ප‍්‍රහාර වළක්වා ගැනීමේ  වගකීම ඇති පොලිසිය හා රාජ්‍ය බුද්ධි සේවය අධීක්ෂණය කිරීමේ වගකීමත් මෛතී‍්‍ර පැහැර හැරලා

282

පාස්කු ප‍්‍රහාරයේ පෙත්සම්  විවාදය අරඹමින් නීතිඥ කියයි

පාස්කු ප‍්‍රහාර මාලාව එල්ල වන විට රටේ විධායක ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ මෛතී‍්‍රපාල සිරිසේන මහතා එවැනි ප‍්‍රහාර වළක්වා ගැනීමේ වගකීම පැවරි තිබූ පොලිසිය හා රාජ්‍ය බුද්ධි සේවය අධීක්ෂණය කළ යුතුව තිබුණත් ඔහු එම වගකීම පැහැර හැර ඇතැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන වේරදූවගේ මහතා ඊයේ (14 දා) ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියා සිටියේය.

ඒ සමයේ තමන් රටේ ජාතික ආරක්ෂාව භාරව සිටි බව අධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් ප‍්‍රකාශය මගින් හෝ පෙන්වා දීමට ඔහු අමතක කර තිබූ බවත් ඒ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මුස්ලිම් අන්තවාදීන් විසින් 2019 අපේ‍්‍රල් 21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට අපොහොසත් වූ හිටපු පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා ඇතුළු වගකිවයුත්තන්ට නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් විවාදය ආරම්භ කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන වේරදූවගේ මහතා එලෙස ප‍්‍රකාශ කළේය. එකී ප‍්‍රහාර වළක්වා නොගැනීමෙන් තමන් ඇතුළු රට වැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ද නියෝගයක් කරන්නැයි ඉල්ලා සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු පාර්ශ්ව 12ක් ගොනු කර තිබූ එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, පි‍්‍රයන්ත ජයවර්ධන, එල්. ටී. වී. දෙහිදෙනිය, මුර්දු ප‍්‍රනාන්දු, එස්. තුරෙයිරාජා හා ගාමිණී අමරසේකර යන සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි. රටේ ජාතික ආරක්ෂාවට සෘජුවම බලපාන එවැනි රහස් තොරතුරක් ලැබුණ විට අනුගමනය කළ යුතු කි‍්‍රයාකලාපය හෝ අනුගමනය කිරීමට අපොහොසත් වීම නිසා එවැනි ඛේදවාචකයකට මුහුණ දීමට සිදු වූ බවත් නීතිඥ දර්ශන වේරදූවගේ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර විවාදය අද (15 දා) දක්වා කල්තැබිණි. ප‍්‍රහාර වළක්වා ගැනීමට නිසි පියවර නොගත් හිටපු පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන්ට පමණක් නොව එවකට රටේ පාලන බලය හෙබවූ ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්්ඩලයට ද එරෙහිව නඩු පවරන ලෙසට ද පෙත්සම්කරුවන් විසින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment