ප්‍රභාකරන් ගේ පරාජය සිහි කිරීම

701

මැයි 18 වැනිදාට යෙදෙන මුල්ලිවයිකාල් සංවත්සරය නිමිත්තෙන්, විදේශයන්හි වෙසෙන කොටි සාමාජිකයන් ශ්‍රී ලංකාවට ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කර ඇති බව හින්දු පුවත්පත ප්‍රකාශ කර තිබුණේ පසුගිය 13 වැනිදාය. ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයක පැටලී ඇති හෙයින් කොළඹ ආණ්ඩුවට එරෙහිව ප්‍රහාර දියත් කිරීම සඳහා එල්ටීටීඊ සංවිධානයේ පැරණි සාමාජිකයන් යළිත් එක්වී සිටින බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇතැයි එම පුවත්පත පැවසීය. ද හින්දු පුවත්පත පවසන පරිදි, බුද්ධි තොරතුරු උපුටා දැක්වූ ආරංචි මාර්ග පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ ප්‍රහාරක සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා පැරණි කොටි සාමාජිකයන් පිරිසක් තමිල්නාඩුවට ඇතුළුවී ඇති බව යි. එරට රාජ්‍ය බුද්ධි අංශ සහ ප්‍රාදේශීය පොලිසියේ විශේෂ කණ්ඩායම් තමිල්නාඩු ප්‍රාන්තයේ කිලෝමීටර් 1,000කට වැඩි වෙරළ තීරයේ සෝදිසියෙන් සිටි බව පුවත්පත් ලිපියේ දැක්විණ. කොටි සංවිධානයට යළි නැගිටීමට ඉඩක් ඇතිව තිබේද? කොටි නැගිටීම කෙසේ වෙතත් ගාලු මුවදොර අරගල භූමියේ කොටි හිතවාදීන් උද්ඝෝෂණ කරන අයුරු දැකගත හැකි විය. වෙසක් පොහෝ දිනයේ ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවියේ තිබූ පුවතක සඳහන් වූයේ “ලංකාව වෙනුවෙන් සැබෑ සටන දියත් කළේ ප්‍රභාකරන් විසින් බවයි. මේ බව ප්‍රකාශ කර තිබුණේ අරගල භූමියේ පැවති උද්ඝෝෂණයකදීය. ඒ සම්බන්ධ වීඩියෝවක් ද වෙබ් අඩවියේ තිබිණි. අරගලය කොටි හිතවාදීන් මෙන්ම මවුබිමට එරෙහි බලවේග විසින් මංකොල්ල කා ඇති බවට මෙය හොඳම සාක්ෂියකි. මුල්ලිවයික්කාල් සටන් දැන් ෂැන්ග්‍රිලා හෝටලය ඉදිරිපිටට පැමිණ ඇත.

මීට සති කිහිපයකට පෙර ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක ප්‍රතිමාවේ ඇස් වසමින් කළු පටි බඳිනු දැකීමට හැකි විය.අරගලකරුවෝ මේ හරහා බලාපොරොත්තු වූයේ කුමක්ද? මෙතැන ධර්මපාල ප්‍රතිමාවක් තිබුණා නම් එහි බෙල්ල ද කඩනු ඇත. රාජපක්ෂ එළවීමේ කණ්ඩායම බණ්ඩාරනායක පිළිරුව සමග වෛර බඳින්නේ කවර හේතුවකටද? මෙය කොටි හිතවාදීන්ගේ උවමනාවක් සැපිරීමද? පසුගිය අප්‍රේල් 22 වැනිදා කොටි හිතවාදී ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවියට ලිපියක් ලියමින් තුසියන් නන්දකුමාර් සටහන් කර තිබුණේ ආණ්ඩුවට එරෙහිව අරගල කරන ගාලු මුවදොර සිටින උද්ඝෝෂකයන් විසින් මේ බණ්ඩාරනායක පිළිමය ඉවත් කළ යුතු බවයි. එසේ නම් එම අණ අනුව සිකුරාදා දිනයේ කළු පටි බඳිනු ලැබුවේද? එම ලිපියේ මෙලෙසද සඳහන්ව තිබිණි. “දෙමළ-විරෝධී සංහාර දෙකක් අධීක්ෂණය කළ පුද්ගලයකු සහ දිවයිනේ ඉතිහාසයේ වඩාත්ම වර්ගවාදී නීති සම්පාදනය පිටුපස සිටින මොහුගේ ස්මාරකය ඉවත් කිරීමට උද්ඝෝෂකයන් කටයුතු කළ යුතුය. එවිට මෙම අරගලය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අරගලයක් බවට පත්වේ. (උපුටනය අවසන්) මෙය බරපතළ අනතුරක සේයාවක් නොවන්නේද? මෙය කවර දේශපාලන අරමුණක් මුදුන්පත්කර ගැනීම සඳහා ද? ඉදිරියේ දුටුගැමුණු ස්මාරකවලත් බෙල්ල ගලවනු ඇත්ද? මේ සටහන ලියවෙන්නේ ජාතික රණවිරු සැමරුම වෙනුවෙනි.

දශක තුනක කාලයක් පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර වීරෝදාර රණවිරුවන් අත්කරගත් යුද විජයග්‍රහණයට පසුගිය බ්‍රහස්පතින්දා වසර 13ක් සපිරිණි. වෙනදා මෙන් ප්‍රභාකරන් ඇතුළු ෆැසිස්ට් නඩය පරාජය කිරීම ගැන කතා නොවන්නේ ඉන්ධන අර්බුදය හා දේශපාලන අර්බුදය හේතුවෙන්ද? එහෙත් තව වසර 500ක් ගියද මේ රණවිරු ජයග්‍රහණ අමතක කළ යුතු නැත. 2009 මැයි 18 ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කළ බව ප්‍රකාශ කළේය. දස දහස් ගණනකගේ ජීවිත අහිමි වූ ද තවත් ලක්ෂ ගණන් පිරිසක් ආබාධිතයන්, තුවාලකරුවන් බවට පත් වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදය ඒ සමඟ නිමා විය. 2009 මැයි 18 වැනිදා ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමට සමත් වූයේ හුදු ත්‍රස්තවාදී සංවිධානයක් පමණක් නොවී ය. එල්.ටී.ටී.ඊ ය යනු දෙමළ බෙදුම්වාදී ජාතිවාදයේ අවසාන වශයෙන් පැවති සන්නද්ධ අංශයයි. ඊළාම් රාජ්‍යව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා භූමියෙන් තුනෙක් එකකට ආසන්න ප්‍රමාණයක් අත්පත් කරගෙන සිටි එල්.ටී.ටී.ඊ යේ පරාජය යනු දෙමළ ජාතිවාදී බෙදුම්වාදය ඉතිහාසයේ ලැබූ සුවිශාලම පරාජය විය. 2009 මැයි 15 සිට මැයි 18 යන දින හතර තීරණාත්මක සුවිශේෂී දින හතරක් ලෙස සඳහන් කිරීම වැදගත්ය. 2009 මැයි මස 19 වැනි දින දකුණු ආසියාවේ පැවැති දීර්ඝතම යුද්ධය නිමා වූයේ නන්දිකඩාල් ලෙසින් ප්‍රකට මුලතිව් කළපුවේදී එල්.ටී.ටී.ඊ. නායක තිරුවෙන්ගඩාම් වේළුපිල්ලෙයි ප්‍රභාකරන් මරණයට පත් කරමිනි. ඔහුගේ මළ සිරුර කළපු ඉවුරේ තිබී සොයා ගෙන තිබිණි. පළමු ලෝක යුද්ධය පැවැතියේ වසර හතරක් පමණි. දෙවැනි ලෝක යුද්ධය වසර හයකින් නිමා විය. එහෙත් දෙමළ ඊළමක් සඳහා වූ යුද්ධය දසක ගණනක් තුනක් තිස්සේ ඇදී ගියේය. දෙමළ ජනතාව මරණය, වේදනාව, අවිශ්වාසය, අවතැන්වීම වැනි විෂම චක්‍රයක කොටස්කරුවෝ බවට පත්වූහ. එහි අවාසනාත්මකම ප්‍රතිඵලය වූයේ විශාල පිරිසක් රටහැර යෑමය. උතුරු නැගෙනහිර පළාත්වල ඉතිරි වූයේ සමස්ත දෙමළ ජනගහනයෙන් 48%ක් වැනි ප්‍රමාණයකි. කොටි නායකයා දෙමළ ඊළමක් සඳහා සමස්ත දෙමළ ජනතාවගේ ජීවිත උගසට තැබීමට ක්‍රියා කළේය. ඔහු හැසිරුණේ තම සොල්දාදුවන්හට යුද කිරීම හෝ මරණය තෝරා ගැනීම විනා වෙනත් විකල්පයක් ඉතිරි නොවන පරිද්දෙන් තමන්ගේ සියලු බෝට්ටු විනාශ කළ ආක්‍රමණික ජනරාල්වරයකු පරිද්දෙනි. ඔහුට නැවත හැරී බැලීමක් නොවීය. එහෙත් අද උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සතුටින් ජීවත්වන්නේ ප්‍රභාකරන් ජීවත් නොසිටින නිසාය. දකුණේ අරගල උතුරේ දක්නට නොලැබීමද විශේෂයකි.

දෙමළ ජනයා “ගෝඨා ගෝ හෝම්” කියන්නේ නැත. ලෝක යුද විශේෂඥයන් කොටි සංවිධානය හැඳින්වූයේ ලොව බලගතු මෙන්ම බිහිසුණුම ත්‍රස්ත සංවිධානය ලෙසයි. කොටි ත්‍රස්තවාදය යුදමය ලෙස පරාජය කළ නොහැකි බව ඔවුන්ගේ ඇගයීම විය. බටහිර අනුකාරකවාදී දේශීය උගතුන්ද බටහිර විශේෂඥ මතය පිළිගනිමින් කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවට මෙරට ආණ්ඩුවලට උපදෙස් දුන්හ. එබැවින් දේශීය ආණ්ඩු ද සෑමවිටම විශ්වාස කළේ සාකච්ඡා කර විසඳුමක් සොයාගැනීම කෙරෙහිය. එහෙත් එය වෙනස් කරන්නට 2005 දී බලයට පත්වූ මහින්ද රාජපක්ෂට හැකි විය. ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය ජනපති මහින්ද සපයන විට ඊට පරිපාලන නායකත්වය සැපයූවේ එවක ආරක්ෂක ලේකම් ධුරය දැරූ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතායි. සරත් ෆොන්සේකා යුද හමුදාපති බවට පත්කිරීම සියල්ල ආපසු හරවන තීරණයක් විය.යුද්ධයේ අවසාන මොහොතේ තමන්ගේ පක්ෂපාත ශරීර ආරක්ෂකයින් පිරිවරා, කොමාන්ඩෝ සෙබළ කණ්ඩායම් සහ 4 වැනි විජයබා පාබල රෙජිමේන්තුවේ භටයින්ට එරෙහිව සටනේ නිරතව සිටි ප්‍රභාකරන් වෙඩි වැදී මිය ගියේය. තමන්ගේ අනුගාමිකයන් දහස් ගණනකට සයනයිඩ් කරල ගිලින්නට නියම කළ නමුත් ප්‍රභාකරන් තමන්ගේ ජීවිතයට අසීමිත ලෙස ආදරය කළේය. ඔහුගේ සිරුර ළඟ තිබී සයනයිඩ් කරලක් හමු වූයේ නැත. අවසන්වරට ඔහු ඇඳ සිටියේ නිල් පැහැති ඇඳුමකි. ඔහුගේ බෙල්ලේ 001 දරන අංක තහඩුවක් තිබිණි. සොල්දාදුවෝ ඔහුගේ මළ සිරුර අසලින් පොලිතීන් කවරයක් සොයා ගත්හ. එහි ගෑස් මුහුණු ආවරණයක්, දියවැඩියා ඖෂධ, වෙළුම් පටි, ඉන්සියුලීන්, අත් විලංගුවක්, ටී56 රයිෆල් දෙකක්, ග්ලූකෝස්, තුවාල සඳහා ආලේප කරන ක්‍රීම් තිබූ අතර ඉතාම අපූරු කාරණය වූයේ සිංගප්පූරුවේ නිෂ්පාදිත මොයිස්චරයිසින් බෙරී සුවඳ විලවුන් සහ විටමින් ඊ ක්‍රීම් අඩංගු වීමයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment