ප්‍රියමාලිට දුරකථනය  වෙනත් රැඳවි කතක් දීලා

643

මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ විශේෂ සිරකුටියක රඳවා සිටින සුපිරි කෝටිපතියන් රවටා මහා පරිමාණ මුදල් වංචාවක් සිදුකළ බවට චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව සන්තකයේ තිබූ ජංගම දුරකථනයක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරිනියන් විසින් පෙරේදා (09 වැනිදා) රාත්‍රි සිදුකළ සෝදිසියකදී සොයාගෙන ඇත.

එම කාන්තාව වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව ඇති වූ සැකයක් මත ඇය රඳවා සිටි විශේෂ ගණයේ සිරකුටිය රාත්‍රි කාලයේ පරීක්‍ෂාවට ලක්කිරීමේදී මෙම ජංගම දුරකථනය සොයා ගත් බව උසස් බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය.

බන්ධනාගාර බුද්ධි නිලධාරීන් මෙම ජංගම දුරකථනය සොයාගත් අවස්ථාවේ කළහකාරී ලෙස හැසිරෙන්නට වූ මෙම කාන්තාව බන්ධනාගාර නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කර තිබෙන බවද හෙතෙම පැවසීය. මුදල් වංචා කිරීමේ චෝදනාවට රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු අධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන ඒමේදී ඇය මෙම ජංගම දුරකථනය සඟවාගෙන පැමිණෙන්නට ඇතැයි සැක කෙරේ.

මේ වන විට සැකකාරිට ඉහළ  බන්ධනාගාර නිලධාරියකුගේ විශේෂ කරුණාවක් හිමිවී තිබෙන අතර ජංගම දුරකථනය බන්ධනාගාරය තුළට රැගෙන ඒමේදී ඇයට එම නිලධාරියාගෙන් සහායක් ලැබෙන්නට ඇතැයි ද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. අත්අඩංගුවට ගත් දුරකථනය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන අරඹා ඇති අතර සැකකාරිය බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඊයේ වනවිට කරන ලද විමර්ශනවලදී වෙනත් කාන්තා රැඳවියකු විසින් ඇයට දුරකථනය ලබාදී ඇතිබව අනාවරණය වී තිබේ.

සමන් ගමගේ – චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment