ප්‍රියමාලිට එරෙහිව සීඅයිඩියට පැමිණිලි 10 ක්

290

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් විවිධ පුද්ගලයන්ට රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ තිලිණි ප්‍රියමාලි නමැති කාන්තාව සමග මහාපරිමාණ මූල්‍ය ගනුදෙනු කළ විශාල පිරිසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට නො හැකිව ලතවෙමින් සිටින බව වාර්තා වෙයි.

මෙම පුද්ගලයන් තමන්ට සිදුවී ඇති මූල්‍ය අලාභයන් පිළිබඳව පැමිණිලි නොකරන්නේ ලැජ්ජාව නිසා මෙන්ම තමන් ඉපැයූ කළු සල්ලි පිළිබඳව හෙළිදරව් වන නිසා බවද ආරංචි මාර්ග පවසයි.

මේ ආකාරයට තිලිණි ප්‍රියමාලි වෙත මුදල් ආයෝජනය කර ඇගේ වංචාවට හසුවූ පුද්ගලයන්ගෙන් බහුතරයක් මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයන්, රංගන ශිල්පීන්, දේශපාලනඥයන්, ප්‍රභූන් වන බවද වාර්තා වෙයි.

එබැවින් මෙම පුද්ගලයන් තම කීර්ති නාමයට හානිවන නිසා තමන් හසුවී ඇති වංචාව සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මේ වනතුරුත් ඉදිරිපත්ව නොමැති බවද ආරංචි මාර්ග පවසයි. කලක් දේශපාලනඥයකුව සිටි ජනප්‍රිය රංගන ශිල්පියකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අති විශාල මුදලක් මෙම කාන්තාවගේ මූල්‍ය ආයතනයේ ආයෝජනය කර ඇතත් මේ වන තුරුත් ඔවුන් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට ඉදිරිපත් වී නැත.

තිලිණි ප්‍රියමාලි නමැති කාන්තාවගේ වංචාවන්ට හසුවූ පුද්ගලයන් 10 දෙනෙක් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇති අතර එම පැමිණිලිවල මූල්‍ය වටිනාකම රුපියල් කෝටි 300 ඉක්මවන බවද වාර්තා වෙයි. දැනට වාර්තාවන තොරතුරු අනුව ඇයගේ වංචාවනට හසුවූ පුද්ගලයන් සංඛ්‍යාව විශාල පිරිසක් බවත් ඒ සියලු තොරතුරු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ඇයගේ කාර්යාලයෙන් අත්අඩංගුවට ගත් පරිගණකවල තොරතුරුවලින් අනාවරණය කර ගතහැකි බවත් එම නිලධාරියා සඳහන් කෙළ්ය.

මෙවැනි වංචාවන්හි නිරතවීමට ඇයට සහාය ලබාදුන් පුද්ගලයන් පිළිබඳව ද ඉදිරියේදී තොරතුරු අනාවරණය කරගත හැකිවනු ඇති බවත් පැවසූ එම නිලධාරියා ඇයගේ මූල්‍ය වංචාවනට හසුවූ කිසියම් හෝ අයකු සිටීනම් ඒ සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයකට ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේය.
හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment