ප්‍රවේසමෙන්… අපි ආයෙත් ලොක් ඩවුන් අවදානමක

134

මේ වන විට නැවත සමාජය තුළ තිගැස්මක් ඇති කරමින් නව කොවිඩ් 19 රෝගී තත්ත්වය සමාජයේ පුරා සීග්‍රයෙන් පැතිර යන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මාස 05 කට ආසන්න කාලයක් රෝග බියෙන් තොරව මෙරට සමාජයේ ජීවත් වූ අතර ලොව පුරා covid 19 virus හි නව ප්‍රභේද ඉස්මතු වීමත් එම වෛරසයේ නව ප්‍රභේද ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීමත් මෙම රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව පර්යේෂකයෝ සඳහන් කරති. දැනටමත් නිල වශයෙන් දිනකට රෝගීන් සියයකට ආසන්න ප්‍රමාණයක් ද මරණ 5ත් 10ත් අතර ප්‍රමාණයක් ද වාර්තා වේ. කෙසේ වුවත් මෙම අගය මීට වඩා කිහිප ගුණයකින් වැඩිවිය හැකියි.

මන්දයත් දැනට රජයේ රෝහල් පද්ධතිය තුළ මෙම රෝගී තත්ත්වය කල් තියා හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු නිසි කාර්යක්ෂමතාවකින් සිදු නොවන බැවිනි. කොවිඩ් රෝගී තත්ත්වය 2019 වර්ෂයේදී ආරම්භ වීමෙන් පසුව දැනට වසර තුනකට ආසන්න කාලයක් ගත වී ඇති අතර එය සමාජය පුරා පැතිර යමින් විවිධ නව ප්‍රභේද නිර්මාණය වෙමින් තවදුරටත් මහජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කොට ඇත.

කෙසේ වුවත් ලොව රටවල් රැසක් මේ වනවිට කොවිඩ් රෝගී තත්ත්වය නොසලකා සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යන නමුත් සමහර රටවල් රොගී තත්ත්වයට කල්තියා සූදානම් වෙමින් කටයුතු කරන බව පෙනෙන්නට තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවක මෙරට සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යෑම ද අභියෝගයක් වී පවතින මොහොතක කොවිඩ් රෝගී තත්ත්වයට ගොදුරු වන ප්‍රමාණයක් ඉහළයෑම ආසාදිතයන් අතරින් බරපතළ රෝග ලක්ෂණ සහිත රෝගීන් ප්‍රමාණයේ වැඩි වීමක් සමග නැවත වරක් රෝහල් පද්ධතිය තුළ හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවා තුළ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ බරපතළ ගැටලුවක් නිර්මාණය වෙයි.

එබැවින් සිදුවිය හැකි ආපදා තත්ත්වය හා මරණ සංඛ්‍යාව කලින් අවස්ථාවට වඩා කිහිප ගුණයකින් වැඩිවිය හැකි බව පෙන්වා දිය හැක. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම ඉතා වැදගත් වන අතර ලබාදෙන එන්නත් නිසි පරිදි මාත්‍රාවක් ලබා ගැනීම මෙවැනි තත්ත්වයක් යටතේ වැඩි වැදගත්කමක් දරයි. සමාජයේ තරුණ තරුණියන් එන්නත්කරණය පසුගාමිත්වය කැපී පෙනෙන අතර එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ නිසි පරිදි සාමාන්‍ය මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතුව ඇත.

covid රෝගී තත්ත්වය ආරම්භ වූ අවස්ථාවේ දීම මෙම රෝගී තත්ත්වය අවම වශයෙන් මෙම වසරේ දෙසැම්බර් දක්වා ලොව පුරා පැතිර යා හැකි බවට විද්‍යාඥයන් විශ්වාස කළ අතර එම තත්ත්වය සනාථ කරමින් නැවත වරක් ලොව පුරා කොවිඩ් රැල්ලක් පැතිර යන බව පෙනෙන්නට තිබේ. මේ අනුව ඉදිරි මාස හතරක පහක කාල සීමාව ඉතා තීරණාත්මක වන අතර නව කොවිඩ් වෛරසය ශ්‍රී ලංකාව තුළ හැසිරෙන අන්දම ගැන ඉතාමත්ම දැඩි ලෙස පරීක්ෂාකාරී වීම ඉතා වැදගත් වේ. දැනටමත් බොහෝ ස්ථානවල ඉනධන පෝලිම්ද මහජන අරගල ද පවතින බැවින් මෙවැනි තත්ත්වයක් යටතේ කොවිඩි රෝගී තත්ත්වය පෙර අවස්ථාවන්ට වඩා සමාජය තුළ ශීඝ්‍රයෙන් පැතිර යෑමක් සිදුවිය හැක. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනා රෝගී වීම හෝ මරණයට පත්වීම සිදු වුවත් එය රටේ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරනු ඇත.

නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ තවත් පොකුරක් නිර්මාණය කිරීමත් ලෝකයේ බොහෝ රටවල්වල නව රැල්ලක් නිර්මාණයෙහි අනතුරු හැඟවීමක් සමග මේ වන විට සමස්ත ලෝකයේම යළිත් සලිත වී ඇත. විසිවන සියවස ආරම්භයේදි සිදු වූ පළමු ලෝක යුද්ධය නිසා ලෝක ජනගහනය මිලියන 20 ක් විනාශ වූ අතර පසුව ඇති වූ දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මිලියන 75 කට අධික ප්‍රමාණයකට ජීවිත අහිමි වූහ. 1918 කාලසීමාවේදී යුරෝපා රටවල්වල පැතිර ගිය H1N1 රෝගීන් තත්ත්වය නිසා තවත් මිලියන 50ක් ජීවිතවලින් වන්දි ගෙවන ලදහ. මේ අනුව 20-21 සියවසේ ආරම්භක අවධියේදී සිට මිනිස් ප්‍රජාවට සුබදායී නොවන බොහෝ කරුණුවලින් සමන්විත වී ඇත. දැන් නව කොරෝනා වෛරස SARS-CoV-2 නිසා මේ වන විටත් ලෝක ජනගහනයෙන් ලක්ෂ 700 කට අධික ප්‍රමාණයක් ආසාදනයට ලක්වී ඇති අතර මියගිය සංඛ්‍යාව ලක්ෂ 70කට ආසන්න වෙමින් පවතී. තත්ත්වය තවදුරටත් ඉදිරියට පැවතියහොත් රෝගයට ගොදුරුවී මිය යා හැකි සංඛ්‍යාව ලක්ෂ 50 ද ඉක්මවා යා හැකි වන අතර ආරම්භක අවධියේ දී චීන විද්‍යාඥයන් විශ්වාස කළේ මිය යා හැකි සංඛ්‍යාව ලක්ෂ 500 තරම් අධික විය හැකි බවයි. මේ අනුව යුරෝපා රටවල් වලත් ශ්‍රී ලංකාව වැනි රටවල් ගණනාවක් දැන් නැවතත් නිර්මාණය වී ඇති නව වටය ඉතාමත්ම සැලසුම් සහගතව පාලනය කිරීම සඳහා බලධාරීන්ට මෙන්ම ජනතාවට ද විශාල වගකීමක් පවතී.

රෝග තත්ත්ව වළක්වා ගැනීම අදියර කිහිපයක් යටතේ පැහැදිලි කළ හැක. මෙය ආකාර කිහිපයක් යටතේ බෙදා දැක්විය හැක. මෙමගින් රෝග වළක්වා ගැනීම සැලසුම් කළ හැක. ඇතැම් රෝග මින් මුල් අදියර කිහිපයදීම පාලනය කළ හැක. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපට රෝග තත්ත්ව කල්තියා හඳුනාගැනීමටත් අවම වියදමකින් රෝගවලට එරෙහිව සටන් කිරීමටත් අවස්ථාවක් සැලසෙයි. රෝග වළක්වා ගැනීමට පවතින මෙම පියවර පහත පරිදි දැක්විය හැක.

  1. මූලික වළක්වා ගැනීම (primodial prevention)
  2. ප්‍රාථමික වළක්වා ගැනීම (Primary prevention)
  3. ද්වීතික වළක්වා ගැනීම (Secondary prevention)
  4. තෘතීයික වළක්වා ගැනීම (Tertiary prevention)

මූලික වළක්වා ගැනීමකදී රෝග සෑදීම ඇතිවීමට හේතූවන ජන ජීවිතය වෙනස් කිරීම සිදු කළ යුතුය. මෙය වර්තමානයේදී ඉතා වැදගත් පියවරකි. දුම්පානයෙන් මද්‍යසාරයෙන් වැළකී සිටීමට සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම, අවදානම් සාධක වලින් ඈත් වීම, මේදය සහිත ආහාර වලින් ඈත් වීම මෙයට උදාහරණයකි.

මින් දෙවන අදියර ප්‍රාථමික වළක්වා ගැනීමයි. රෝගයක් ඇතිවීමට පෙර ඒ බව කල් තියා හඳුනාගෙන ඊට සූදානම් වීම මෙහි දී සිදුවෙයි. ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන මෙයට කදිම නිදසුනකි. දිගුකල් පවතින රෝගාබාධවලින් ඈත් වීමද මෙයට ඇතුළත් වෙයි. හෘදයාබාධ වලින් ඈත් වීම සඳහා ගන්නා පියවර මෙයට අයත්ය.

රෝගයක් මුල් අවධියේදීම හඳුනාගෙන ඊට ප්‍රතිකාර සිදු කිරීමත් රෝගය නිසා වන අතුරු ආබාධ වළක්වා ගැනීමත් ද්වීතියක වළක්වා ගැනීමට අයත්ය. දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී රෝගවලින් ඈත් වීමට පියවර ගැනීම මෙයට අයත්ය. රෝගය නිසා වන දීර්ඝ කාලීන අතුරු ආබාධවලින් වැළැක්වීම සඳහා සැලසුම් සකස් වීම මෙහිදී සිදුවෙයි. පෝලියෝ රෝගීන්ට පුනරුත්ථාපනයට අතහිත දීම නිදසුනකි. අංශභාගය හෙවත් ආඝාතය රෝගයට ගොදුරු වූවන් පුනරුත්ථාපනයට කටයුතු කිරීම ද මෙම තෙවන වර්ගයේ වළක්වා ගැනීමකි. මේ අනුව පෙනී යන්නේ රෝග ඇති වීමට පෙර එය වළක්වා ගැනීමට කටයුතු කිරීම සාර්ථක කාර්යක්ෂම ක්‍රමයක් වන බවයි.

රෝගවලට ඖෂධීය ප්‍රතිකාර වලින් පමණක් සුවය ලබා ගත නොහැක. ඒ සඳහා විශේෂ මැදිහත් වීමක්ද අවශ්‍ය වෙයි. මෙමගින් රෝග ඇතිවීමට සීමාවන් නිර්මාණය වෙයි (intervention). මෙම මැදිහත් වීම අදියර කිහිපයත් යටතේ සිදුකළ හැක.

  1. සෞඛ්‍ය ප්‍රවර්ධනය
  2. විශේෂ ආරක්ෂාව
  3. කල්තියා රෝග හඳුනාගෙන ප්‍රතිකාරය.
  4. රෝගයක් නිසාවන ආබාධ හැකිතරම් අවම කිරීම.
  5. පුනරුත්ථාපනය ලෙසිනි ඒ.

covid 19 වසංගතය හමුවේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කමිටු -Rapid response Team මගින් සැක සහිත රෝගීන් හඳුනාගෙන පරීක්ෂණ සිදු කිරීමත් හඳුනා ගන්නා රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමත් අදාළ රෝගීන්ට ප්‍රතිකාර කිරීම ඔවුන්ගේ ප්‍රතිකාර අධීක්ෂණයක් සිදු කළ හැක. එසේම සුපුරැදු පරිදි වෙනත් පවුල් සංවිධාන හා පුනරුත්ථාපන (Rahabilitation) කටයුතු අනිකුත් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යෑමත් මීට අමතරව හදිසි අගුලු දැමීමක් lock down වැනි අවස්ථාවකදී සිදුවිය හැකි ආර්ථික අපහසුතාවන් හා සමාජ ගැටලු සඳහා ද මෙම ග්‍රාමීය ක්ෂණික ප්‍රතිකාර කණ්ඩායම් මගින් උපකාර ලබාගත හැකි වන අතර එමගින් මධ්‍යගත රජය වෙත එල්ල වන දැඩි ආර්ථික පීඩනය අවම කර ගැනීමට ද අවස්ථාවක් උදාවෙයි. මීට අමතරව ප්‍රාදේශීය වශයෙන් සපයා ගන්නා ආහාර හා සමුපකාර සේවා හරහා අදාළ ජන කොට්ඨාසය වෙත ආහාර ද්‍රව්‍ය ලබා දීමත් දීර්ඝ කාලයක් අවතැන් වීම නිසා හෝ තමාගේ පවුලේ සාමාජිකයන් රෝගයට ගොදුරු වීම නිසා හෝ නිරෝධායනය වීම නිසා හෝ දැඩි මානසික පීඩනයකින් පසුවන කණ්ඩායම් සඳහා අවශ්‍ය කරන මානසික ප්‍රතිකාර සහය ලබා දීමත් සමාජ සවිබල ගැන්වීමත් සමාජයට අවශ්‍ය කරන මග පෙන්වීම හා සන්නිවේදන කටයුතු ලබාදීමත් සිදු කිරීමේ වගකීම පැවරිය හැක.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව
(MBBS(MSC(MD(MBA(MPA(Phd)

advertistmentadvertistment
advertistmentadvertistment