ප්‍රමිතියේ ලියාපදිංචිය නැති ආයතන 31ක් – ඩොලර් කෝටි නවයක ටින්මාළු ගෙන්නලා

296

විගණන කාර්යාලය කියයි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සන්නම් නාම යටතේ ලියාපදිංචි නොවූ නිෂ්පාදන ආයතන 31ක් විසින් 2019 වර්ෂයේ ජනවාරි මස සිට 2021 ජුනි දක්වා කාලයේ දී ඇමරිකානු ඩොලර් 92,205,253.54ක් (නවකෝටි විසිදෙලක්ෂ පන්දහස් දෙසිය පනස්තුනක්) වූ ටින් මාළු බහාලුම් හතළිස් තුන් ලක්‍ෂ අනූපන්දහස් හාරසිය දහසයක් (4,395,416ක්) ගෙන්වනු ලැබුවද එම ටින්මාළු සඳහා විස්තරාත්මක නියැදි පරීක්ෂාවක් සිදුකොට නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකී කාලයේ දී නිෂ්පාදන ආයතන 36ක් විසින් අවස්ථා 1522කදී සන්නම් නාම 48ක් යටතේ ටින්මාළු ගෙන්වා තිබුණි. එහෙත් නිෂ්පාදකයින් 05 දෙනකු පමණක් ප්‍රමිති ආයතනයේ සන්නම් නාම 20ක් යටතේ ලියාපදිංචි වී තිබූ බව ද විගණන කාර්යාලය පෙන්වා දෙයි.

එමෙන්ම මෙම කාලයේ දී භාණ්ඩ ආනයන ආයතන 89ක් විසින් අවස්ථා 1014කදී දුඹුරු සීනි ගෙන්වා තිබූ අතර ඉන් කිසිදු නිෂ්පාදකයකු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුකූලතා සහතික ලබා ගෙන නොතිබුණි. එමෙන්ම විස්තරාත්මක නියැදි පරීක්ෂාවක් සිදුකර තිබුණේ අවස්ථා 51 දී පමණි. එසේ ඇමරිකානු ඩොලර් විසිතුන් ලක්‍ෂ අනූ එක් දහස් තුන්සිය අසූඅටයි ශත අනූපහක් (23,91,388.95ක්) වටිනා මෙටි්‍රක් ටොන් 6323.3ක් වූ දුඹුරු සීනි නියැදි පරීක්ෂාවකින් තොරව නිදහස් කර තිබූ බව ද විගණන කාර්යාලය පවසයි. ආනයනික භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය මතය. එහෙත් ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් ආනයනික භාණ්ඩ වෙළෙඳ පොළට නිකුත් නොවන බවට තහවුරු කර ගැනීම අධීක්ෂණය කිරීමට සුදුසු මාර්ගෝපදේශයක් හා ක්‍රමවේදයක් ප්‍රමිති ආයතනය සතුව නොතිබූ බව ද විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි- ගාල්ල
 

advertistmentadvertistment
advertistmentadvertistment