ප්‍රවීණ බැංකුකරුවකු වන රසල් ෆොන්සේකා ලංකා බැංකුවේ මහා කළමනාකරු, ප්‍රධාන විධායක නිලධාරි ලෙස රාජකාරි අරඹයි

258

ප්‍රවීණ බැංකුකරුවකු වන රසල් ෆොන්සේකා මහතා විසින් ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි ලෙස 2023 ජනවාරි 17 වැනි දින රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. 1990 දී ලංකා බැංකුවට සම්බන්ධ වූ ඒ මහතා වසර 33 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර, ඔහු ලංකා බැංකුවේ 23 වැනි මහා කළමනාකාරවරයා වේ. නව තනතුරට පත් වීමට පෙර ලංකා බැංකුවේ අතිරේක මහා කළමනාකාර සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී යන තනතුරු හෙබවූ ෆොන්සේකා මහතා නව තනතුරට පත් වූයේ හිටපු මහා කළමනාකාරවරයා වූ කේ.ඊ.ඩී. සුමනසිරි මහතා 2023 ජනවාරි 13 වැනි දින විශ්‍රාම යෑමට සමගාමීව ය.

මෙරට බැංකු ක්‍ෂේත්‍රය තුළ දශක ගණනාවක අත්දැකීම් සහිත රසල් ෆොන්සේකා මහතා ලංකා බැංකුව තුළ විවිධ අංශ සාර්ථකව මෙහෙයවමින්, නායකත්වය ලබා දුන් වෘත්තීය බැංකුකරුවෙකි. ෆොන්සේකා මහතා පසුගිය කාල වකවානුව තුළ ලංකා බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී මෙන් ම මූල්‍ය හා සැළසුම්, ජාත්‍යන්තර, භාණ්ඩාගාර හා ආයෝජන, ශාඛා බැංකු කටයුතු සහ ආයතනික හා අක්වෙරළ යන අංශවල නියෝජ්‍ය මහා කළමනාකාර තනතුර හොබවා ඇත. මෑත කාලයේ ගෝලීය වශයෙන් පැවති අවිනිශ්චිත කාල පරිච්ඡේදය තුළ මෙරට ප්‍රමුඛතම බැංකුව මෙහෙයවීමේ භාරදූර කර්තව්‍යයට විශාල දායකත්වයක් ලබා දුන් ෆොන්සේකා මහතා එම අත්දැකීම් ද සමඟින් ලංකා බැංකුව බැංකුකරණයේ නව මානයන් වෙත රැගෙන යනු ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිය සහ ඔස්‌ට්‍රේලියාවේ සවුත් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය ලබා ඇති ෆොන්සේකා මහතා ලංකා බැංකුවේ අනුප්‍රාප්තික සැළසුම් යටතේ තෝරාගත් වෘත්තිකයන් බලගැන්වීමේ වැඩසටහන හරහා ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් ව්‍යාපාරික ඇකඩමියේ උසස් කළමනාකරණ පාඨමාලාව සම්පූර්ණ කර ඇත. ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන අතර, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ද සාමාජිකත්වය ලබා ඇත. එමෙන් ම ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරන ඒ මහතා AAT Sri Lanka ආයතනයේ හිටපු සභාපතිවරයකු ද වේ. ඊට අමතරව ෆොන්සේකා මහතා ලංකා බැංකුවේ අනුබද්ධිත සමාගම් ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.

දිවයිනේ අංක එකේ බැංකුව ලංකා බැංකුව මීළඟ මට්ටමට ඔසවා තබමින්, ආර්ථික පුනර්ජීවනයට හා සංවර්ධනයට සහාය වීම සඳහා එහි හැකියාවන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම නව මහා කළමනාකාරවරයාට පැවරෙන ප්‍රධානතම වගකීම වන අතර, එය ඔහුගේ නිපුණතා සහ දක්ෂතා උපරිම ලෙස භාවිත කිරීම සඳහා ලැබෙන අනඟි අවස්ථාවකි.

ඡායාරූපය – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment