ප්‍රබල කුඩු ජාවාරමුන් කියා බූස්සට යැවූ රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට මාරු කරයි

108

ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් බවට සඳහන් කරමින් ඉකුත් කාලයේ බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයට මාරුකර යැවූ රැඳවියන් රැසක් නැවත වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමට බන්ධනාගාර ප්‍රධානීන් කටයුතු කර තිබේ.

මෙසේ මාරු කර යවන ලද පිරිස අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි පුද්ගලයන්ද සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් උසස් බන්ධනාගාර නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඉදිරිපත් කෙරුණු අභියාචනා අනුව අදාළ පුද්ගලයන් බූස්ස බන්ධනාගාරයෙන් ඉවතට ගෙන ගිය බව හෙතෙම සඳහන් කළේය. එසේ බූස්ස බන්ධනාගාරයෙන් පිටතට ගෙන ගිය පිරිස මේ වන විට මහර හා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරවල රඳවා සිටිති.

පිරිසක් එසේ බූස්ස බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාර වෙත රැගෙන ගියද භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුවේ වරදකරු වී මරණීය දණ්ඩනය හිමිව සිටින චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, පොඩි ලැසී ඇතුළු පිරිසක් තවදුරටත් එම බන්ධනාගාරයේම රඳවා තැබීමට කටයුතු කර ඇත.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනපතිවරණයෙන් ජයගෙන බලයට පැමිණ මාස දෙකක් පමණ ගෙවී යද්දී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත මෙම පිරිස බූස්ස බන්ධනාගාරයට රැගෙන ගිය අතර වසර තුනහමාරක පමණ සිට මේ අන්දමට ඔවුහු දැඩි රැකවල් මැද බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිති.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment