ප්‍රභාකරන්ට පණ දෙන පුවත් අමූලික බොරු – යුද හමුදාව කියයි

165

ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට පළවන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. මෙම පුවත ගැන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා මෙසේ කියා සිටී.

කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අවසන් යුද සමයේදී මියගිය බවට සාක්ෂි අප සතුව තිබෙනවා. 2009 වසරේ පැවැති අවසන් යුද්ධයේ දී ප්‍රභාකරන් ඝාතනයට ලක් වුණා. ඩී.එන්.ඒ සාක්ෂි අපි ළඟ තියෙනවා. 2009 වසරේ මැයි මාස 18දා අවසන් යුද්ධයේ දී ඔහු ඝාතනයට ලක් වුණා. එදින ප්‍රභාකරන් ඝාතනයට ලක් වූ බවට වන ඩී.එන්.ඒ. පරීක්ෂණ ඇතුළු සියලු සාක්ෂි අපි ගත්තා. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ. මොකද කිව්වොත් ඔහු ඝාතනයට ලක් වූ බව අපි හැමෝම හොඳින් දන්නවා. ඒ ගැන සැකයක් නැහැ.

ඉන්දියාවේ තංජාවූර් ප්‍රදේශයේ පිහිටා ඇති මුල්ලිවායිකාල්හිදී පෙරේදා (13දා) මාධ්‍ය හමුවක් පවත්වමින් ලෝක දෙමළ සංවිධානයේ සභාපති පී.නෙදුමාරන් පැවසුවේ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවයි. එහිදී පී.නෙදුමාරන් මෙසේ ද පවසා තිබිණි.

ජාත්‍යන්තරයේ හැසිරීමත්, ශ්‍රී ලංකාවේ රාජපක්ෂවරුන් පාලනයෙන් පලවා හැරීමට තරම් ප්‍රබලව සිංහල ජනයාගේ විරෝධය මතු වී තිබීමත් ප්‍රභාකරන් නැවත ලෝකය හමුවේ පෙනී සිටීමට සුදුසු කාලය නිර්මාණය කර තිබෙනවා. ප්‍රභාකරන්ගේ පවුලේ අය සමග මට සබඳතාවක් තිබෙනවා. ඒ මාර්ගයෙන් දැනගත් කරුණු ටික ඔවුන්ගේ අනුමැතිය ඇතිව මෙතැනදී කිව්වා. ඔහු කොහෙද ඉන්නේ, කවදද එන්නේ කියලා දැනගන්න හැමෝම සූදානමින් ඉන්නවා. නමුත් ඔහු ඉතා ඉක්මනින් ලෝකයා හමුවේ පෙනී සිටියි. බිරිඳ සහ දියණියත් සුවෙන් ඉන්නවා. ලාංකීය දෙමළ ජනයාගේ නිදහස සඳහා වන සැලසුම ඔහු ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත. ලාංකීය දෙමළ ජනයා සඳහා ලෝකවාසී දෙමළ ජනයා එක් වී ඔහුට අවශ්‍ය සහාය ලබා දිය යුතු යැයි ඉල්ලා සිටිමු.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment