‘ප්‍රාණ’ නිර්මාණය කළේ පාස්කු ප්‍රහාරයේ කම්පනයෙන් – සංජය නිර්මාල්

447
'ප්‍රාණ' නිර්මාණය කළේ පාස්කු ප්‍රහාරයේ කම්පනයෙන් - සංජය නිර්මාල්
සංජය නිර්මාල්

ස්වර, සමාරා, රෝස කැලේ, ජූලි 7, ජුසේ වාස් යන චිත්‍රපට නිර්මාණය කළ සංජය නිර්මාල්ගේ නවතම චිත්‍රපටය “ප්‍රාණ” (Seeds) ලෙසින් නම් කොට තිබේ. එහි පූර්ව ප්‍රචාරක පටය දැන් අන්තර්ජාලයට මුදා හැර ඇති අතර එහි විශේෂිත බව නිසා ම චිත්‍රපටය ගැන කතාබහකට අපි ඔහු හමුවීමු.

ඔබේ චිත්‍රපටයට කිසියම් ආගමික ප්‍රස්තූතයක් පසුබිම් වී ඇති බවක් පේනවා. මෙයට හේතුවක් තිබෙනවාද?

පසුගිය කාලයේ සිදු වූ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය මා බලවත් ලෙස කම්පනයට පත් කළා. ඒ ඛේදවාචකය මම දෑසින් දුටුවා. ඊට පසුව මේ අපරාධය විනිශ්චය වන අන්දම මම බලා සිටියා. මේ අහිංසකයන්ට සාධාරණය ඉෂ්ට කරනු වෙනුවට හා අපරාධයට වගකිවයුත්තන් සොයනු වෙනුවට තමන්ට අවශ්‍ය ලෙසට ඉතිහාසය වෙනස් කර ලියන උන් දෙස මම බලා සිටියා. ඒ අනුව අනාගතයේ දවසක ඉතිහාසය ඇතුළත, අපේ ඉතිහාස කතාවේ මේ අපරාධය අර්ථ දැක්වෙන්නේ අර මම කියපු උන්ට ඕන විදිහ මිසක් සත්‍යය නො වෙයිනෙ. ඉතින් ඉතිහාසය අධ්‍යයනය කරන්නෙක් හා ඒ හා සබැඳි නිර්මාණකරුවෙක් විදිහට මට මෙය විශාල කම්පනයක් වුණා. පෙර රජකාලයේ පටන්ම ඉතිහාසය ලියැවෙන්නෙ රජවරුන්ට පාලන තන්ත්‍රයට ඕන විදියට මිසක් පීඩිතයාට සිදුවන අසාධාරණයේ සත්‍යය නොවෙයි. අහිංසකයන්ට මේ සිදුවන අසාධාරණය ඓතිහාසිකයි.

වර්ෂ 1544 දී සංකිලි රජ්ජුරුවෝ 700කට අධික ස්වදේශික දෙමළ ජනතාවක් සමූලඝාතනය කළා, ක්‍රිස්තියානි ආගම වැළඳගත් නිසා. මෙය දේශපාලන ප්‍රශ්නයක්. පෘතුගීසීන්ගේ සැලසුම වුණේ ඔවුන් අල්ලාගන්නා රටවල ජනතාව හැකි තරමක් ක්‍රිස්තියානි ආගමට හරවාගෙන එය පාප්තුමාගේ කැමැත්ත බව හඟවා ඒ හරහා පෘතුගාලයේ රජතුමාගේ ආධිපත්‍යය පතුරුවන එක. ඔවුන් ලංකාවට ඇවිල්ලා කළෙත් ඒක. මේ සිද්ධිය මට හමුවුණාම මට හිතුණා ඉතිහාසය නොයෙකුත් ආකාරයෙන් නැවත නැවත පුනරුච්ඡාරණය වන බව. ඝාතනය වූ අහිංසකයන් අඩු කුලේ දෙමළ ජනතාව නිසා මෙය ඉතිහාසය තුළ සැඟවී ගිහින් තිබෙනවා. උසස් කුලවල දෙමළ ජනතාවත් මෙය යට ගහනවා, මොකද මේ සිද්ධිය ප්‍රසිද්ධ වී ඝාතනය වූ අඩුකුලේ ජනතාව ප්‍රාණ පරිත්‍යාග වරයට එසවුණොත් අර උසස් කුලේ ජනතාවට සිදුවෙනවා මේ අඩු කුලේ ජනතාවට වැඳුම් පිදුම් කරන්නට. ඒ වගේම සිංහල ජනතාව මේක ගන්නෙත් නෑ, අර උසස් ප්‍රභූ දෙමළ ජනතාව රකින්නට ඔවුනට අවශ්‍ය නිසා. ඉතින් මට අවශ්‍ය වුණා සැමදාම ඉතිහාසයේ යට යන හා නැවත නැවත සිදුවන මේ අහිංසක වින්දිතයන්ගේ කතාව උඩට ගේන්න. ඒ කම්පනයෙන් තමයි ප්‍රාණ බිහි වෙන්නෙ.

'ප්‍රාණ' නිර්මාණය කළේ පාස්කු ප්‍රහාරයේ කම්පනයෙන් - සංජය නිර්මාල්

මෙය ඉංග්‍රීසි භාෂිත චිත්‍රපටයක්ද?

ඔව්. මෙය නිෂ්පාදනය කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. සිංහල හා දමිළ භාෂා වලින් හඬ කවා, භාෂා තුනෙන්ම චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා.

“ප්‍රාණ” දැවැන්ත චිත්‍රපටයක් බව පෙනෙනවා. මෙවන් අර්බුදකාරී සමයක මෙය අවදානම් වැඩක් නොවෙයිද?

චිත්‍රපට හැදීම කොයි කාලෙත් අවදානම් වැඩක් තමයි. පූර්ව නිෂ්පාදන හා නිෂ්පාදන කටයුතු මනා ලෙස සැලසුම් කළොත් පිරිවැය බොහෝ අඩු කරගත හැකියි. අපේ හුඟක් අය කරන්නේ සල්ලි බුෆේ දාලා කන එකනේ. අනෙක් දෙය කැමරාව ස්ථානගත කළයුතු හරිම තැන අපි සොයාගත යුතුයි.

සිනමාශාලා හා ප්‍රේක්ෂකයන් ශීඝ්‍රයෙන් අඩුවීගෙන යන ප්‍රවණතාවක් තිබෙනවා. මේ තත්ත්වයට ඔබේ අදහස් හා යෝජනා මොනවාද?

'ප්‍රාණ' නිර්මාණය කළේ පාස්කු ප්‍රහාරයේ කම්පනයෙන් - සංජය නිර්මාල්

මම ළඟදී මගේ දේශන කටයුත්තක් සඳහා සොයා බැලීමක් කළා. ඍඍඍ නම් ඉන්දියානු දමිළ චිත්‍රපටයේ අඩංගු ගීත පමණක් රූගත කිරීම සඳහා ඔවුන් වියදම් කොට ඇති මුදල, කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා ප්‍රදර්ශනය වූ අපේ චිත්‍රපට එක් දහස් ගණනට වැය කොට ඇති මුළු පිරිවැයටත් වඩා වැඩියි. ඉතිං මම කියන්නෙ ඔය සංවාද සාකච්ඡා නවත්වලා අපේ චිත්‍රපටකරුවන් අවංකව චිත්‍රපට හැදුවා නම් හරි කියලා. ජාත්‍යන්තරයට ගෙන යාහැකි තේමාවන් සමග මිනිස්සුන්ට බලන්න පුළුවන් චිත්‍රපට හැදුවා නම් හොඳයි ඔය ලොකු කතා නවත්වලා. වෙන කෝණයකින් බලලා වැඩ කළොත් අපට මේ කර්මාන්තය ගොඩදාගන්න එක අමාරු වැඩක් නොවෙයි.

'ප්‍රාණ' නිර්මාණය කළේ පාස්කු ප්‍රහාරයේ කම්පනයෙන් - සංජය නිර්මාල්

ට්‍රේ හික්ස්, ශ්‍යාම් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, නීටා ප්‍රනාන්දු, නිරංජනී ෂන්මුගරාජා, කින්ග් රත්නම් ආදී ශිල්පීන් රංගනයෙන් දායක වන “ප්‍රාණ” තිර රචනය හා අධ්‍යක්ෂණය සංජය නිර්මාල් ගෙනි. ස්ටයිනර් ඇඩම්ස්ගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද බුවනෙක රණවකගේ අංග රචනයෙන් ද ශාන් අල්විස්ගේ සංස්කරණයෙන් ද නදීක ගුරුගේ ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද ධම්මික හේවාදුවත්තගේ කලා අධ්‍යක්ෂණයෙන් ද හැඩවන “ප්‍රාණ” ජානක පෙරේරාගේ නිෂ්පාදනයෙන් එළැඹෙන ඔක්තෝබර් 07 වැනිදා සිට සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂෘ ත්‍රිත්වයෙන්ම ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයා හමුවේ තිරගත වන බව අධ්‍යක්ෂ සංජය නිර්මාල් පවසයි.

නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment