ප්‍රයිවට් බස් හිමිකරුවෙක් හා තවත් දෙදෙනෙක් ලංගම බසය නවතා රියැදුරු හා කොන්දොස්තරට පහරදී සල්ලිත් පැහැරගෙන

424

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර ඩිපෝවේ බස් රථයක් ගමන් කළ මඟ හරස් කර එහි රියැදුරුට සහ කොන්දොස්තරවරයාට පහරදී දහදාහකට ආසන්න මුදලක් පැහැරගෙන, ප්‍රවේශ පත්‍ර නිකුත් කරන මැෂින් යන්ත්‍රය බිම දමා කඩා දැමූ පෞද්ගලික බස් රථ හිමිකරුවෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස පහර කෑමට ලක්වූ අනුරාධපුර ඩිපෝවේ රියැදුරු ලෙස සේවය කරන සාලියවැව පදිංචි සුනිල් කරුණාරත්න (43), සහ එම ඩිපෝවේම කොන්දොස්තරවරයෙකු ලෙස සේවයේ නියුතු රාජාංගනයේ පදිංචි ජස්ටින් තිලකරත්න (43), අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලීසිය කියයි.

ලංගම බස් රථය සහ පෞද්ගලික බස් රථය කලාඔය – අනුරාධපුර එකම මාර්ගයේ ගමන් ගන්නා බවත් උතුරු මැද පළාත් සභා වටරවුම ආසන්නයේදී ලංගම බස් රථයේ මග හරස් කර පෞද්ගලික බස් රථය මාර්ගය හරහා නවතා මග අවහිර කර එම පෞද්ගලික බස් රථ හිමිකරු ඇතුළු තිදෙනකු තමනන්ට පහරදුන් බව ලංගම සේවකයන් සිදුකළ පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.

ලංගම බස් රථය නිසා තමන්ට දිනපතා පාඩු විඳීමට සිදුවන බව පවසමින් බස්රථ හිමිකරු සහ අනෙක් පුද්ගලයා පහර දුන් බවත්, එම අවස්ථාවේදී ”‍රත්තරන්”‍ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා විසින් ලංගම කොන්දොස්තරවරයා සතු රුපියල් 9800 මුදලක් කොල්ලකා, ප්‍රවේශපත් නිකුත් කරන මැෂින් යන්ත්‍රය කඩා දමා පලාගොස් තිබූ බව ද පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment