රතික්‍ෂේප කළා ව්‍යාකරණ වැරදි තියේය කියල. ආයෙමත් අවුරුද්දකට පස්සෙ පොත ඉල්ලුව. පොත මුද්‍රණය වුණේ ඒ විදියටයි.

නමුත් මට මහා බයක් ඇතිවුණා. මේ ප්‍රේම කතාව පාඨකයන් ප්‍රතික්‍ෂේප කරාවි කියලා. සාප්පුවල තියෙන පොත් ආපහු එකතු කර ගෙදර ගේන්න මට හිතුණා. නමුත් බලාපොරොත්තු නොවුණු ප්‍රතිචාරයකුයි ගොළු හදවතට ලැබුණේ.

මට යළිත් වියපත් වී ගෙන යන කරුණාසේන ජයලත් ගේ මුහුණුවර තුළින් සුගත් වීරසේකරගේ මුහුණ සිහිපත් විය.

‘ගොළු හදවත’ ඉපදුනේ කොහොමද නො අසාම බැරි බොළඳ ප්‍රශ්නය මම ඔහුගෙන් ඇසීමි.

ප්‍රථම ප්‍රේමය කඳුළින් සිතුවම් කළ රසවතකු සමඟ

ජයලත්ගේ මුවඟෙහි මන්දස්මිතයක් ඇඳී මැකී ගියේය.

ඒ කාලෙ තක්‍ෂිලාවෙ දමයන්ති වගේම දැරියක් සිටියා. සියලු හැසිරීම්වලින් මම හිතුවේ ඇය මට ආලය කරනවයි කියල. කාලය ගෙවී යද්දී මට මෙන්ම පාසලේ තවත් සිසුවකුටත් ඇය ඇලුම් කරන බව මට වැටහුණා. මට මෙය තේරුම් ගන්න බැරි වුණා. තව දෙයක් කිව යුතුයි. ඇය ඇලුම් කළ අනිත් තරුණයා හැම විටම මගේ අදහස්වලට විරුද්ධ වූ අර මගේ පරණ මිතුරාමයි.

අන්තිමේදී මම ඇගෙන් ප්‍රශ්න කළා. මට උත්තරයක් දෙන්න කියලා මම ඉල්ලා සිටියා. මට ලැබුණේ ඉතාම කටුක පිළිතුරක්. ඇය ස්ථිරවම ආලය කරන්නෙ මට නොව මගේ මිතුරාට යැයි ඇය කීවා.

ඒ මගේ ප්‍රථම ප්‍රේමය. ප්‍රථම ප්‍රේමය කඩවීම කවර කෙනකුට වුවත් දරාගත නොහැකි වේදනාවක්. ඒක මුළු ජීවිත කාලයක්ම මතක තිබෙනවා. පසු කලෙක ගොළු හදවත ලියන්න මට බලපෑවේ ඒ අත්දැකීමයි.

ඒ තක්‍ෂිලා ප්‍රේම කතාව ඇත්තටම අවසන් වුණේ කොහොමද ? මම නැවත ඇසීමි.

“අන්තිමේදී ඔහුටත් මටත් දෙදෙනාටම ඇය අහිමි වුණා. ඒ දමයන්ති බැන්දෙ වෙන කෙනෙක්.”

ජයලත්ගේ මුහුණේ යළිත් සිනාවක් ඇඳී මැකී ගියේය.

කරුණාසේන ජයලත්ගේ සියලුම නවකතාවල ස්ත්‍රී චරිත ඉස්මතු වී පෙනීම විශේෂ ලක්‍ෂණයකි. සහෝදරියන් කිසිවකුත් නැති පවුලේ එකම දරුවා වූ ඔහු මේ තරම් සියුම් ලෙස කාන්තා චරිත මවන්නේ කෙසේ දැයි මා නැගූ ප්‍රශ්නය ඔහුගේ සිත් ගත්තේය.

මට සහෝදරියක් නැතිකම මගේ ජීවිතයේ ඉතාම තදින් දැනුනු අඩුපාඩුවක්. ඒ නිසා මම වේදනා වින්දා. මම ස්ත්‍රියගේ ජීවිතය දුටුවේ මගේ මවගේ සහ මගේ පුංචි අම්මලාගේ ජීවිත තුළිනුයි. මට පුතුන් තිදෙනෙක් සිටියත් දුවෙක් ලැබුණේ නැහැ. අහිමි දේ ගැන වඩා සංවේදී වීම මිනිස් ලක්‍ෂණයක්. මට ඒ දේම සිදුවුණා ය කියල හිතන්න පුළුවන්.

මේ නිසාම මගේ කිසිම නවකතාවකින් යුවතිය හෝ ගැහැනිය අවඥාවට ලක් වූයේ නැහැ. මම හැමවෙලේම ස්ත්‍රියගේ ගෞරවනීය පැත්ත ඉස්මතු කළා. උදාහරණයක් ලෙස ගොළු හදවතේදී වුණත් මම දමයන්තිට ද්වේශ කළේ නැහැ. ගොළු හදවත ජනප්‍රිය වෙන්නත් ඒක හේතුවක් වුණා.

තවත් බොහෝ දේ ඇසිය යුතුව තිබුණ මුත් කාලය බොහෝ සේ ගෙවී ගොස් තිබුණු හෙයින් අපි අසුන්වලින් නැගිට ඔහුට ආචාර කළෙමු.

විසල් මිදුලේ පියමං කොට අප ගුරු පාරට හැරී ආපසු බලද්දී ඉනට දෑත් තබාගෙන සුගත් වීරසේකර අප නොපෙනී යන තුරු බලා සිටින අයුරු දුටිමු.

චන්‍ද්‍රසිරි දොඩන්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment