ප්‍රියමාලිගේ සහකරු ඉසුරු රිමාන්ඩ්

271

සංකීර්ණ විමර්ශනයක් සිදු වෙද්දී ඇප දෙන්න බැහැ – විනිසුරු කියයි
ලක්‍ෂ 300ක් වටිනා වාහනය පැවරීම වළක්වයි

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහල කුලියට ගෙන ව්‍යාපාර කිහිපයක් ආරම්භ කර රුපියල් කෝටි සිය ගණනක මුදලක් වංචා කළේ යැයි චෝදනා එල්ල වී ඇති තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ ව්‍යාපාර සහකරුවකු යැයි කියන ඉසුරු බණ්ඩාර නමැත්තාව අද (19 දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව වැඩ බලන මහෙස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මිය ඊයේ (18 දා) නියෝග කළාය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (17දා) අත්අඩංගුවට ගත් ඉසුරු බණ්ඩාර නමැත්තා ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඊයේ (18 දා) දහවල් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ප්‍රධාන සැකකාරියගේ හිතවතකු වන සිය සේවාදායකයා ගෙවුණු කාලය තුළදී ඇගේ ව්‍යාපාර කටයුතුවලට විවිධාකාරයෙන් සහය දැක්වූ නමුත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධීක්‍ෂණයට ඉදිරිපත් කළ වැරදි සිදු කළ බවට සනාථ කළ හැකි කිසිදු ලේඛනයක් හෝ සාක්‍ෂියක් විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කර නොමැති බව ප්‍රකාශ කරමින් දීර්ඝ ලෙස කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ සැකකරු මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් වී නොමැති නිසා සහ ස්ථිර මහෙස්ත්‍රාත්වරයා නිවාඩු ලබා සිටීම කෙරෙහි අවධානය යොමු කළ වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය එම නඩුවේ ප්‍රධාන සැකකාරිය හා මෙම සැකකරු ස්ථිර මහෙස්ත්‍රාත්වරයා හරහා නඩුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment