ප්‍රවාහන ගැටලුවට විසඳුමක් ලෙස පාපැදි ධාවනය ප්‍රචලිත කෙරේ

191

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පැන නැගුණු ප්‍රවාහන ගැටලුවලට එක් විසඳුමක් ලෙස පාපැදි ධාවනය ප්‍රචලිත කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු අරඹයි.

ඒ අනුව නගරයෙන් බැහැර ප්‍රදේශවල පාසල් ළමුන් සඳහා පාපැදි ධාවනය ප්‍රචලිත කිරීමටත්, කොළඹ නගරය වෙත දුම්රිය මගින් පැමිණෙන ජනතාවට නිවසේ සිට ආසන්න දුම්රිය ස්ථානය වෙත පාපැදියෙන් පැමිණ දුම්රිය ස්ථානයේ එය ආරක්ෂිතව තබා යෑමට දිරිමත් කිරීමටත් ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කිරීමට බලාපොරොත්තු වෙයි. පාපැදිකරුවන්ගේ ආරක්ෂාව සඳහා නව මංතීරු හඳුන්වා දීමටත්, ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයත් පාපැදි ධාවනයට සම්බන්ධ අනෙකුත් ආයතනත් සමග කටයුතු කරන බවද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එමෙන්ම දෛනිකව කොළඹ නගරය වෙත ඇදී එන රථවාහන ප්‍රමාණය අවම කිරීම සඳහා කොළඹ නගරයට පැමිණෙන ප්‍රධාන මාර්ග 07ක පාර්ක් ඇන්ඩ් රයිඩ් මධ්‍යස්ථාන ඇති කළ යුතු බව ද සියලුම දුම්රිය ස්ථානවලද පාර්ක් ඇන්ඩ් රයිඩ් මධ්‍යස්ථාන පිහිටු විය යුතු බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ මහාමාර්ග අමාත්‍යාංශයේ මග නැඟුම මැදුරේ ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති රැස්වීමකදී ය.

මෙම සාකච්ඡාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්. ආර්. ප්‍රේමසිරි, අතිරේක ලේකම් එච්. සී. තිලකරත්න මහත්වරු ඇතුළු නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිස් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද පාපැදි සංගමයේ නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment