‘ප්‍රාණ’ නොදැක ප්‍රාණය නිරුද්ධ වූ දර්ශන්….

499

ඔහුට චිත්‍රපටය බලන්නවත් හම්බවුණේ නැහැ…. අධ්‍යක්ෂ සංජය නිර්මාල්

ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ්, තමන් රංගනයෙන් දායක වූ විශිෂ්ට සිනමා නිර්මාණයක් වූ “ප්‍රාණ” තිරගත වීමට දවසක් තියා දිවි රඟමඩලින් සමුගෙන යෑමේ සංවේගජනක සිදුවීම පිළිබඳව ‘ප්‍රාණ’ නිර්මාතෘ සංජය නිර්මාල් ‘දිවයින’ට කරන සංවේදී ප්‍රකාශය.

'ප්‍රාණ' නොදැක ප්‍රාණය නිරුද්ධ වූ දර්ශන්....

“දර්ශන්ගේ වියෝව පිළිබඳව මා දැනුවත් කළේ නිරංජලී සම්මුගරාජා. ඇය හිමිදිරි උදෑසන දුරකථනයෙන් මට ඇමතීමක් ලබා ගත්තා, කතා කරනවා වෙනුවට, ඇය ඉකිගසමින් හඬන අයුරු ඇසුනා, දැඩිසේ කම්පනයට පත්ව සිටි ඇය මට අදහා ගැනීමට නොහැකි වූ, මා වික්ෂිප්ත කළ පණිවිඩය ප්‍රකාශ කළා. ඇත්තටම මට “ප්‍රාණ” චිත්‍රපටය ගැන මතක් වූණේ නෑ. මේ මිත්‍ර විප්‍රයෝගයේ කම්පනය පමණයි මට දැනුනේ. දර්ශන් මට මුලින්ම මුණගැසෙන්නේ, මෙයට වසර ගණනාවකට පෙර එක්තරා රූපවාහිනී නාලිකාවක් වෙනුවෙන් මා විසින් අධ්‍යක්ෂණය කරන ලද සිහින වසන්තයක් ටෙලි නාට්‍යයේ දෙවන අදියරයේ දී. මෙහි රූපගතකිරීම් සඳහා දර්ශන් ඇතුළු අප කණ්ඩායම දින 10ක පමණ කාලයක් කළුතර ලැගුම් හලක නැවතී සිටියා. දර්ශන් පෙනී සිටින රූපරාමුව කෙතරම් පරිපූර්ණ සේ පිරී යනවා ද ඒ හා සමානවම පරිපූර්ණ විදියට දර්ශන් සිටින තැනත් සතුටින් පිරී යනවා. ගෙවුණු ඒ දින කිහිපය දර්ශන්ගේ මැජික් දර්ශනවලින්, ඔහුගේ නිර්ව්‍යාජ සිනාවෙන් සහ ගීතයෙන් වගේම ජාතියකට නතු නොවූ ආදරණීය මිතුරුකමින් පිරී තිබුණු අයුරු මට අද වගේ මතකයි. ඔහු එහි රඟපෑවේ ප්‍රතිවීර චරිතයක්. ඔහුගේ ආරෝහ පරිණාහ දේහ ස්වභාවයත්, උඩු රැවුල යොදන ලද මුහුණේ රෞද්‍ර විලාසයත් දුෂ්ටයෙකුට අවශ්‍ය සකලාංග පිරූවත්, ඔහුගේ අභ්‍යන්තරයේ තිබූ නිර්ව්‍යාජ අවිහිංසක ළදරු ස්වභාවය කට් කියූ සැනින් මතුවන හැටි කැමරා කාචයේ සමීප රූප හරහා මා අනන්තවත් දුටුවා. ඔහු තුළ වූ නිසග රංගන නිපුණත්වය වඩ වඩා පරිණත කර ගනිමින් ඇගයුමට, සම්මානයට, ජනාදරයට පත් වෙමින් මහා නළු ප්‍රතාපයක් ගොඩ නගා ගනිමින් යන්නාවූ කඩිනම් ගමනේ කඩින් කඩ විවිධ තැන්හි පෙර සුපුරුදු නිහතමානී දයාබරත්වයෙන්ම ඔහු මට මුණු ගැසුණා.

‘ප්‍රාණ’ චිත්‍රපටයේ පිටපත ගොඩ නගන මූලික අවධියේම, පළවෙනි සංකිලි රජු ලෙස මා චිත්තය තුළ විචිත්‍රණය වුණේම දර්ශන්ගේ රුවයි. දර්ශන් හැර අන් කිසිවෙකුට මා මනසේ ඇදී පැළවුණ සංකිලිගේ චරිතය, හැඩය ජීවමානකොට ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව නොදරන බව මම තරයේම විශ්වාස කළෙමි. මගේ ඒ විශ්වාසය රංගනයෙන් ඔහු තහවුරු කළේ සියල්ලන්ම මවිතයට පත් කරමින්. ඔහුගේ, චරිතයකට එළැඹීමේ නිසඟ හැකියාවත්, ඔහු විසින්ම ස්වයංව හදාරා එකතු කර ගත් රංගන තාක්ෂණයත්, ඔහුටම ආවේණික වූ දෙබස් ස්මරණයේ හැකියාවත් දක්වමින් ඔහු විශිෂ්ට අන්දමින් සංකිලි රජුගේ චරිතයට පණ දුන්නා. ඔහු, ද්‍රවිඩ රජෙකුගේ චරිතය ප්‍රතිනිර්මාණය කිරීමට ලැබීම පිළිබඳව පසු වූයේ දැඩි සතුටකින්. ඔහුගේ කැපවීමත් අන්‍යයන් සමග කිසිදු අන්තවාදයකින් හා පෙර එළැඹුමකින් තොරව නිදහස්ව මුසු වීමේ හැකියාවත්, ඔහුගේ අලංකාර කාල වර්ණ මුහුණ තුළ වූ සිරියාවත් බෙදා ගනිමින් ඔහු අප හා එක්ව ‘ප්‍රාණ’ චිත්‍රපටයේ රූපගත කිරීම් නිම කිරීමට දායක වුණා. පසු නිෂ්පාදන කටයුතුවලදීත් නියම වෘත්තීය නළුවකුගේ ස්වභාවය විදහා දැක්වූ ඔහු, ඔබ තමයි මාව රජෙක් කෙරුවේ යැයි නිතරම මට පවසා සිටියා. එහෙත් කිසිවෙකුට ඔහුව රජෙක් කිරීමට මැදිහත් වීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඔහු ඔහුගේ දැඩි වීර්යෙන්ම ජීවිත දුර්ගයේහි ආ සියලුම බාධක ජය ගනිමින් රජෙකුගේ විලාශයෙන්ම සියල්ල අභිබවා ස්වෝත්සාහයෙන්ම රජ වී හමාරවයි සිටියේ. එහෙත් ජීවිතයේ අවිනිශ්චිත බව කෙතරම් දැයි පසක් කරමින් ඔහු නික්ම ගියේ මහා හිදැසක් ඉතිරි කරමින්.

වැඩ නිම කළ ‘ප්‍රාණ’ ඔහු විසින් නරඹා තිබුණේ නැහැ. මංගල දර්ශනයේ දීම එය නැරඹීමට ඔහුට මහා උවමනාවක් තිබුණා. පසුගිය 05 වෙනිදා ඔහු මහ පොළොව මත මිහිදන් වෙද්දී, ඊයේ 06 වැනි දා ඔහු පුල පුලා බලා සිටි ‘ප්‍රාණ’ චිත්‍රපටය එළිදැක් වුණා. එහෙත් ඔහු නැහැ. ඔහු වෙනුවෙන් වෙන් කළ හිස් අසුන පමණයි සිනමා ශාලාවේ ඉතිරිව තිබුණේ. මංගල දර්ශනයක බාහිර සාටෝපයේ උජාරුව අහෝසි වී ගොස්, සංකාව මුසු වූ ජීවිතාවබෝධය දෙවන පාලුවයි මංගල දර්ශන යන තුනේම පැතිරිලා තිබුණේ.

චිත්‍රපටයේ මුඛ්‍ය තේමාව අප හට ප්‍රායෝගිකවම පසක් කරවාලමින් බීජයක්ව ඔහු මියැදී සදාකල් මතකයේ රඳවන සත්‍යයේ මහා ගසක්ව වැඩෙන්නට පටන්ගෙන තිබේ යැයි මට හැඟෙනවා. මංගල දර්ශනයට ඔහු විසින් සූදානම් කරගෙන තිබූ ඇඳුම ම ඔහුගේ අවසාන ගමනට ඔහු ඇඳ සිටියා දැයි මම දන්නේ නෑ. එහෙත් ඔහු ඊයේ අපිත් එක්ක අපට නොදැනී නොපෙනී මංගල දර්ශනය නැරඹූවාදැයි කියාත් මා දන්නේ නෑ. හැබැයි දර්ශන් ! අපි මංගල දර්ශනය නැරඹුවේ ඔබ සමගමයි බව පවසමි. ඒ කඳුළින් පිරි දෙනෙතින් යුතුවයි.

මරණය යනු ජීවිතයට තවත් නමක් බව යළි යළිත් පසක් කරවාලමින් මේ නවාතැනේ අප හා ජීවිතය බෙදා ගත් දර්ශන් මේ ගිරි දුර්ගයෙන් නික්ම ගොස් හමාරයි. ඔහුගේ මතකය, රංගනයේ ප්‍රකාශනය අපගේ ජීවිතාවබෝධය යන්තම් හෝ ඔසවා තබන්නට ඉවහල් වේවා යන්න මාගේ පරම පැතුමයි. ආදරණීය මිත්‍රයා ඔබට සුව නින්දක්.

සටහන – ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment